Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 31

යාච්ඤාව වටින දෙයක් විදිහට ඔයා සලකනවාද?

යාච්ඤාව වටින දෙයක් විදිහට ඔයා සලකනවාද?

“ඔබ ඉදිරියේ ඔප්පු කිරීමට පිළියෙල කළ සුවඳ ද්‍රව්‍ය ඔබ පිළිගන්නාක් මෙන් මා කරන යාච්ඤාවත් පිළිගන්න.”—ගීතා. 141:2.

ගීතිකාව 47 සැමදා යාච්ඤා කරන්න

මේ ලිපියෙන් a

1. යාච්ඤා කරන්න ලැබුණ අවස්ථාව අපි සලකන්න ඕනෙ කොහොමද?

 මේ පොළොවේ ඉන්න වෙන කිසිම ජීවියෙක්ට ලැබුණේ නැති අවස්ථාවක් මිනිස්සුන්ට ලැබිලා තියෙනවා. ඒ තමයි ස්වර්ගයත් පොළොවත් නිර්මාණය කරපු අපේ ශ්‍රේෂ්ඨතම දෙවි පියාණන්ට යාච්ඤා කරන්න ලැබුණ එක. ඔහුත් එක්ක කතා කරන්න කලින් වෙලාවක් වෙන් කරගන්න ඕනෙ නැහැ. ඕනම කෙනෙක්ට, ඕනම වෙලාවක, ඕනම භාෂාවකින් ඔහුට කතා කරන්න පුළුවන්. ලෙඩ ඇඳේ හිටියත් හිර කුටියක තනි වෙලා හිටියත් අපි කියන හැම දෙයක්ම දෙවියන් අහන් ඉන්නවා. එහෙම බලද්දී යාච්ඤාව කියන්නේ මිල කරන්න බැරි තෑග්ගක්!

2. යාච්ඤාව ගොඩක් වටින දෙයක් කියලා දාවිත් පෙන්නුවේ කොහොමද?

2 දාවිත් යාච්ඤාව සැලකුවේ හුඟක් වටින දෙයක් විදිහට. එයා මෙහෙම කිව්වා. “ඔබ ඉදිරියේ ඔප්පු කිරීමට පිළියෙල කළ සුවඳ ද්‍රව්‍ය ඔබ පිළිගන්නාක් මෙන් මා කරන යාච්ඤාවත් පිළිගන්න.” (ගීතා. 141:1, 2) දාවිත්ගේ කාලේ හිටපු පූජකයන් දෙවියන්ට ඔප්පු කරපු සුවඳ ද්‍රව්‍ය සැලකුවේ ශුද්ධ දෙයක් විදිහට. ඒ නිසා එයාලා ඒවා හැදුවේ හරිම පරෙස්සමෙන්. (නික්. 30:34, 35) දාවිත් යාච්ඤාව සුවඳ ද්‍රව්‍යවලට සමාන කළේ ඇයි? එයාට ඕනෙ වුණේ ඔහේ කරන්නන් වාලේ යාච්ඤා කරන්න නෙවෙයි. ඒ වෙනුවට කියන්නේ මොනවාද කියලා හොඳට හිතලා බලලා ඒ යාච්ඤාව යෙහෝවාට පිළිගන්වන්නයි. අපිටත් ඕනෙ අපේ හිතේ තියෙන දේවල් යාච්ඤාවෙන් කියලා දෙවියන්ට ප්‍රශංසා කරන්න.

3. යාච්ඤා කරද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද? ඒ ඇයි?

