Skip to content

පටුනට යන්න

පාලක මණ්ඩලයෙන් ලියුමක්

පාලක මණ්ඩලයෙන් ලියුමක්

ආදරණීය සහෝදර සහෝදරියනි,

යූදා රාජ්‍යයේ සාර්ථකත්වයට හේතු වුණේ වෙන කිසිම දෙයක් නෙමෙයි යෙහෝවා දෙවිගේ ආශීර්වාදයයි කියලා යෙසායා නිහතමානීව පිළිගත්තා. ඒකයි යෙසායා මෙහෙම කිව්වේ. “යෙහෝවා දෙවියනි, . . . අපේ සෑම ක්‍රියාවක්ම සාර්ථක වන්නේ ඔබ නිසාය.” (යෙසා. 26:12) පහුගිය සේවා වසර දිහා බලද්දී අපිටත් හැඟෙන්නේ යෙසායාට හැඟුණා වගේමයි. ඇත්තටම යෙහෝවා දෙවි ‘මින් පෙර කිසි දිනක සිදු නොකළ පුදුම ක්‍රියා’ දැන් කරනවා. (නික්. 34:10) දෙවිගෙන් අපිට ලැබිලා තියෙන ඒ වගේ ආශීර්වාද කිහිපයක් දැන් අපි බලමුද?

එක ආශීර්වාදයක් තමයි අපේ jw.org වෙබ් අඩවිය. ඒක දැන් භාෂා 600කට වැඩි ගණනකින් තියෙනවා. ඒ විතරක් නෙමෙයි භාෂා 750කට වැඩි ගණනකින් අපේ ප්‍රකාශන කියවන්න හෝ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මේ වෙබ් අඩවිය සත්‍යය හොයන අයට උදව් වෙලා තියෙන විදිහ හරි පුදුමයි. මේ අද්දැකීම බලන්න. එක විවාහක යුවළක් ආගම් ගැන කලකිරිලයි හිටියේ. ඒත් එයාලා දෙවියන් ගැන හොයන එක නැවැත්තුවේ නැහැ. දවසක් එයාලට අපේ වෙබ් අඩවිය හම්බ වුණා. එයාලා නිතරම ඒකට ගිහින් අපේ පොත් පත් කියවන්න, වීඩියෝ බලන්න පුරුදු වුණා. ඒ විතරක් නෙමෙයි එයාලා ‘දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම’ කියන පොත ඩවුන්ලෝඩ් කරලා දරුවන් එක්ක හැමදාම ඒක කියෙව්වා. දවසක් උදේ සාක්ෂිකරුවන් එයාලගේ ගෙදරට එනකොටත් එයාලා හිටියේ දින පදය බලබලා. අපේ වෙබ් අඩවියෙන් ඉගෙනගත්ත දේවල් නිසා එයාලා ජීවිතේ ලොකු වෙනස්කම් කරගෙන තිබුණා. කලින් එයාලා හිටියේ පච්ච කොටාගෙන කරාඹු දාගෙන. ඒත් දැන් ඒ ඔක්කොම අයින් කරලා. ගෙදර තිබුණු පිළිමත් අයින් කරලා. බයිබලයට පටහැනි උත්සව පවත්වන එකත් නවත්තලා. ඒ වගේම නුසුදුසු චිත්‍රපටි බලන එකත් නවත්වලා තිබුණා. මේ හැම දෙයක්ම එයාලා කරලා තිබුණේ සාක්ෂිකරුවන්ව හම්බ වෙන්නත් කලින්. දැන් ඒ පවුලේ අම්මයි තාත්තයි එක දරුවෙකුයි ප්‍රචාරකයෝ. අම්මයි තාත්තයි ළඟදී බව්තීස්ම වෙන්නත් ආසාවෙනුයි ඉන්නේ.

JW බ්‍රෝඩ්කාස්ටිං එක අපිට ලැබිලා තියෙන තවත් ලොකු ආශීර්වාදයක්. මේක අගය කරලා හුඟක් අය අපිට ලියලා එවලා තිබුණා. දැන් ඒක හැම මාසයකම භාෂා 70කට වඩා වැඩි ගණනකින් විකාශනය වෙනවා. ඉස්සරහට ඒ ගණන තවත් වැඩි වෙයි. හුඟක් අය පවුලේ නමස්කාරය වෙලාවේ බ්‍රෝඩ්කාස්ටිං එක බලනවා. එක සහෝදරයෙක් කිව්ව දේ බලන්න. “අපි ලෝකෙ පුරාම පැතුරුණු ලොකු පවුලක්. අපි ඉන්නේ ලෝක මූලස්ථානයෙන් ගොඩක් ඈත රටක වුණත් ඉස්සරට වඩා දැන් අපි පාලක මණ්ඩලයේ සහෝදරයන්ට ළං වෙලා කියලා දැනෙනවා.”

