‘ධර්මිෂ්ඨ තැනැත්තා යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන ප්‍රීති වෙනවා’
ඩයනාගේ වයස අවුරුදු 80කටත් වඩා වැඩියි. එයාගේ සැමියා ඇල්සයිමර් රෝගයෙන් පීඩා විඳලා මැරුණා. පුත්තු දෙන්නාත් මැරුණා. ඒ විතරක් නෙවෙයි එයාට පියයුරු පිළිකාවත් හැදුණා. ඒත් එයා නමස්කාර මධ්‍යස්ථානයට යද්දීත් සේවයේ යද්දීත් කොයි වෙලෙත් ඉන්නේ සතුටින් කියලා සභාවේ අය කියනවා.
ජෝන් අවුරුදු 43කටත් වඩා වැඩියෙන් චාරිකා සේවය කළා. ඒක තමයි එයාගේ මුළු ජීවිතේම වෙලා තිබුණේ. ඒත් අසනීපෙන් හිටිය පවුලේ කෙනෙක්ව බලාගන්න වුණු නිසා එයා චාරිකා සේවය නතර කළා. සමුළුවලදී ජෝන්ව මුණගැහුණාම එයාව දන්න අය කියනවා එයා තාමත් ඉන්නේ හරිම සතුටින් කියලා.
ඩයනාටත් ජෝන්ටත් සතුටින් ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? දුක් කරදරවලට මුහුණ දෙන්න වෙද්දීත් සතුටින් ඉන්න පුළුවන් කොහොමද? ආසාවෙන් කරපු පැවරුමක් නතර කරන්න වුණත් දිගටම සතුටින් ඉන්න පුළුවන් කොහොමද? ගීතාවලිය 64:10 තියෙන මේ දෙයින් ඒක තේරුම්ගන්න පුළුවන්. ‘ධර්මිෂ්ඨ තැනැත්තා යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන ප්‍රීති වෙනවා.’ ඒ පදයෙන් අදහස් වෙන දේ හරියටම තේරුම්ගන්න නම් හැමදාමත් සතුටින් ඉන්න පුළුවන් කොහොමද කියලා අපි හඳුනාගන්න ඕනේ.
තාවකාලික සතුට
සමහර දේවල් නිසා කොහොමත් ලොකු සතුටක් දැනෙනවා. ආදරෙන් බැඳුණු දෙන්නෙක් විවාහ වෙන එක, කිරිකැටියෙක් පවුලට එකතු වෙන එක, අලුත් සේවා වරප්‍රසාදයක් ලැබෙන එක ඒ අතරින් කීපයක්. විවාහ සැලැස්ම ඇති කළෙත් දරුවන් බිහි කරන්න හැකියාව දීලා තියෙන්නෙත් දෙවිගේ සංවිධානයේ විවිධ පැවරුම් ඉටු කරන්න අවස්ථාව දීලා තියෙන්නෙත් යෙහෝවා දෙවියි. දෙවිගෙන් ලැබිලා තියෙන ඒ තෑගි නිසා අපි ලොකු සතුටක් ලබනවා.—උත්. 2:18, 22; ගීතා. 127:3; 1 තිමෝ. 3:1.
ඒත් ඒ දේවලින් ලැබෙන සතුට තාවකාලික එකක් වෙන්න පුළුවන්. උදාහරණෙකට විවාහ සහකරු මරණයට පත් වෙන්න නැත්නම් ද්‍රෝහි වෙන්න ඉඩ තියෙනවා. (එස. 24:18; හොෂෙ. 3:1) දරුවන් දෙමාපියන්ටත් දෙවිටත් අකීකරු වෙන්න ඉඩ තියෙනවා. සමහරවිට දරුවෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරන්නත් ඉඩ තියෙයි. උදාහරණෙකට සාමුවෙල්ගේ පුතාලා දෙවිට පිටුපෑවා. දාවිත් බැත්-ෂෙබා එක්ක අනාචාරයේ යෙදුණු නිසා දාවිත්ගේ පවුලේ හැමෝටම හුඟක් දුක් විඳින්න වුණා. (1 සාමු. 8:1-3; 2 සාමු. 12:11) ඒ වගේ දේවල් වෙද්දී අපි අද්දකින සතුට දුකකට පෙරළෙනවා නේද?