3 ඇත්ත, අපි යෙහෝවා දෙවියන්ට ගොඩක් කිට්ටුයි. හිතේ තියෙන ඕනම දෙයක් ඔහුට කියන්න අපිට පුළුවන්. හැබැයි අපි මතක තියාගන්න ඕනෙ දේකුත් තියෙනවා. ඔහුට කිට්ටුයි කියලා අපි කවදාවත් අගෞරවනීය විදිහට කටට එන ඕනෙම දෙයක් කියලා දාන්නේ නැහැ. එහෙම කියන්නේ ඇයි කියලා තේරුම්ගන්න යෙසායා, එසකියෙල්, දානියෙල් සහ යොහන් දැක්ක දර්ශන අපිට උදව් වෙනවා. එයාලා දැකපු දේවල් එකිනෙකට වෙනස් වුණත් ඒ හැම එකේම පොදු ලක්ෂණයක් තිබුණා. එයාලා හැමෝම යෙහෝවා දෙවියන්ව දැක්කේ අතිශ්‍රේෂ්ඨ, බලවත් රජ කෙනෙක් විදිහට. “යෙහෝවා දෙවි උත්කෘෂ්ට සිංහාසනයක ඉඳගෙන” ඉන්න විදිහ යෙසායා දැක්කා. (යෙසා. 6:1-3) එසකියෙල් දැක්කා යෙහෝවා ඔහුගේ ස්වර්ගික රථයේ වාඩි වෙලා ඉන්න විදිහ. ඒ වටේට “දේදුන්නක තියෙන දීප්තියට සමාන” දීප්තියක් තිබුණා. (එස. 1:26-28) දානියෙල් දැක්කා “පුරාතන තැනැත්තා” ඒ කියන්නේ යෙහෝවා දෙවියන් සුදු ඇඳුමකින් සැරසිලා ඉන්න විදිහ. ඔහුගේ සිංහාසනය වටේට ගිනිදලු ඇවිළෙමින් තිබුණා. (දානි. 7:9, 10) ඒ වගේම යොහනුත් දැක්කා දෙවියන් සිංහාසනයක වාඩි වෙලා ඉන්න විදිහ. ඒ සිංහාසනේ වටේට මරකත මැණිකක වර්ණයෙන් යුත් දේදුන්නක් තිබුණා. (එළි. 4:2-4) ඒ දර්ශන ගැන හිතද්දී යෙහෝවාට කොච්චර තේජසක් තියෙනවාද කියලා අපිට පැහැදිලි වෙනවා. ඒ වගේ දෙවි කෙනෙක්ට කතා කරන්න ලැබුණ එක ඇත්තටම ලොකු වරප්‍රසාදයක්. එහෙමනම් අපි ඔහුත් එක්ක කොච්චර ගෞරවයකින් කතා කරන්න ඕනෙද! ඒත් අපි ඔහුට යාච්ඤා කරන්න ඕනෙ මොනවා ගැනද?

“ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි”

4. යේසුස් උගන්වපු යාච්ඤාවේ මුලින්ම කියපු දේවල්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (මතෙව් 6:9, 10)

4 මතෙව් 6:9, 10 කියවන්න. දෙවියන් පිළිගන්න විදිහට යාච්ඤා කරන්නේ කොහොමද? ඒ ගැන යේසුස් කන්ද උඩ දේශනාවේදී ඉගැන්නුවා. “ඔබ යාච්ඤා කළ යුත්තේ මෙයාකාරයටයි” කියලා කිව්වාට පස්සේ ඔහු මුලින්ම කිව්වේ දෙවියන්ගේ අරමුණට සම්බන්ධ දේවල් ගැන යාච්ඤා කරන්න කියලයි. ඒකට දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන කැළැල ඉවත් වෙන එක, දේවරාජ්‍යය, දෙවියන්ගේ සතුරන්ගේ විනාශය සහ දෙවියන් මිනිස්සුන්ට දෙන්න යන ආශීර්වාද ඇතුළත් වෙනවා. අපිත් යාච්ඤා කරද්දී ඒ දේවල් ගැන කියනවා නම් අපි පෙන්නන්නෙත් දෙවියන්ගේ අරමුණ ඉටු වෙන එක අපිට ගොඩක් වැදගත් කියලයි.

5. පෞද්ගලික දේවල් ගැනත් අපිට යාච්ඤා කරන්න පුළුවන්ද?