සමුළු කියන්නේ කොහොමත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විශේෂ දෙයක්. 2015දී පවත්වපු තුන්දින සමුළුවත් ඒ වගේම විශේෂයි. ඒකෙදී පුංචි වීඩියෝ දර්ශන 42ක් පෙන්නුවා. ඒ වගේම හැම සැසිවාරයකටම කලින් වාදනය කරපු මිහිරි සංගීතය නිසා සමුළුව තවත් රසවත් වුණා. එක සහෝදරයෙක් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “සමුළුව වෙලාවේ කවුරුත් නැඟිටලා යන්න කැමති වුණේ නැහැ. මොකද සමුළුවේ කිසිම දෙයක් මඟහැරෙනවට එයාලා කැමති වුණේ නැහැ.” මිෂනාරිවරියක් මෙහෙම කිව්වා. “වීඩියෝ බලද්දී බයිබලයේ තියෙන දේවල් සහ දෙවිගේ රාජ්‍යය කොච්චර ඇත්තක්ද කියන එක මට තවත් තහවුරු වුණා.”

පහුගිය අවුරුද්දේ ලැබුණ අලුත් ගීතිකාවලිනුත් අපි දැක්කේ යෙහෝවා දෙවි අපිට කොච්චර ආශීර්වාද කරනවාද කියන එක. ඒ ගැන එක විවාහක යුවළක් කිව්වේ මෙහෙමයි. “ගීතිකා අහද්දී අපිට දැනෙන්නේ යෙහෝවා දෙවි අපිව ආදරෙන් තුරුල් කරගන්නවා වගේ. අපි දුකෙන් හිටිය හුඟක් වෙලාවල්වලදී ඒ ගීතිකා ඇත්තටම අපිට සහනයක් වුණා.” ඒ විතරක් නෙමෙයි වොච්ටවර් සංගීත කණ්ඩායමේ සහෝදර සහෝදරියෝ යෙහෝවා දෙවි සහ අපි වෙනුවෙන් කොච්චර මහන්සි වෙනවද කියලත් අපිට සමුළුවෙන් මතක් කරලා දුන්නා.

ආයෙත් එද්දී එයාලව ආදරෙන් පිළිගන්න. මොකද එහෙම කරද්දී ඔයාලා අනුකරණය කරන්නේ යෙහෝවා දෙවිවයි

ඔයාලගේ සභාවෙනුත් මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දරනවද? ඒකත් අපිට යෙහෝවා දෙවිගෙන් ලැබිලා තියෙන පුදුමාකාර ආශීර්වාදයක් නේද? මොකද මේ සේවය නිසා පිට අයට ඇතුල් වෙන්න අවසර නැති නිවාස සංකීර්ණවල ඉන්න අයටත් පළවෙනි පාරට දෙවි ගැන දැනගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අක්‍රියාශීලී වෙලා ඉන්න අය වගේම තවත් බොහෝදෙනෙක් මේ සේවය නිසා ප්‍රයෝජන ලබලා තියෙනවා. මේ සිද්ධිය බලන්න. 2015 ජනවාරි මාසයේ දකුණු කොරියාවේ සහෝදරයන් මහජනයා ගැවසෙන තැනක සාක්ෂි දරමින් ඉද්දී කෙනෙක් එතනට ආවා. එයා ළඟදි ඉඳලා ආගම ගැන ටිකක් වැඩියෙන් හිතන්න පටන්ගත්ත කෙනෙක්. ඉතිං එයත් එක්ක සහෝදරයෝ බයිබල් පාඩමක් පටන්ගත්තා. පෙබරවාරි මාසේ එයා පළවෙනි පාරට අපේ රැස්වීමකට ආවා. මාර්තු මාසේ එයා දුම්බීම නැවැත්තුවා. අප්‍රියෙල් මාසේ එයා ශාඛා කාර්යාලය බලන්නත් ගියා. දැන් එයා සත්‍යය තුළ දිගින් දිගටම දියුණු වෙනවා. මේ වගේ හොඳ අද්දැකීම් ගොඩක් ලෝක මූලස්ථානයට ලියලා එවලා තියෙනවා. ඒ අතරින් මේක එක අද්දැකීමක් විතරයි.

කලින් දෙවිට උද්‍යෝගයෙන් සේවය කරපු සමහරු දැන් දෙවිගෙන් ඈත් වෙලා. සමුළුවෙන් ලැබුණු අලුත් සඟරාවේ තොරතුරු හිතට අරගෙන, කල් නොදමා දෙවිගේ තුරුලට ‘ආයෙත් එන්න’ ඒ අය තුළ පෙලඹීමක් ඇති වෙන්න කියලා අපි යාච්ඤා කරනවා. ආයෙත් එද්දී එයාලව ආදරෙන් පිළිගන්න කියලා අපි ඔයාලවත් දිරිගන්වන්න ආසයි. මොකද එහෙම කරද්දී ඔයාලා අනුකරණය කරන්නේ යෙහෝවා දෙවිවයි.—එස. 34:16.

පහුගිය සේවා වසර දිහා බලද්දී දෙවි ඔහුගේ සෙනඟට කොච්චර ආශීර්වාද කරලා තියෙනවාද කියලා පැහැදිලිව පේනවා. ඉස්සරහට යෙහෝවා දෙවි අපි වෙනුවෙන් තව මොන වගේ දේවල් කරයිද? අපි ඉවසීමෙන් බලාගෙන ඉමු. පාලක මණ්ඩලයේ සහෝදරයන් වන අපි ඔයාලාට ගොඩක් ආදරෙයි. ඒ වගේම අපි නිතරම ඔයාලා වෙනුවෙන් යෙහෝවා දෙවිට යාච්ඤා කරනවා.

හද පිරි සෙනෙහසින්,

ඔයාලගේ සහෝදරයෝ,

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය