Skip to content

පටුනට යන්න

ලොව වටා සේවය

උතුරු හා දකුණු ඇමරිකා මහද්වීප

උතුරු හා දකුණු ඇමරිකා මහද්වීප
  • රටවල් ගණන 57

  • ජනගහනය 98,07,80,095

  • ප්‍රචාරකයන් ගණන 40,34,693

  • බයිබල් පාඩම් ගණන 43,39,285

අනාථ නිවාසේ දරුවන් රැස්වීම් එයි

සූරිනාමයේ ඉන්න ඇන්ජලා දවසක් සේවයේ යන ගමන් අනාථ නිවාසෙකටත් ගියා. ඒකෙ පාලිකාව අක්‍රියාශීලී සහෝදරියක් නිසා ඇය අනාථ නිවාසේ දරුවන්ට ශුභාරංචිය කියන්න ඇන්ජලාට ඉඩ දුන්නා. එතන හිටපු දරුවන් 85දෙනාටම පණිවිඩේ කියපු ඇය අපේ වෙබ් අඩවියේ තියෙන වීඩියෝත් පෙන්නුවා. ඇය බයිබල් පාඩම් කීපයක්ම පටන්ගත්ත නිසා ටික දවසකින් ඇයට උදව් කරන්න තවත් සහෝදරියන් දෙන්නෙක් ආවා. ඔවුන් වෙන වෙනම කණ්ඩායම් හැටියට දරුවන් එක්ක පාඩම් කළා. දරුවන්ට ගීතිකා පොතෙන් ගීතිකා හා බයිබල් කතන්දර පොතෙන් හැමදාම රෑට කතා කියලා දුන්නා කියලා අක්‍රියාශීලී සහෝදරිය ඔවුන්ට කිව්වා. ඇයට රැස්වීම් එන්න ආසාවක් තිබුණත් දරුවන්ව තියලා එන්න විදිහක් තිබුණේ නැහැ. ඒ නිසා සහෝදරයන් ඇයට රැස්වීම් එන්න පිළියමක් යෙදුවා. අනාථ නිවාසය තිබුණේ රැස්වීම් ශාලාව කිට්ටුව නිසා දරුවන්ව රැස්වීම්වලට එක්කගෙන එන්න ඔවුන් ඇයට උදව් කළා. දැන් ඒ සහෝදරිය දරුවන් 85දෙනත් එක්ක දිගටම රැස්වීම්වලට එනවා.

ගාබ්‍රියෙල් එයාගේ සීයාට උදව් කළා

පැරගුවේ: ගාබ්‍රියෙල් සීයාත් එක්ක කතා කරමින්

ගාබ්‍රියෙල් ඉන්නේ පැරගුවේවල. එයාගේ වයස අවුරුදු 6යි. දවසක් ගාබ්‍රියෙල් සමුළුව ඉවර වෙලා යද්දී අනිත් අයට දේවරාජ්‍යය ගැන කියන එක කොච්චර වටින දෙයක්ද කියලා හිතුවා. ඒ වෙලාවේ එයාට එයාගේ සීයාව මතක් වුණා. සීයාත් එයාත් එක්ක පාරාදීසෙ ඉන්නවා දකින්න ගාබ්‍රියෙල් ආස වුණා. ඒත් සීයා කවදාවත් බයිබලය ඉගෙනගන්න කැමති වුණේවත් එයාගේ බිරිඳ සහ දරුවෝ බයිබලය ඉගෙනගන්නවාට කැමති වුණේවත් නැහැ.

ගාබ්‍රියෙල් එදා ගෙදර ගිය ගමන්ම ආර්ජන්ටිනාවේ ජීවත් වෙන එයාගේ සීයාට වීඩියෝ කෝල් එකක් අරන් කතා කළා. බයිබලය ඉගෙනගන්න ඕන ඇයි කියන එක සීයාට තේරුම් කරලා දුන්න ගාබ්‍රියෙල් “සීයෙ ඔයා කැමතිද මාත් එක්ක බයිබලය පාඩම් කරන්න” කියලා ඔහුගෙන් ඇහුවා. සීයා ඒකට කැමති වුණ නිසා ‘දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න’ කියන සඟරාවෙන් පාඩමක් කරන්න පටන්ගත්තා. ගාබ්‍රියෙල් සීයාට පාඩම කළේ ටයි එකක් එහෙම දාලා හොඳට ලෑස්තිවෙලයි. ඒ දෙන්නටම අකුරු කියවන්න අමාරුයි. ඒත් දෙන්නම පාඩමට කලින් හොඳට සූදානම් වුණ නිසා මාස කිහිපයක් පුරාම පාඩම හොඳට කරගෙන ගියා.