5 යේසුස් ඊළඟට කිව්වා අපේ පෞද්ගලික කාරණා ගැනත් යාච්ඤා කරන්න පුළුවන් කියලා. උදාහරණෙකට අපිට අවශ්‍ය කෑම බීම දෙන්න කියලා, අපේ වැරදිවලට සමාව දෙන්න කියලා, වැරදි පෙලඹීම්වලින් අපිව ආරක්ෂා කරන්න කියලා සහ දුෂ්ටයාගෙන් අපිව බේරගන්න කියලා යෙහෝවාගෙන් ඉල්ලන්න පුළුවන්. (මතෙ. 6:11-13) ඒ දේවල් ගැන යාච්ඤා කරද්දී අපි දෙවියන් මත රඳා ඉන්නවා කියලත් ඔහු සතුටු වෙන විදිහට ජීවත් වෙන්න අපේ හිතේ ලොකු ආසාවක් තියෙනවා කියලත් අපි පෙන්නනවා.

සැමියෙක්ට එයාගේ බිරිඳත් එක්ක යාච්ඤා කරන්න පුළුවන් මොන වගේ දේවල් ගැනද? (6 ඡේදය බලන්න) b

6. අපිට යාච්ඤා කරන්න පුළුවන් යේසුස් උගන්වපු යාච්ඤාවේ තියෙන දේවල් ගැන විතරද? පැහැදිලි කරන්න.

6 අපිට යාච්ඤා කරන්න පුළුවන් යේසුස් උගන්වපු යාච්ඤාවේ තියෙන දේවල් ගැන විතරක් නෙවෙයි. මොකද යේසුස් ඔහුගේ හිතට දැනුණ තව ගොඩක් දේවල් ගැන වෙනත් අවස්ථාවලදී යාච්ඤා කළා. (මතෙ. 26:39, 42; යොහ. 17:1-26) අපිටත් පුළුවන් අපේ හිතේ තියෙන ඕනම දෙයක් දෙවියන්ට කියන්න. උදාහරණෙකට බැරෑරුම් තීරණයක් ගන්න වෙද්දී ඔයාට පුළුවන් යෙහෝවාගෙන් ප්‍රඥාව, අවබෝධය ඉල්ලන්න. (ගීතා. 119:33, 34) අමාරු පැවරුමක් කරන්න වෙද්දී ඒක කරන්නේ කොහොමද කියලා තේරුම්ගන්න ඔහුගෙන් උදව් ඉල්ලන්න. (හිතෝ. 2:6) දෙමාපියන්ට පුළුවන් දරුවෝ වෙනුවෙන් යාච්ඤා කරන්න. ඒ වගේම දරුවන්ට පුළුවන් දෙමාපියන් වෙනුවෙන් යාච්ඤා කරන්න. අපේ යාච්ඤාවලදී බයිබල් ශිෂ්‍යයන්ව, සේවේදී හම්බ වෙන අයව අමතක කරන්නත් හොඳ නැහැ. හැබැයි යාච්ඤා කරද්දී අපි මතක තියාගන්න ඕනෙ දේකුත් තියෙනවා. අපේ යාච්ඤා හැම වෙලේම ඉල්ලීම්වලින් විතරක් පිරුණු ඒවා වෙන්න හොඳ නැහැ.

යෙහෝවා දෙවියන්ට ස්තුති කරන්න, ප්‍රශංසා කරන්න අපිට තියෙන හේතු මොනවාද? (7-9 ඡේද බලන්න) c

7. යාච්ඤා කරද්දී දෙවියන්ට ප්‍රශංසා කරන්න ඕනෙ ඇයි?

7 යාච්ඤා කරද්දී යෙහෝවා දෙවියන්ට ප්‍රශංසා කරන්නත් අමතක කරන්න එපා. මොකද ප්‍රශංසාව ලබන්න ඔහු තරම් වටින වෙන කවුරුත් නැහැ. ඔහු “සමාව දීමට කැමති, යහපත් දෙවි කෙනෙක්.” ඔහු ‘දයාවන්තයි. කරුණාවන්තයි. කේන්ති ගන්න ඉක්මන් වෙන්නේ නැහැ. හැම වෙලේම විශ්වාසවන්තව වැඩ කරනවා.’ ඒ විතරක් නෙවෙයි ඔහු “පෙන්වන ප්‍රේමය අතිමහත්.” (ගීතා. 86:5, 15) යෙහෝවා කියන්නේ මොන වගේ කෙනෙක්ද, ඔහු අපි වෙනුවෙන් මොන තරම් දේවල් කරලා තියෙනවාද කියලා හිතද්දී ඔහුට අපේ ප්‍රශංසාව දෙන්න තව හේතු ඕනෙද!

