Skip to content

පටුනට යන්න

ඩොමිනිකන් ජනරජය

ඩොමිනිකන් ජනරජය ගැන තොරතුරු බිඳක්

ඩොමිනිකන් ජනරජය ගැන තොරතුරු බිඳක්

භූමිය ඩොමිනිකන් ජනරජය තියෙන්නේ හිස්පැනියෝලා කියන දූපතේයි. ඉන් තුනෙන් දෙකක් ඩොමිනිකන් ජනරජයට අයිති වන අතර ඉතිරි කොටස අයිති වෙන්නේ හයිටි රාජ්‍යයටයි. වැසි වනාන්තර, උස් කඳු, කඩොලානවලින් ගහන වගුරු බිම් සහ කාන්තාර විතරක් නෙමෙයි සුදෝ සුදු වැලි තලාවන්ගෙන් යුතු මුහුදු වෙරළවල් ඩොමිනිකන් ජනරජයේ දැකගන්න පුළුවන්. උසම කන්ද වන පිකො ඩුවාටේ මුහුදු මට්ටමේ සිට මීටර් 3,175ක් උසයි. රට මැද සිබව් නිම්නය වැනි සශ්‍රීක නිම්නත් තියෙනවා.

ජනයා වැඩි වශයෙන් ඉන්නේ යුරෝපියානු සහ අප්‍රිකානු සම්භවයක් තියෙන පවුල්වල අයයි. ඊට අමතරව සුළු ජාතික කණ්ඩායම්වලට අයිති අයත් ඉන්නවා. ඔවුන් අතර වැඩියෙන්ම ඉන්නේ හයිටි රටෙන් පැමිණි අයයි.

භාෂාව ස්පාඤ්ඤ රාජ්‍ය භාෂාවයි.

සහෝදර සහෝදරියන් විනෝද වන අවස්ථාවක්

ජීවනෝපාය ප්‍රධාන වශයෙන් කරන්නේ උක්, කෝපි, දුම්කොළ වගාවන් වගේම පතල් කැණීමයි. රටේ ප්‍රධාන ආදායම් මාර්ග ඒවායි. මෑත කාලවලදී සංචාරක කර්මාන්තය හා වෙනත් කර්මාන්ත නිසා ඔවුන්ගේ ආදායම් තවත් වැඩි වෙලා තියෙනවා.

දේශගුණය සෞම්‍ය දේශගුණයක් තියෙන දූපතක්. වසරේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි. සාමාන්‍යයෙන් තෙත් කලාපයට මිලිමීටර් 2,032ක වර්ෂාපතනයක් ලැබෙන අතර වියළි ප්‍රදේශවලට ලැබෙන්නේ මිලිමීටර් 760කට වඩා අඩු වර්ෂාපතනයක්. මේ දූපත ඉඳහිට දරුණු සුළි කුණාටු හා සැඩ සුළංවලින් බැට කනවා.

සංස්කෘතිය බත්, බෝංචි හා එළවළු ප්‍රධාන ආහාර අතරින් කීපයක්. මාළු, ඉස්සෝ, කකුළුවෝ, බැදපු කෙසෙල්, මිරිස් හා පළතුරුවලටත් ඔවුන් හරිම කැමතියි. ඒවායින් සමහරක් “ලා බන්ඩේරා ඩොමිනිකානා” කියන ඔවුන්ගේ ප්‍රියතම ආහාරයට ඇතුළත් වෙනවා. ඔවුන් කැමතිම ක්‍රීඩාව බේස් බෝල් වන අතර නැටුම් ගැයුම්වලටත් එහි වැසියන් ලොකු රුචිකත්වයක් දක්වනවා. ගිටාර්, බෙර, බටනළා හා මාරිම්බා යන සංගීත භාණ්ඩවලටත් ඔවුන් විශේෂ ඇල්මක් දක්වනවා.