Skip to content

පටුනට යන්න

විවාහ උත්සව අවස්ථා සමුළු පවත්වන්න යොදාගත්තා

ඉන්දුනීසියාව

රැස්වීම් තියන එක නැවැත්තුවේ නැහැ

රැස්වීම් තියන එක නැවැත්තුවේ නැහැ

තහනම තිබුණ කාලයේ රැස්වීම් තිබ්බේ සහෝදරයන්ගේ ගෙවල්වල. අනිත් අයට ඇහෙයි කියලා හුඟක් සභාවල ගීතිකා කිව්වෙත් නැහැ. ඒත් රැස්වීම් තියපු සමහර ගෙවල් නිලධාරීන් වැටලුවා. මොනවා වුණත් සහෝදරයෝ ඒවාට බයේ රැස්වීම් තියන එක නැවැත්තුවේ නැහැ.

ඒ කාලේ සමුළු තිබ්බේ පවුලේ අය එකතු වෙලා පවත්වන සාද සහ විවාහ උත්සව විදිහටයි. ඒ ගැන සහෝදර ටාගොර් හුටසොයිට් මෙහෙම කිව්වා. “කසාද බඳින අය කලින්ම එයාලගේ විවාහය ලියාපදිංචි කරනවා. ඊට පස්සේ ලොකු විවාහ උත්සවයක් තියන්න පොලීසියෙන් අවසර ගන්නවා. උත්සවය අතරතුර විවාහ වෙන අය වේදිකාවේ ඉද්දී සහෝදරයෝ සමුළුවේ කතා දෙනවා.”

ඒ වගේ එක සමුළුවකදී පොලිස් නිලධාරියෙක් සහෝදර ටාගෝර් ළඟට ඇවිත් මෙහෙම ඇහුවා.

“සාමාන්‍යයෙන් විවාහ උත්සවයක් තියන්න යන්නේ පැය දෙක තුනයි. ඇයි ඔයාලාගේ උත්සව උදේ ඉඳන් හවස් වෙන කල්ම තියන්නේ?”

සහෝදර ටාගෝර් මෙහෙම කිව්වා. “කසාද බඳින සමහර අයට ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් එයාලාට බයිබලයෙන් හුඟක් උපදෙස් දෙන්න ඕනේ.”

“ඒක නම් ඇත්ත” කියලා පොලිස් නිලධාරියා කිව්වා.

1983දී සහෝදරයන් ජකාර්තාවල ක්‍රීඩාංගණයක “රාජ්‍ය එක්සත්කම” කියන සමුළුව පැවැත්වුවෙත් යුවළයන් කිහිපයක්ම විවාහ වෙන උත්සවයක් විදිහට. ඒ සමුළුවට සහෝදරයන් සහ උනන්දුව දක්වන අය 4,000ක් විතර ආවා. සමුළුව පටන්ගන්න කලින් 125දෙනෙක් අනිත් අයගේ අවධානයට ලක් වෙන්නේ නැති විදිහට බව්තීස්ම වුණා. තහනම දැඩිව ක්‍රියාත්මක වුණේ නැති කාලෙකදී ඊටත් වඩා ලොකු සමුළු තියන්න සහෝදරයන්ට පුළුවන් වුණා. ඒ වගේ තියපු එක සමුළුවකට 15,000ක් සහභාගි වුණා.

තහනම යටතේ ඉදි කළ ශාඛා කාර්යාලය

1980 සහ 1990 ගණන්වල තහනම ඉවත් කරන්න කියලා සහෝදරයන් ඉන්දුනීසියාවේ රජයෙන් දිගින් දිගටම ඉල්ලුවා. වෙනත් රටවල්වල හිටිය සහෝදරයනුත් සාක්ෂිකරුවන්ව තහනම් කරලා තියෙන්නේ ඇයි කියලා ඉන්දුනීසියානු රජයෙන් සහ තානාපතීන්ගෙන් ලිපි මාර්ගයෙන් ඇහුවා. හුඟක් නිලධාරීන් තහනම ඉවත් කරන්න කැමති වුණත් ඒ රටේ ක්‍රිස්තියානි ආගමික කටයුතු සඳහා අවසර දෙන්න පත් කරලා තියෙන නිලධාරියා දිගින් දිගටම ඒකට විරුද්ධ වුණා.

1990දී සහෝදරයෝ කාගෙවත් අවධානයට ලක් වෙන්නේ නැති ප්‍රදේශයක ශාඛා කාර්යාලයක් හදන්න සැලසුම් කළා. ඒ අවුරුද්දෙම ජකාර්තාවල බොගොර් කියන පොඩි නගරයේ ඉඩමක් ගන්න පාලක මණ්ඩලයේ අවසරය ලැබුණා. ඒත් ගොඩනැඟිලි හදන්න දන්න සහෝදරයන් කිහිපදෙනයි ඉන්දුනීසියාවේ හිටියේ. ඒ නිසා ගොඩනැඟිල්ල හදන්නේ කොහොමද කියලා ඔවුන්ට ප්‍රශ්නයක් මතු වුණා.

ඔවුන්ගේ උදව්වට ආවේ වෙනත් රටවල්වල හිටිය සහෝදරයන්. බෘක්ලින්වල ඉදිකිරීම් කාර්යාලයෙන් සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ඉන්ජිනේරු අංශයෙන් ගොඩනැගිලිවලට අවශ්‍ය සැලැස්ම ලබා දුන්නා. අවුරුදු දෙකක් පුරා වෙනත් රටවල්වලින් ස්වෙච්ඡාවෙන් ආව සහෝදර සහෝදරියන් 100දෙනෙක් විතර මේ වැඩේට උදව් කළා.

