Skip to content

පටුනට යන්න

බ්‍රසීලය: වාල්දීරා ඉටිපන්දමකුත් පත්තු කරගෙන ෆෝන් එකෙන් පාඩම කරනවා

ලොව වටා සේවය

උතුරු හා දකුණු ඇමරිකා මහද්වීප

උතුරු හා දකුණු ඇමරිකා මහද්වීප
  • රටවල් ගණන 57

  • ජනගහනය 98,25,01,976

  • ප්‍රචාරකයන් ගණන 41,02,272

  • බයිබල් පාඩම් ගණන 43,45,532

ඉටි පන්දම් එළියෙන් බයිබල් පාඩමක්

මීට අවුරුදු 13කට කලින් බයිබලය පාඩම් කරපු වාල්දීරා ගැන බ්‍රසීලයේ හුදෙකලා පැත්තක සේවය කරන විශේෂ පුරෝගාමි යුවළකට දැනගන්න ලැබුණා. එයාලා වාල්දීරාව බලන්න යන්න තීරණය කළත් ඒ ගමන ලේසි වුණේ නැහැ. එයාලට යන්න වුණේ හරිම දුෂ්කර ගුරු පාරවල්වලින්. ගඟවල් හරහාත් යන්න වුණා. ඒක ටිකක් අවදානම් ගමනක්. අන්තිමේදී එයාලට වාල්දීරාව හම්බ වුණා. ආයෙත් බයිබලය ඉගෙනගන්න එයා හිටියේ හරිම ආසාවෙන්. ඒත් එයා හිටියේ දුෂ්කර පළාතක නිසා පුරෝගාමි යුවළ ෆෝන් එකෙන් පාඩම කරන්න සැලසුම් කළා. හැබැයි වාල්දීරාගේ ෆෝන් එකට හොඳට සිග්නල් ලැබුණේ ගෙදරින් ඈත තියෙන පාළු තැනකට ගියාමයි. ඒ විතරක් නෙමෙයි එයාට පාඩම කරන්න වෙලාවක් තිබුණෙත් රෑ නමයෙන් පස්සේ. වාල්දීරා ගොඩක් රෑ වෙලා, පාළු තැනකට ගිහින්, ඉටිපන්දමකුත් තියාගෙන ෆෝන් එකෙන් පාඩම කරන විදිහ ඔයාට හිතාගන්න පුළුවන්ද?

වාල්දීරා ඉරිදා රැස්වීම අහන්නත් ෆෝන් එකයි ‘මුරටැඹයි’ බයිබලයයි අරගෙන එතනට යනවා. වැස්ස දවසට එයා කුඩයකුත් ගෙනියනවා.

ගිය අවුරුද්දේ මාර්තු මාසේ වාල්දීරා කි.මී. 100ක් විතර දුර ගෙවාගෙන විශේෂ රැස්වීමකට ගියා. ඒකෙදි තමයි සංශෝධනය කරපු පෘතුගීසි ‘නව ලොව පරිවර්තනය’ මුදාහැරියේ. එදා වාල්දීරාටත් ඒකෙන් පිටපතක් ලැබුණාම එයා ගොඩක් සතුටු වුණා. බයිබලය පාඩම් කරන්න ගන්න උත්සාහය ගැන සහෝදරයෝ එයාව අගය කළාම එයා නම් කිව්වේ “මට ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි” කියලයි.

“කවදා හරි ඔයාලා මෙහෙට එයි කියලා මට හිතුණා”

යූක්පා කියන්නේ කොලොම්බියාවේ ජීවත් වෙන රතු ඉන්දියානු ගෝත්‍රිකයන් පිරිසක්. එයාලා ඉන්න පැත්තට ගිහින් ශුභාරංචිය දේශනා කරන්න ෆ්‍රෑන්ක් කියන විශේෂ පුරෝගාමි සහෝදරයා සැලසුම් කළා. ඒත් ඒ අයගේ නායකයා වන ජෝන් කයිරෝ ඒ පැත්තේ ආගම් දේශනා කරන්න ආව අයව එළවලා තියෙනවා කියලා ෆ්‍රෑන්ක්ට දැනගන්න ලැබුණා. දවසක් ඒ ගමේ අයගෙන් දසයෙන් කොටස එකතු කරපු දේවගැතිවරයෙක්ව ජෝන් කයිරෝ එළවලා තිබුණේ අහසට වෙඩි තියලා.