8. දෙවියන්ට ස්තුති කරන්න පුළුවන් මොන වගේ දේවල් ගැනද? (ගීතාවලිය 104:12-15, 24)

8 දෙවියන් අපි වෙනුවෙන් දීලා තියෙන පුදුමාකාර දේවල් ගැන අපි ඔහුට ස්තුති කරන්නත් ඕනේ. මල්වල තියෙන අපේ නෙත් පිනවන දහසකුත් වර්ණ ගැන, දිව පිනවන ප්‍රණීත ආහාර ගැන, හිත් පිනවන කිට්ටු මිතුදම් ගැන ඔහුට ස්තුති කරන්න අපිට පුළුවන්. ඒ ඔහු දීලා තියෙන දේවල් කීපයක් විතරයි. ඔහු දීපු හැම දේම ගණන් කරන්න ගියොත් අපේ ජීවිත කාලෙත් මදි වෙයි. ඔහු ඒවා දීලා තියෙන්නේ අපේ සතුට වෙනුවෙන්. (ගීතාවලිය 104:12-15, 24 කියවන්න.) යෙහෝවා දෙවියන් ඔහුත් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න ඕනෙ දේවලුත් අපිට දෙනවා. අපේ ජීවිතේට බලාපොරොත්තුවකුත් දීලා තියෙනවා. ඒ ගැනත් අපි ඔහුට මොන තරම් ස්තුති කරන්න ඕනෙද!

9. අමතක නොකර දෙවියන්ට ස්තුති කරන්න අපිට උදව් වෙන්නේ මොනවාද? (1 තෙසලෝනික 5:17, 18)

9 අපි කාර්යබහුල නිසා සමහර වෙලාවට යෙහෝවා දෙවියන්ට ස්තුති කරන්න අමතක වෙන්න පුළුවන්. එහෙම නොකර ඉන්න උදව් වෙන්නේ මොනවාද? මුලින්ම ඔයාට පුළුවන් ඔයා යෙහෝවාගෙන් ඉල්ලපු දේවල්වල ලැයිස්තුවක් හදන්න. ඊටපස්සේ ඒවාවලින් ඔහු උත්තර දීලා තියෙන්නේ මොනවාටද කියලා කාලෙන් කාලෙට ලකුණු කරන්න. එතකොට ඔයාට ඒ දේවල් ගැන දෙවියන්ට ස්තුති කරන්න පුළුවන්. (1 තෙසලෝනික 5:17, 18 කියවන්න.) මෙහෙම හිතන්න. ඔයා වෙන කෙනෙක් වෙනුවෙන් මොනවා හරි දෙයක් කරලා එයා ඔයාට “තැන්ක් යූ” කියද්දී ඔයාගේ හිතට ලොකු සතුටක් දැනෙනවා නේද? ඒ වගේ අපේ යාච්ඤාවට උත්තර දීපු එක ගැන අපි යෙහෝවාට ස්තුති කරද්දී ඔහුගේ හිතත් සතුටින් පිරිලා යනවා. (කොලො. 3:15) අපි දෙවියන්ට ස්තුති කරන්න ඕනෙ තව වැදගත් හේතුවක් තියෙනවා. ඒ මොකක්ද?

යේසුස්ව දුන්නාට ස්තුති කරන්න

10. 1 පේතෘස් 2:21 කියන විදිහට යේසුස්ව මේ පොළොවට එව්ව එක ගැන දෙවියන්ට ස්තුති කරන්න ඕනෙ ඇයි?

10 1 පේතෘස් 2:21 කියවන්න. මිනිස්සුන්ට උගන්වන්න යේසුස්ව මේ පොළොවට එව්වේ යෙහෝවා දෙවියන්. යේසුස්ගේ ජීවිත කතාව අධ්‍යයනය කරද්දී යෙහෝවා ගැන, ඔහුව සතුටු කරන්න අපි කරන්න ඕනෙ දේවල් ගැන හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ආදම්ගෙන් උරුම වුණ පාපය නිසා මිනිස්සු හැමෝම දෙවියන්ගෙන් ඈත් වෙලයි හිටියේ. හැබැයි යේසුස්ගේ ජීවිත පූජාව ගැන විශ්වාස කරද්දී දෙවියන් එක්ක සමාදානය ඇති කරගන්න, ඔහුත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න අපිට පුළුවන්.—රෝම 5:1.

11. අපි යේසුස්ගේ නාමයෙන් යාච්ඤා කරන්නේ ඇයි?

11 යේසුස් මාර්ගයෙන් යෙහෝවා දෙවියන්ට කතා කරන්න ලැබිලා තියෙන එක ගැනත් අපි ඔහුට ස්තුති කරන්න ඕනේ. මොකද යේසුස්ගේ නාමයෙන් යාච්ඤා කළොත් විතරයි ඔහු ඒකට ඇහුම්කන් දෙන්නේ. අපේ යාච්ඤාවලට උත්තර දෙන්න දෙවියන් පාවිච්චි කරන්නෙත් යේසුස්ව. ඒ නිසයි යේසුස් මෙහෙම කිව්වේ. “ඔබ මගේ නාමයෙන් මොනවා හරි දෙයක් ඉල්ලුවොත් මම එය ඉටු කර දෙනවා. එවිට පුත්‍රයා මාර්ගයෙන් පියාණන්ව ගෞරවයට පත් වෙයි. ඔබ ඕනෑම දෙයක් මගේ නාමයෙන් ඉල්ලුවොත් මම එය ඉටු කර දෙනවා.”—යොහ. 14:13, 14.

12. යේසුස්ව දුන්න එක ගැන යෙහෝවාට ස්තුතිවන්ත වෙන්න අපිට තියෙන තව හේතුවක් මොකක්ද?

12 යෙහෝවා දෙවියන් අපේ පව්වලට සමාව දෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව පදනම් කරගෙන. යේසුස්ව බයිබලේ හඳුන්වන්නේ “ස්වර්ගයෙහි මහෝත්තමයාණන්ගේ සිංහාසනයේ දකුණු පැත්තේ අසුන්ගෙන” ඉන්න උත්තම පූජකයෙක් විදිහට. (හෙබ්‍රෙ. 8:1) යේසුස් කියන්නේ “අපිට උපකාර කරන්න පියාණන් එක්ක ඉන්න තැනැත්තා.” (1 යොහ. 2:1) අපේ දුර්වලකම් තේරුම් අරන් අපිට අනුකම්පා කරන, “අප වෙනුවෙන් දෙවිට කන්නලව් කරන” ඒ වගේ කරුණාවන්ත උත්තම පූජකයෙක් ඉන්න එක ගැන අපි කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද! (රෝම 8:34; හෙබ්‍රෙ. 4:15) අපි පාපය උරුම කරගත්ත දූවිලි වගේ මිනිස්සු. යේසුස් නොහිටින්න අපිට කවදාවත් දෙවියන්ට ළං වෙන්න බැහැ. එහෙම බලද්දී තමන්ගේ පුතාව අපි වෙනුවෙන් එව්ව එක ගැන අපි යෙහෝවාට සදා ණයගැතියි.

සහෝදර සහෝදරියන්වත් අමතක කරන්න එපා!

13. මරණයට කලින් රාත්‍රියේ යේසුස් ඔහුගේ ගෝලයන්ට ආදරෙයි කියලා පෙන්නුවේ කොහොමද?

13 මරණයට කලින් රාත්‍රියේ යේසුස් සෑහෙන වෙලාවක් ඔහුගේ ගෝලයන් ගැන දෙවියන්ට යාච්ඤා කළා. ඔහු යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලුවා “දුෂ්ටයාගේ බලපෑමෙන් ඔවුන්ව ආරක්ෂා කරන්න” කියලා. (යොහ. 17:15) ඒ වගේ දෙයක් දෙවියන්ගෙන් ඉල්ලන්න යේසුස්ගේ හිතේ ගෝලයන් ගැන කොච්චර ආදරයක් තියෙන්න ඇද්ද! යේසුස් දැනගෙන හිටියා තව ටික වෙලාවකින් ඔහුට ගොඩක් කුරිරු දේවල්වලට මුහුණ දෙන්න වෙනවා කියලා. ඒ වගේ තත්වයක හිටියත් යේසුස් වැඩියෙන්ම වධ වුණේ ගෝලයෝ ගැනයි.

සහෝදර සහෝදරියන් මුහුණ දෙන මොන දේවල් ගැනද අපිට යාච්ඤා කරන්න පුළුවන්? (14-16 ඡේද බලන්න) d

14. සහෝදර සහෝදරියන්ට ආදරෙයි කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද?

14 යේසුස්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද? අපිත් හැම වෙලේම අපේ ප්‍රශ්න ගැන, අපේ ඕනෑ එපාකම් ගැන විතරක් හිතන අය වෙන්න හොඳ නැහැ. ඒ වෙනුවට යාච්ඤා කරද්දී අපි සහෝදර සහෝදරියන් ගැනත් මතක් කරන එක වැදගත්. එහෙම කරද්දී අනිත් අයට ප්‍රේම කරන්න කියලා යේසුස් දුන්න අණ අපි පිළිපදිනවා. (යොහ. 13:34) එතකොට යෙහෝවාත් දකිනවා අපි සහෝදරයන්ට කොච්චර ආදරෙයිද කියලා. සහෝදරයෝ ගැන යාච්ඤා කරන එක කිසිම තේරුමක් නැති වැඩක් කියලා කවදාවත් හිතන්න එපා. මොකද බයිබලේ කියන්නේ “ධර්මිෂ්ඨ කෙනෙක් දෙවිට කන්නලව් කරන විට එයින් ඉමහත් ප්‍රයෝජන නෙළාගන්න පුළුවන්” කියලා.—යාකො. 5:16.

15. මේ කාලේ අපි විශේෂයෙන්ම අපේ සහෝදරයන් ගැන යාච්ඤා කරන්න ඕනෙ ඇයි?

15 අද අපේ සහෝදර සහෝදරියන් ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙනවා. අසනීප, ස්වාභාවික විපත්, යුද්ධ, විරුද්ධවාදිකම් සහ ජීවිතේ තවත් අභියෝග නිසා එයාලා ඉන්නේ හෙම්බත් වෙලා. අපිට පුළුවන් ඒවාට මුහුණ දෙන්න එයාලට ශක්තිය දෙන්න කියලා යාච්ඤා කරන්න. සමහරවිට ඒ වගේ සහෝදර සහෝදරියන්ව ඔයාට දැන් මතක් වෙනවාත් ඇති. ඔයාට පුළුවන්ද එයාලගේ නම් කියලාම යෙහෝවාට යාච්ඤා කරන්න? ඒ වගේම අපිට පුළුවන් රැයක් දවාලක් බලන්නේ නැතුව ඒ වගේ සහෝදරයන්ට උදව් කරන අය වෙනුවෙනුත් යාච්ඤා කරන්න. එහෙම කරද්දී අපි පෙන්නන්නේ අපේ හිතේ ඇත්තටම එයාලා ගැන ලොකු කැක්කුමක් තියෙනවා කියලයි.

16. පෙරමුණ ගන්න අය වෙනුවෙන් අපි යාච්ඤා කරන්න ඕනෙ ඇයි?