සමහරවිට අසනීපයක් නිසා, පවුලේ කෙනෙක්ව බලාගන්න ඕන නිසා නැත්නම් සංවිධානයෙන් කරන වෙනසක් නිසා කරමින් ඉන්න පැවරුමක් අපිට නතර කරන්න වෙයි. ඒ වගේ දේකට මුහුණ දීපු හුඟක් අය කියනවා ඒ පැවරුමෙන් ලබපු සතුට ගැන මතක් වෙද්දී දැනටත් ලොකු දුකක් දැනෙනවා කියලා.
සමහර දේවලින් සතුටක් ලැබුවත් ඒ සතුට හැමදාටම තියෙන්නේ නැහැ කියලා පැහැදිලියි. ඒත් දුෂ්කරතා මැදත් සතුටින් ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕනෙ නේද? මොකද සාමුවෙල්, දාවිත් සහ තවත් අය දුෂ්කරතා මැදත් දිගටම සතුටින් හිටියා.
හැමදාමත් තියෙන සතුට
නියම සතුට අද්දකින්න පුළුවන් කොහොමද කියලා යේසුස් දැනන් හිටියා. ඔහු පොළොවට එන්න කලින් “නිතරම ඔහු [යෙහෝවා දෙවි] ඉදිරියේ සතුටින්” හිටියා. (හිතෝ. 8:30) හැබැයි පොළොවට ආවාට පස්සේ යේසුස්ට හුඟක් දුෂ්කරතා අද්දකින්න සිද්ධ වුණා. ඒත් ඔහු පියාගේ කැමැත්ත ඉටු කිරීමෙන් ලොකු සතුටක් ලැබුවා. (යොහ. 4:34) දරුණුම පීඩාවට මුහුණ දෙන්න වුණු වෙලාවෙත් ‘ඔහු තමාට තිබුණු ප්‍රීතිමත් අපේක්ෂාව නිසා ලැජ්ජාව නොතකා වධකණුවක මරණය පවා වින්දා.’ (හෙබ්‍රෙ. 12:2) නියම සතුට අද්දකින්න පුළුවන් විදිහ ගැන යේසුස් කියපු කාරණා දෙකක් දැන් බලමු.
ගෝලයන් 70දෙනා භූතයන් ආවේශ වුණු අයව සුව කරන්නත් තවත් බලවත් ක්‍රියා කරන්නත් පුළුවන් වුණු එක ගැන හරිම සතුටින් යේසුස්ට කියද්දී ඔහු මෙහෙම කිව්වා. “ඔබ ප්‍රීති විය යුත්තේ භූතයන් ඔබේ අණට කීකරු වන නිසා නොවෙයි. දෙවි ඔබේ නම් ස්වර්ගයෙහි සටහන් කර තිබෙන නිසයි.” (ලූක් 10:1-9, 17, 20) වැඩියෙන්ම සතුටු වෙන්න ඕනෙ අපිට යෙහෝවා දෙවිගේ අනුමැතිය ලැබෙන එක ගැන මිසක් ලැබෙන වරප්‍රසාද ගැන නෙවෙයි කියලා ඒකෙන් පැහැදිලියි.
යේසුස් දක්ෂ විදිහට උගන්වමින් ඉද්දී ස්ත්‍රියක් කිව්වා යේසුස්ගේ අම්මා ඔහු ගැන හුඟක් සතුටු වෙනවා ඇති කියලා. ඒත් යේසුස් කිව්වේ ‘ඇත්තටම සන්තෝෂවත් වන්නේ දෙවි පවසන දේ අසා එය පිළිපදින අය’ කියලයි. (ලූක් 11:27, 28) දරුවන් හොඳට දේවල් කරද්දී අපිට ලොකු සතුටක් දැනෙනවා තමයි. ඒත් අපි වැඩියෙන්ම සතුටු වෙන්න ඕනෙ යෙහෝවා දෙවිට කීකරු වෙමින් ඔහුත් එක්ක කිට්ටු බැඳීමක් පවත්වාගන්න අපිට අවස්ථාව ලැබිලා තියෙන එක ගැනයි.
