ගණන් කතාව 27:1-23
27 ෂෙලොපෙහාද්+ යෝසෙප්ගේ පුතා වන මනස්සේගේ පවුලේ කෙනෙක්. එයාගේ තාත්තා හේෆෙර්. හේෆෙර්ගේ තාත්තා ගිලියද්. ගිලියද්ගේ තාත්තා මාකීර්. මාකීර්ගේ තාත්තා මනස්සේ. මනස්සේගේ තාත්තා යෝසෙප්. ෂෙලොපෙහාද්ගේ දූවරුන්ගේ නම් මේවායි. මාලාහ්, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ෂා.
2 දවසක් ඒ දුවලා පස්දෙනා හමු වීමේ කූඩාරමට ඇතුල් වෙන තැනට ආවා. එයාලා මෝසෙස්, පූජක එලියාසර්, අධිපතීන්+ සහ මුළු සෙනඟ ඉස්සරහට ඇවිත් මෙහෙම කිව්වා.
3 “අපේ තාත්තා පාළුකරයේදී මැරුණා. එයා මැරුණේ යෙහෝවාට විරුද්ධව කැරලිගහපු කෝරාගේ+ සෙනඟට එකතු වුණ නිසා නෙමෙයි. එයාගෙම වැරදි නිසයි එයා මැරුණේ. අපේ තාත්තාට පුතාලා නැහැ.
4 එයාට පුතාලා නැහැ කියලා එයාගේ පෙළපතෙන් එයාගේ නම අයින් කරන්න එපා. තාත්තාගේ සහෝදරයන්ට උරුමයක් දෙනවා වගේ අපිටත් උරුමයක් දෙන්න.”
5 ඉතින් මෝසෙස් එයාලා කරපු ඉල්ලීම ගැන යෙහෝවාට කිව්වා.+
6 එතකොට යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා.
7 “ෂෙලොපෙහාද්ගේ දුවලාගේ ඉල්ලීම සාධාරණයි. එයාලාගේ තාත්තාගේ සහෝදරයන්ට උරුමයක් දෙද්දී එයාලටත් අනිවාර්යයෙන්ම උරුමයක් දෙන්න ඕනේ. තාත්තාගේ උරුමය එයාලට දෙන්න.+
8 ඔයා ඊශ්‍රායෙල්වරුන්ට මෙහෙම කියන්න. ‘කෙනෙක්ට පුතාලා නැත්නම් එයා මැරුණාට පස්සේ එයාගේ උරුමය එයාගේ දුවලට දිය යුතුයි.
9 එයාට දුවෙක්වත් නැත්නම් ඒ උරුමය දෙන්න ඕනෙ එයාගේ සහෝදරයන්ට.
10 එයාට සහෝදරයොත් නැත්නම් ඒ උරුමය එයාගේ තාත්තාගේ සහෝදරයන්ට දිය යුතුයි.
11 එයාගේ තාත්තාටත් සහෝදරයන් නැත්නම් ඒ උරුමය දෙන්න ඕනෙ එයාගේ ළඟම ලේ නෑයෙකුටයි. එතකොට ඒ කෙනාට ඒ උරුමය අයිති වෙනවා. යෙහෝවා වන මං ගත්ත ඒ තීරණය මෝසෙස් මාර්ගයෙන් ඔයාලට දැනුම් දෙනවා. ඒක ඊශ්‍රායෙල්වරුන්ට මං දෙන නියෝගයක්.’”
12 ඊටපස්සේ යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔයා මේ ළඟ තියෙන අබරිම්+ කන්ද උඩට යන්න. මං ඊශ්‍රායෙල්වරුන්ට දෙන්න යන දේශය ඔයාට එතන ඉඳන් බලාගන්න පුළුවන්.+
13 ඊටපස්සේ ඔයාගේ සහෝදරයා වන ආරොන්+ සහ ඔයාගේ මුතුන්මිත්තන් වගේ ඔයාත් මිය යනවා.+
14 මොකද ඔයායි, ආරොනුයි මං කියපු දේ කරන්නේ නැතුව මට විරුද්ධව කැරලිගැහුවා. ෂින්+ පාළුකරයේ කාදෙෂ්වලදී+ මෙරිබා+ දිය පහර ළඟ සෙනඟ මට දොස් කියපු වෙලාවේ සෙනඟ ඉස්සරහා ඔයාලා මාව ගෞරවයට පත් කළේ නැහැ.”*+
15 එතකොට මෝසෙස් යෙහෝවාට මෙහෙම කිව්වා.
16 “යෙහෝවා දෙවියනි, හැම කෙනෙක්ටම ජීවිතය දෙන්නේ ඔයායි.* ඉතින් මේ සෙනඟව බලාගන්න ඔයා කාව හරි පත් කරන්න.
17 හැම කාරණාවකදීම එයාලට මඟ පෙන්නන්න පුළුවන් කෙනෙක්ව පත් කරන්න. යෙහෝවා දෙවියනි, එහෙම කළේ නැත්නම් ඔයාගේ සෙනඟ එඬේරෙක් නැති බැටළුවන් වගේ වෙයි.”
18 එතකොට යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “නූන්ගේ පුතා වන යොෂුවාට ඔයා ළඟට එන්න කියන්න. එයා වගකීම් දරන්න පුළුවන් විශ්වාසවන්ත කෙනෙක්. ඔයාගේ අත එයා පිට තියන්න.+
19 පූජක එලියාසර් සහ ඊශ්‍රායෙල් සෙනඟ ඉස්සරහට එයාව එක්කන් යන්න. ඒ හැමෝටම පේන්න එයාව නායකයා විදිහට පත් කරන්න.+
20 ඔයාට තියෙන අධිකාරියෙන්* කොටසක් එයාට දෙන්න.+ එතකොට මුළු සෙනඟම එයාට කීකරු වෙයි.+
21 යම් කාරණයක් ගැන යෙහෝවා වන මගේ තීරණය දැනගන්න ඕනෙ වුණාම යොෂුවා පූජක එලියාසර් ඉස්සරහට යා යුතුයි. එලියාසර් ඌරීම්+ පාවිච්චි කරලා ඒ කාරණය ගැන මං දෙන තීරණය දැනගෙන ඒක දන්වන්න ඕනේ. ඊටපස්සේ යොෂුවාත් මුළු ඊශ්‍රායෙල් සෙනඟත් ඒ තීරණයට එකඟව වැඩ කළ යුතුයි.”
22 යෙහෝවා දෙවියන් කියපු විදිහටම මෝසෙස් කළා. එයා පූජක එලියාසර් සහ මුළු සෙනඟ ඉස්සරහට යොෂුවාට එන්න කියලා
23 එයා මත අත තිබ්බා. ඒ විදිහට එයා යොෂුවාව සෙනඟගේ නායකයා විදිහට පත් කළා.+ යෙහෝවා කියපු විදිහටම මෝසෙස් කළා.+
පාදසටහන්
^ මූ.අ., “ශුද්ධ තැනැත්තා විදිහට මට ගෞරවය දුන්නේ නැහැ.”
^ මූ.අ., “හැම ජීවියෙක්ටම ජීවන හුස්ම දෙන්නේ ඔයායි.”
^ හෝ, “ගෞරවයෙන්.”