ශාඛා කාර්යාලය ඉදිකරද්දී රජයේ නිලධාරීන් එක්ක ගනු දෙනු කළේ සහෝදර හොසියා මන්සූර්. සිදු වුණු දෙයක් ගැන ඔහු මෙහෙම කියනවා. “මගේ ආරක්ෂක හිස්වැස්මේ ඉංග්‍රීසියෙන් එච් අකුරයි එම් එකුරයි අකුරයි ගහලා තිබුණා. ඒවා මගේ නමේ මුල් අකුරු. හැබැයි ඒක දැකපු මුස්ලිම් නිලධාරීන් හිතුවේ එච් අකුරෙන් ‘හජ්ජි’ කියන වචනය අදහස් වෙනවා කියලා. ‘හජ්ජි’ කියන නම හම්බ වෙන්නේ මක්කම වන්දනාවේ ගිය අයට නිසා එයාලා මට ගොඩක් ගරු කළා. එයාලා ඒක වැරදියට තේරුම්ගත්ත එකෙන් වුණේ වැඩ ටික කරගන්න ලේසි වුණ එකයි.”

තහනම යටතේ ඉදි කළ ශාඛා කාර්යාලයක්

1996 ජූලි 19වෙනිදා අලුත් ශාඛා කාර්යාලය යෙහෝවා දෙවිට කැප කළා. කැප කිරීමේ දේශනය ඉදිරිපත් කළේ පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වුණ ජෝන් බාර්. ඒ රැස්වීමට 285දෙනෙක් ඇවිත් හිටියා. ඒ අතර ඉන්දුනීසියාවේ බෙතෙල් පවුලේ සාමාජිකයන් 59දෙනෙක්, ශාඛා කාර්යාල නියෝජිතයන් 118ක් සහ කලින් ඉන්දුනීසියාවේ මිෂනාරි සේවය කරපු අයත් හිටියා. ඊළඟ දවස් දෙකේදී ජකාර්තාවල “දේවසමාදානයේ දූතයෝ” කියන සමුළුව පැවැත්වුවා. ඒකට 8,793දෙනෙක් ආවා.

යෙහෝවා දෙවි ඔවුන්ට උදව් කළා

1998දී ඉන්දුනීසියාවේ ජනාධිපති සුහර්තෝ ඔහුගේ නිලයෙන් ඉල්ලා අස් වුණා. ඒ නිසා රටේ පාලනය භාරගත්තේ අලුත් ආණ්ඩුවක්. ඒත් එක්කම සහෝදරයෝ තහනම ඉවත් කරන්න කියලා ආයෙත් රජයෙන් ඉල්ලා සිටියා.

මේ අතර ඉන්දුනීසියාවේ රාජ්‍ය ලේකම් යොහාන් එෆෙන්ඩි මහතා 2001දී ඇමරිකාවට ගිය වෙලාවේ බෘක්ලින් බෙතෙල් එක බලන්න ගියා. එහෙදී ඔහුට පාලක මණ්ඩලයේ සහෝදරයන් 3දෙනෙක්වත් හම්බ වුණා. බෙතෙල් එකේදී දැක්ක දේවල් නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ ලෝකෙ පුරාම හොඳ නමක් දිනාගෙන ඉන්න පිරිසක් කියලා ඔහු තේරුම්ගත්තා. එෆෙන්ඩි මහතා සාක්ෂිකරුවන්ට විරුද්ධව තිබුණු තහනම ඉවත් කරන්න කැමති වුණත් ඔහු කිව්වේ ඒකට ඉන්දුනීසියාවේ නීතිපති මාර්සූකි දාරස්මන් මහතාගේ අවසරය ඕනේ කියලයි.

තහනම ඉවත් කරන්න නීතිපති කැමති වුණත් ඔහු සමඟ වැඩ කරපු සමහර නිලධාරීන් ඒකට කැමති වුණේ නැහැ. නීතිපති තනතුරට ළඟදීම වෙන කෙනෙක් එනවා කියලා දැනගෙන හිටිය ඔවුන් ඒ වැඩේ කල් දැම්මා. 2001 ජූනි 1වෙනිදා සහෝදර ටාගොර් හුටසොයිට්ව නීතිපති කාර්යාලයට ගෙන්නුවා. ඒ ගැන ඔහු කිව්වේ මෙහෙමයි. “එදා නීතිපතිතුමා ඒ ඔෆිස් එකේ වැඩ කරපු අන්තිම දවස. මට මතකයි අපිව තහනම් කරනවා කියන ලියවිල්ල මගේ අතට දුන්නෙත් ඒ ඔෆිස් එකේදිමයි. ඒ සිද්ධියෙන් අවුරුදු 25කට පස්සේ ඒ ඔෆිස් එකේදිම අපේ තහනම අයින් කළා කියන ලියවිල්ල මගේ අතට දුන්නා.”

2002 මාර්තු 22වෙනිදා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ආගමක් විදිහට ඉන්දුනීසියාවේ ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළා. ශාඛා කාර්යාලයෙන් ආව සහෝදරයන්ට ඒ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙහෙම කිව්වා. “ඔයාලා දෙවියන්ට නමස්කාර කරන එක නවත්තන්න කාටවත් බැහැ. ඒ නිදහස ඔයාලට දීලා තියෙන්නේ දෙවියන්මයි. මේ ලියවිල්ලේ කතා කරන්නේ ඒ නිදහස ගැන නෙමෙයි. මේකෙන් කියන්නේ ඔයාලව මේ රටේ ආගමක් විදිහට පිළිගන්නවා කියන එකයි. ඒ වගේම අනිත් ආගම්වලට තියෙන අයිතීන් සහ රජයේ සහයෝගයත් ඔයාලට ලැබෙනවා.”