කොලොම්බියාව: යූක්පා ගෝත්‍රයේ අයත් එක්ක ෆ්‍රෑන්ක් බයිබල් පාඩමක් කරනවා

ඒ අයට දේශනා කරන්න ගියාම වුණු දේ ගැන ෆ්‍රෑන්ක් කිව්වේ මෙහෙමයි. “මුලින්ම අපේ පණිවිඩේ ඇහුවේ ජෝන් කයිරෝගේ දුවෙක්. අපි එයාට ‘බයිබලයේ ඉගැන්වීම්’ පොත දුන්නම එයා එකපාරටම කිව්වා ‘මං හෙව්වේ මේ ආගම තමයි’ කියලා. ඊට පස්සේ එයා දුවලා ගිහින් එයාගේ තාත්තාට අපි ගැන කිව්වා. ඒ වෙලාවෙම ජෝන් කයිරෝ අපිට එන්න කිව්වා. අපි එයාව හම්බ වෙන්න ගියේ ටිකක් බයෙන්. අපි මුකුත්ම කියන්න කලින් එයා මෙහෙම කිව්වා. ‘ඔයාලගේ ආගම තමයි හරි ආගම කියලා මං දන්නවා. දවසක් මට බෙසරිල්වල කුණු ගොඩක තිබිලා ඔයාලා දැන් දුවට දුන්න පොත වගේ පොතක් හම්බ වුණා. මං ඒක කියෙව්වා. එදා ඉඳන් මං ඔයාලා එන කල් බලාගෙන හිටියේ. මටයි මගේ පවුලේ අයටයි මේ ගමේ අයටයි බයිබලය ගැන උගන්නන්න. ඒකට ඔයාලා ඕන වෙලාවක එන්න.’

“ඒ වෙලාවේ අපේ ඇස්වලට කඳුළු ආවා. අපේ පණිවිඩේ අහන්න ගමේ හැමෝම එකතු වුණා. ජෝන් කයිරෝ තමයි අපි කියපු දේවල් එයාලාගේ භාෂාවට පරිවර්තනය කළේ. අපි ආපහු එද්දී ජෝන් කයිරෝ අපේ බෑග් ගෙනියන්න බූරුවෙකුත් දුන්නා. දැන් අපි යූක්පා ගෝත්‍රයේ 120දෙනෙක් එක්ක බයිබල් පාඩම් 47ක් කරනවා. ඒ අතරේ ජෝන් කයිරෝ සහ එයාගේ දුවත් ඉන්නවා.”

පීඩා කළ කෙනෙක් වෙනස් වෙයි

ඉක්වදෝරයේ ඉන්න හෝසේ කලින් තද කතෝලිකයෙක්. එයා මෙහෙම ලිව්වා. “මට සාක්ෂිකරුවන් ගැන තිබුණේ පුදුම තරහක්. අවුරුදු 10ක් තිස්සේ මං එයාලට හිරිහැර කළා. මැරයෝ දම්මලා ගැහුවා. එයාලා හොරු කියලා චෝදනාත් කළා. එයාලාව පොලිස් කූඩුවට දැම්මම ඒකෙ අගුල දැම්මෙත් මං. දවසක් අපි සාක්ෂිකරුවෙක්ගේ කාර් එකක් කුඩු කළා. තවත් දවසක මෝටර් සයිකලයකුත් පල්ලමකට දැම්මා.

“2010දී මට සූකර උණ හැදුණා. ඇන්දීස් කඳුකරයේ අපි ඉන්න පැත්ත ගොඩක් සීතල නිසා හොඳ වෙන කල් උණුසුම් පැත්තකට ගිහින් ඉන්න කියලා ඩොක්ට මට කිව්වා. ඒ නිසා මං මුහුද ළඟ තියෙන අපේ නෑයෙක්ගේ ගොවිපොළකට ගියා. මට ඒ ගොවිපොළ බලාගන්න වුණේ තනියම. ලොකු තනිකමක් දැනුණු නිසා මට කාත් එක්ක හරි කතා කරන්න ඕන වුණා. දන්නවද කවුද ගොවිපොළට ආවෙ කියලා? වෙන කවුරුත් නෙමෙයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. එයාලා දක්ෂ විදිහට බයිබලයෙන්ම කාරණා පෙන්නපු විදිහ දැක්කම මං පුදුම වුණා. කොයි එකටත් කියලා මං එයාලත් එක්ක බයිබල් පාඩමක් කරන්නත් කැමති වුණා. ඊට මාස 6කට පස්සේ මං සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට ගියා. එයාලගේ ආදරය, කරුණාව දැක්කම මට හිතුණා ‘ඇත්තටම හරි විදිහට දෙවියන්ට නමස්කාර කරන්නේ මේගොල්ලෝ වෙන්න බැරිද’ කියලා. මං දිගටම බයිබලය පාඩම් කළා. 2014 අප්‍රියෙල් මාසෙදි බව්තීස්ම වුණා.

“සාක්ෂිකරුවන්ට හිරිහැර කරපු එක ගැන මගෙ හිත වධ දුන්නා. ඒත් 2014 සමුළුවක තිබුණු සම්මුඛ සාකච්ඡාවකදි එයාලගෙන් සමාව ඉල්ලන්න දෙවි මට අවස්ථාවක් දුන්නා. ඒකෙදී ඇහුවේ මං සාක්ෂිකරුවන්ට විරුද්ධ වෙලා හිටපු කාලේ කරපු දේවල් ගැන. ‘ඔයා පීඩා කරපු අයගෙන් සමාව ඉල්ලන්න අවස්ථාවක් ලැබුණොත් ඔයා සමාව ඉල්ලන්නේ කාගෙන්ද’ කියලා කථිකයා මගෙන් ඇහුවා. ‘එඩ්මුන්ඩොගෙන්, ඒත් එයා ඉන්නේ කොහෙද කියලා මං දන්නෙ නැහැ’ කියලා මං කිව්වා. මටත් හොරෙන්ම චාරිකා සේවක ඒ සහෝදරයාව වේදිකාවට එව්වා. ඒ වෙලාවේ අපි දෙන්නම බදාගෙන ඇඬුවා. ඒක දැකලා සමුළුවට ඇවිත් හිටපු අයටත් ඇඬුණා.”

“මාව හොයාගන්න සාක්ෂිකරුවන්ට උදව් කරන්න”

පැරගුවේ: ඔයාලා සාක්ෂිකරුවන්ද කියලා කාන්තාවක් ඇහුවා

දවසක් පැරගුවේවල සහෝදරියෝ කිහිපදෙනෙක්, සේවේ ඉවර වුණත් ළඟ තිබුණු තවත් ගෙවල් කිහිපයකටත් යන්න හිතුවා. “සමහරවිට කවුරු හරි මේ වෙලාවේ යාච්ඤා කරනවා ඇති” කියලා එක් කෙනෙක් කිව්වා. අන්තිමට ගිය ගෙදරක හිටිය කාන්තාවක් සහෝදරියන්ගෙන් ඇහුවා එයාලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද කියලා. ඒ කාන්තාව රැකියාව නිසා බොලිවියාවේ ඉඳන් පැරගුවේවලට ඇවිත් තියෙන්නේ මාසෙකට කලින්. එයා එහේදි බයිබල් පාඩමක් කරපු කෙනෙක්. පැරගුවේවලට ආවම, අසල්වැසි කවුරුත් සාක්ෂිකරුවන් ගැන දන්නේ නැති නිසා “අනේ යෙහෝවා, මාව හොයාගන්න සාක්ෂිකරුවන්ට උදව් කරන්න” කියලා යාච්ඤා කරලා තිබුණා. එදාම තමයි සහෝදරියන්ට එයාව හම්බ වුණේ.