16 අපිට පුළුවන් අපේ සභාවේ පෙරමුණ අරන් වැඩ කරන සහෝදරයන් වෙනුවෙනුත් යාච්ඤා කරන්න. අපි එයාලා වෙනුවෙන් යාච්ඤා කරන එක එයාලා ගොඩාක් අගය කරනවා. බලන්න ඒ ගැන පාවුල්ට හැඟුණ විදිහ. එයා මෙහෙම කිව්වා. “මා වෙනුවෙන්ද කන්නලව් කරන්න. එවිට මට කතා කිරීමට සිදු වන විට ශුභාරංචියේ පරිශුද්ධ රහස ගැන කිසි බියක් සැකක් නැතුව නිර්භීතව කතා කිරීමට දෙවි මට උපකාර කරනු ඇත.” (එෆී. 6:19) අදත් පාවුල් වගේ වෙහෙස මහන්සි නොබලා අනිත් අය වෙනුවෙන් කැප වෙන සහෝදරයන් අපි අතරේ ඉන්නවා. යාච්ඤා කරද්දී එයාලවත් අමතක කරන්න එපා. එයාලා ගන්න මහන්සියට ආශීර්වාද කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න. එහෙම කරද්දී අපි පෙන්නන්නේ අපේ හිතේ එයාලා ගැන තියෙන ආදරෙයි.

අනිත් අය වෙනුවෙන් ප්‍රසිද්ධියේ යාච්ඤා කරන්න වෙද්දී

17-18. අනිත් අය වෙනුවෙන් ප්‍රසිද්ධියේ යාච්ඤා කරන්න වෙන්නේ මොන වගේ අවස්ථාවලදීද? එහෙම කරද්දී අපි මතක තියාගන්න ඕනෙ මොනවාද?

17 සමහරවිට අනිත් අය වෙනුවෙන් යාච්ඤා කරන්නත් ඔයාට අවස්ථාවන් ලැබෙයි. උදාහරණෙකට ඔයා තව සහෝදරියකගේ බයිබල් පාඩමකට යනවා කියලා හිතන්න. සමහරවිට ඒ සහෝදරිය ඔයාට කියයි පාඩම පටන්ගන්න කලින් යාච්ඤාවක් කරන්න කියලා. ඔයා ඒ ශිෂ්‍යයා ගැන වැඩි විස්තර දන්නේ නැත්නම් ඔයා කියයි පාඩම ඉවර වුණාම යාච්ඤා කරන්නම් කියලා. මොකද එතකොට ඔයාට පුළුවන් ශිෂ්‍යයා ගැන අවබෝධයක් අරගෙන එයා වෙනුවෙන් ඒ යාච්ඤාව කරන්න.

18 සමහර වෙලාවට සේවේ යන්න කලින් පවත්වන රැස්වීමේදී නැත්නම් සභා රැස්වීමේදී යාච්ඤාවක් කරන්න සහෝදරයන්ට අවස්ථාව ලැබෙනවා. ඒ වගේ වෙලාවට ඒ සහෝදරයා මතක තියාගන්න ඕනෙ ඒ යාච්ඤාව කරන්නේ මොකක් වෙනුවෙන්ද කියලා. එයා කවදාවත් යාච්ඤාවේදී සහෝදරයන්ට උපදෙස් දෙන්නේවත් නිවේදන දෙන්නේවත් නැහැ. ඒ වගේම සහෝදරයන් මතක තියාගන්න ඕනෙ සභා රැස්වීමකදී ගීතිකාවටයි, යාච්ඤාවටයි දෙකටම තියෙන්නේ විනාඩි පහයි කියලා. ඒ නිසා “වචන රාශියක්” කියලා ඒ විනාඩි පහේම යාච්ඤාව කරන්න හොඳ නැහැ. (මතෙ. 6:7) විශේෂයෙන්ම රැස්වීම පටන්ගන්න කලින් කරන යාච්ඤාව කෙටි වෙන්න ඕනේ.

යාච්ඤාවට ඔයා දීලා තියෙන්නේ මොන වගේ තැනක්ද?

19. යෙහෝවා දෙවියන්ගේ දවසට සූදානම් වෙන්න අපිට උදව් වෙන්නේ මොකක්ද?

19 ගෙවෙන හැම තත්පරයක් ගානෙම අපි ටිකෙන් ටික දෙවියන්ගේ දවසට ළං වෙනවා. ඒ නිසයි වෙන කවදාටත් වඩා වැඩියෙන් යාච්ඤාවට අපේ ජීවිතේ මුල් තැන දෙන්න ඕනේ. ඒ ඇයි? බලන්න යේසුස් කියපු දේ. ‘එමනිසා අවදිව සිටින්න. නිතරම දෙවිට කන්නලව් කරමින් සිටින්න. එවිට අනිවාර්යයෙන්ම පැමිණෙන ඒ සියල්ලෙන් ගැලවෙන්න ඔබට හැකි වෙයි.’ (ලූක් 21:36) ඉතින් නොකඩවා යාච්ඤා කරද්දී දිගටම අවදිව ඉඳලා විශ්වාසයෙන් ඒ මහත් දවසට මුහුණ දෙන්න අපිටත් පුළුවන්.