කාලෙකට පස්සේ ආච්චියි සීයායි ටික දවසක් එයාලත් එක්ක ඉන්න ආවා. ඒ වෙලාවේ සීයා රැස්වීම්වලටත් ගියා. ඔහු නැවතත් ආර්ජන්ටිනාවට ගියාට පස්සේ එහේ ඉන්න සහෝදරයෙක් එක්ක දිගටම පාඩම කරගෙන ගිය අතර ප්‍රචාරකයෙක් දක්වා දියුණු වුණා. දැන් සීයා ආච්චිත් එක්ක හැමදාම යාච්ඤාත් කරනවා. ඔහු දැන් ආසාවෙන් ඉන්නේ බව්තීස්ම වෙන්නයි. පුංචි ගාබ්‍රියෙලුත් දැන් ප්‍රචාරකයෙක්.

“ඒක අහම්බෙන් වුණු දෙයක් නෙමෙයි”

බ්‍රසීලයේ ඉන්න ජෙනිෆ ‘මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?’ කියන පත්‍රිකාව බෙදද්දී ඇයට කාන්තාවක් හම්බ වුණා. මැරුණු අයව ආයිත් අපිට දකින්න ලැබෙන කාලයක් ගැන තොරතුරු තියෙන පත්‍රිකාවක් දෙන්න තමයි අද ආවේ කියලා ජෙනිෆ ඇයට කිව්වා. ඒ වෙලාවේ ඒ කාන්තාව යාළුවෙකුගේ මළ ගෙදර යන්න ලෑස්තිවෙලා හිටිය නිසා පුදුමයෙන් වගේ ජෙනිෆ දිහා බලලා ඒ පත්‍රිකාව ගත්තා. මළ ගෙදර ඉන්න අයට දෙන්න තවත් පත්‍රිකා කිහිපයක් දෙන්නද කියලත් ජෙනිෆ ඇගෙන් ඇහුවාම ඒක හොඳ අදහසක් කියලා හිතලා ඇය පත්‍රිකා 9ක්ම ඉල්ලගත්තා.

ඒ කාන්තාව බලන්න ජෙනිෆ ආයිත් වතාවක් ගියා. ඒ වෙලාවේ ඇය මෙහෙම කිව්වා. “ඔයා මුලින්ම ආපු දවස මතකද, ඒක අහම්බෙන් වුණු දෙයක් නෙමෙයි. ඒ වෙලාවේ මට ඕනම වෙලා තිබුණු පණිවිඩයක් අරගෙන ඔයාව මා ළඟට එව්වේ දෙවියන්.” එදා ඇය අරගෙන ගිය පත්‍රිකා ටික මළ ගෙදර ඇවිත් හිටපු අයට දීලා තිබුණා. මළ ගෙදර කතාව දීපු කෙනාත් හැමෝටම ඇහෙන්න ඒ පත්‍රිකාවේ තොරතුරු කියවලා තිබුණා. පත්‍රිකා දීපු එක ගැන හැමෝම ඇයට ස්තුති කළා කියලත් ඇය කිව්වා. දැන් ඇය ගොඩක් ආසාවෙන් ජෙනිෆ එක්ක බයිබල් පාඩමක් කරනවා.

බස් එකේ හිටපු අයට ශුභාරංචිය

හයිටිවල බෙතෙල් එකේ සේවය කරන සහෝදරයන් තුන්දෙනෙක් බස් එකේ යද්දී සාක්ෂි දැරුවා. පැය දෙකහමාරක ගමන පුරාම පණිවිඩය ගැන කතා කළ නිසා ඔවුන්ට සඟරා 50ක් පත්‍රිකා 30ක් බස් එකේ අයට දෙන්න පුළුවන් වුණා. ගර්විච් කියන සහෝදරයා ‘පිබිදෙව්!’ සඟරාවෙන් කොටසක් බස් එකේ හිටිය කෙනෙක්ට කියවද්දී ඒක අහගෙන හිටපු පෙපේ කියන තරුණයා ගර්විච්ගෙන් විස්තර ඇහුවා. ඔහු බයිබල් පාඩමක් කරන්නත් කැමති වුණා. ඔහු ඉන්නෙත් ගර්විච්ගේ සභාවට අයිති ප්‍රදේශයේමයි. 2014 ජනවාරි මාසයේ සත්‍යය හම්බ වුණු පළවෙනි දවසේ ඉඳන්ම පෙපේ හැම රැස්වීමකටම හා සමුළුවකටම එනවා. ඒ වගේම ඔහු ඉගෙනගන්න දේවල් අනිත් අයටත් කියලා දෙනවා. දැන් ඔහු ආසාවෙන් ඉන්නේ ප්‍රචාරකයෙක් වෙන්නයි.