යෙහෝවා දෙවිගේ අනුමැතිය අපිට තියෙනවා කියලා දැනෙද්දී අපිට ලොකු සතුටක් දැනෙනවා. මොන දුෂ්කරතාවකට මුහුණ දෙන්න වුණත් ඒ සතුට අපිට අහිමි වෙන්නේ නැහැ. මොකද පීඩා මැද දිගටම දෙවිට විශ්වාසවන්තව ඉද්දී අපේ සතුට තවත් රෝම 5:3-5) දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරන අයට ඔහු තම බලය දෙනවා. ප්‍රතිඵලයක් විදිහට අපිට සතුටින් ඉන්න පුළුවන් වෙනවා. මොකද ප්‍රීතිය කියන්නේ දෙවිගේ බලය මාර්ගයෙන් අද්දකින්න ලැබෙන ගුණාංගයක්. (ගලා. 5:22) ‘ධර්මිෂ්ඨ තැනැත්තා යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන ප්‍රීති වෙනවා’ කියලා ගීතාවලිය 64:10 සඳහන් දෙයින් අදහස් වෙන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න ඒ තොරතුරු උදව් වෙනවා.
වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. (මේ ලිපියේ මුලින් සඳහන් කරපු ඩයනා සහ ජෝන් අභියෝග මැද වුණත් සතුටින් හිටියේ කොහොමද කියලා දැන් පැහැදිලියි නේද? ඩයනා මෙහෙම කියනවා. “දරුවෙක් දෙමාපියන්ගේ රැකවරණය පතනවා වගේ මං යෙහෝවා දෙවිගෙන් රැකවරණය පැතුවා. දිගටම සතුටින් දේශනා සේවයේ හවුල් වෙන්න මට පුළුවන් වෙලා තියෙන්නේ දෙවි මට ආශීර්වාද කරලා තියෙන නිසයි කියලා මට දැනෙනවා.” චාරිකා සේවය නතර කරන්න සිද්ධ වුණත් දිගටම උද්යෝගයෙන් සේවේ හවුල් වෙන්න පුළුවන් වුණේ කොහොමද කියලා ජෝන් විස්තර කළේ මෙහෙමයි. “1998 ඉඳන් දේවසේවා පුහුණු පාසැලේ උපදේශකයෙක් විදිහට සේවය කරන්න ලැබුණාම මං වෙන කවදාටත් වඩා වැඩියෙන් පෞද්ගලික අධ්‍යයනය කළා.” සතුට අහිමි කරගන්නේ නැතුව අලුත් තත්වයට හැඩගැහෙන්න තමන්ටත් බිරිඳටත් පුළුවන් වුණේ යෙහෝවා දෙවිගෙන් ලැබෙන ඕනෙම පැවරුමක් කැමැත්තෙන්ම භාරගන්න හුරු වෙලා හිටිය නිසයි කියලත් “කවදාවත් ඒ ගැන පසුතැවෙන්නේ නැහැ” කියලත් ජෝන් කියනවා.
ගීතාවලිය 64:10 කියන දේ මොන තරම් ඇත්තක්ද කියලා තවත් හුඟදෙනෙක් තේරුම් අරන් තියෙනවා. උදාහරණෙකට එක්සත් ජනපදයේ බෙතෙල් එකේ අවුරුදු 30කටත් වඩා සේවය කරපු යුවළකගේ අද්දැකීම බලන්න. විශේෂ පුරෝගාමීන් විදිහට සේවය කරන්න එයාලට අලුත් පැවරුමක් ලැබුණා. ඒ ගැන එයාලා කිව්වේ මෙහෙමයි. “ආස කරන දෙයක් අහිමි වෙද්දී ලොකු දුකක් දැනෙනවා තමයි. ඒත් ඉතින් හැමදාමත් ඒ ගැනම දුක් වෙවී ඉන්න බැහැනේ.” එයාලා ඉක්මනින්ම සභාවේ අයත් එක්ක සේවේ හවුල් වුණා. එයාලා මෙහෙමත් කිව්වා. “අපි සමහර දේවල් ගැන නිශ්චිතවම දෙවිට යාච්ඤා කළා. දෙවි අපේ යාච්ඤාවලට උත්තර දෙනවා කියලා දැනෙද්දී අපිට දැනුණේ පුදුම සතුටක්. ඒකෙන් අපි හුඟක් දිරිගැන්වුණා. වැඩි කාලයක් යන්න කලින් සභාවේ තවත් අය පුරෝගාමි සේවය කරන්න පටන්ගත්තා. හොඳින් දියුණු වෙන බයිබල් පාඩම් දෙකකුත් අපිට ලැබුණා.”
හැමදාමත් සතුටින් ඉන්න
හැම වෙලේම සතුටින් ඉන්න එක ලේසි නැහැ. මොකද අපිට දුක හිතෙන දේවලුත් වෙන්න පුළුවන්. ඒත් ගීතාවලිය 64:10 යෙහෝවා දෙවි කියලා තියෙන දේ අපිට ලොකු සැනසීමක් වෙනවා. අපි අධෛර්යය වෙලා ඉද්දී වුණත් අපිට මුහුණ දෙන්න වෙන ඕනෙම තත්වයක් මැද අපි දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ‘යෙහෝවා දෙවි ගැන ප්‍රීති වෙන්න’ අපිට පුළුවන්. අපේ සතුට රැකගන්න උදව් වෙන තවත් දෙයක් තමයි දෙවි පොරොන්දු වෙලා තියෙන ‘අලුත් අහස සහ අලුත් පොළොව’ අද්දකින්න ලැබෙන කාලය ගැන නිතරම හිතන එක. ඒ කාලේදී හැමෝම පරිපූර්ණ තත්වයකට පත් වෙනවා විතරක් නෙවෙයි යෙහෝවා දෙවි කරන දේවල් ගැන හැමදාමත් සතුටු වෙන්න අපිට පුළුවන් වෙනවා.—යෙසා. 65:17, 18.
ඒකෙන් අදහස් වෙන දේ ගැන ටිකකට හිතන්න. පරිපූර්ණ ශරීර සෞඛ්‍යයක් ලැබෙන නිසා හැම දවසකම අපි නැඟිටින්නේ පුදුම ප්රබෝධයකින්. අපේ දුකට හේතු වුණු කිසිම දෙයක් නිසා අපේ සතුට ආයෙත් කවදාවත් අහිමි වෙන්නේ නැහැ. මොකද දෙවි අපිට පොරොන්දු වෙලා තියෙනවා “පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැහැ” කියලා. මරණය නිසා අපෙන් වෙන් වුණු අපේ හිතමිතුරන්ව ආදරෙන් පිළිගන්න ලැබෙද්දී අපිට මොන තරම් සතුටක් දැනෙයිද! අවුරුදු 12ක් වයස දැරියකට යේසුස් ආයෙත් ජීවිතය දීපු වෙලාවේ ඒ දෙමාපියන් “ඉමහත් ප්‍රීතියකින් ඉපිල ගිය” විදිහ මතකයි නේද? (මාක් 5:42) අපිටත් ඒ වගේම සතුටක් අද්දකින්න පුළුවන් වෙයි. අන්තිමට පොළොවේ ඉතුරු වෙන්න යන්නේ ධර්මිෂ්ඨ අය විතරයි. එතකොට හැමදාටමත් ‘යෙහෝවා දෙවි ගැන ප්‍රීති වෙන්න’ හැමෝටම පුළුවන් වෙයි.