20. යෙහෝවා දෙවියන්ට මිහිරි සුවඳක් වගේ අපේ යාච්ඤා ඔප්පු කරන්න පුළුවන් කොහොමද?

20 අපි මේ වෙන කල් සාකච්ඡා කළේ මොනවා ගැනද? යාච්ඤාව කියන්නේ මිල කරන්න බැරි තෑග්ගක්. යාච්ඤා කරද්දී අපි මූලිකවම අවධානය දෙන්නේ යෙහෝවා දෙවියන්ගේ අරමුණ ඉටු වෙන එකටයි. ඒ වගේම යේසුස්ව අපි වෙනුවෙන් දුන්න එකටත් අපි ස්තුති කරන්න ඕනේ. අපේ සහෝදරයන් ගැනත් යාච්ඤා කරන්න අපි අමතක කරන්න හොඳ නැහැ. අපිට අවශ්‍ය දේවල් යෙහෝවාගෙන් ඉල්ලන්නත් අපිට පුළුවන්. ඒ විතරක් නෙවෙයි දිගටම විශ්වාසය ශක්තිමත් කරගන්න උදව් කරන්න කියලත් ඉල්ලන්න පුළුවන්. යාච්ඤා කරද්දී ඔහේ කරන්නන් වාලේ කරනවා වෙනුවට යාච්ඤාවේදී කියන්නේ මොනවාද කියලා හොඳට හිතන්නත් ඕනේ. එහෙම කරද්දී යාච්ඤාව කියන තෑග්ග ගොඩක් අගය කරනවා කියලා අපි පෙන්නනවා. එතකොට අපේ යාච්ඤා ‘යෙහෝවා දෙවියන්ට ප්‍රසන්න’ සුවඳ දුම් වගේ ඔප්පු කරන්න අපිටත් පුළුවන්.—හිතෝ. 15:8.

ගීතිකාව 45 මාගේ සිතුවිලි විමසන්න

a යාච්ඤාව අපිට යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණ වටින තෑග්ගක්. අපිටත් ඕනෙ දෙවියන්ට මිහිරි සුවඳක් ගේන සුවඳ දුම් වගේ ඒ යාච්ඤාව ඔහුට පිළිගන්වන්න. ඒත් අපිට යාච්ඤා කරන්න පුළුවන් මොන වගේ දේවල් ගැනද? අනිත් අය ඉස්සරහා යාච්ඤා කරද්දී අපි මතක තියාගන්න ඕනෙ මොනවාද? ඒ ගැන අපි මේ ලිපියෙන් බලනවා.

b පින්තූරයේ අදහස: ඉස්කෝලේදී දුවව ආරක්ෂා කරන්න කියලත් බිරිඳගේ තාත්තාට ඉක්මනින් සුව වෙන්න උදව් කරන්න කියලත් බයිබල් ශිෂ්‍යයෙක්ට දියුණු වෙන්න උදව් කරන්න කියලත් සැමියෙක් එයාගේ බිරිඳත් එක්ක යාච්ඤා කරනවා.

c පින්තූරයේ අදහස: යේසුස්ගේ ජීවිත පූජාව ගැනත් මිනිස්සුන්ට ජීවත් වෙන්න දීලා තියෙන මේ ලස්සන නිවහන ගැනත් රසවත් කෑම ලබා දුන්න එක ගැනත් යෞවන සහෝදරයෙක් දෙවියන්ට ස්තුති කරනවා.

d පින්තූරයේ අදහස: පාලක මණ්ඩලයේ සහෝදරයන් වෙනුවෙන්, පීඩා විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන සහෝදරයන් වෙනුවෙන් සහෝදරියක් යාච්ඤා කරනවා.