ඩොමිනිකන් ජනරජය
“ඒ අයව අපිට මුණගැහෙයි”
“කවදා හරි දවසක ඒ අයව අපිට මුණගැහෙයි”
1935දී විතර සිබව් නිම්නයේ ජීවත් වුණු පාබ්ලෝ ගොන්සාලෙස් බයිබලය කියවන්න පටන්ගත්තා. රෙපරමාදු කණ්ඩායමකට අයිති වෙලා හිටියත් ඒ අය බයිබලයේ තියෙන විදිහට දේවල් කරන්නේ නැහැ කියලා තේරුම්ගත්ත පාබ්ලෝ ඔවුන්ගෙන් අයින් වුණා. ඒත් ඔහු තනියම බයිබලය කියවලා තේරුම්ගන්න උත්සාහ කළා විතරක් නෙමෙයි ඔහු දැනගත්ත දේවල් පවුලේ අයට අසල්වැසියන්ට සහ අවට ගම්වල ඉන්න අයටත් ඉගැන්නුවා. ඔහු ඔහුගේ ගොවිපොළ සහ හරකබාන විකුණලා අනිත් ගම්වල ඉන්න අයට බයිබලය උගන්වන්න යන්න ඕන කරන ගමන් වියදම් හොයාගත්තා.
1942දී අවට ප්‍රදේශවල හිටිය පවුල් 200ක් විතර ඔහුත් එක්ක බයිබලය පාඩම් කළා. මේ වෙන කල් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හමු වෙලා තිබුණේ නැති වුණත් ඔහු රැස්වීමුත් පැවැත්තුවා. ඔහු නිතරම උනන්දු කළේ බයිබලය ඉගෙනගෙන ඒ විදිහට ජීවත් වෙන්න කියලයි. ඒ නිසා ඔහුගෙන් ඉගෙනගත්ත හුඟක් අය දුම් කොළ භාවිතය, භාර්යාවන් කීපදෙනෙක් එක්ක ජීවත් වෙන එක නැවැත්තුවා.
පාබ්ලෝගෙන් බයිබලය ඉගෙනගත්ත කෙනෙක් තමයි සෙලෙස්ටා රොසයිරෝ. ඇය අතීතය මතක් කළේ මෙහෙමයි.
“පාබ්ලෝ බයිබලය කියලා දීපු කණ්ඩායමක මගේ මාමා නේග්‍රො හිමෙනෙතුත් හිටියා. දවසක් මාමා අපිව බලන්න ඇවිත් අපිට බයිබල් පද කිහිපයක් කියෙව්වා. පල්ලියේ බයිබලය කියෙව්වේ ලතින් භාෂාවෙන් නිසා අපිට කිසිම දෙයක් තේරුණේ නැහැ. මාමා කියපු දේවල් ඇහුවාට පස්සේ පල්ලියෙන් අයින් වෙන්න මම තීරණය කළා. ඒ වෙද්දී මට අවුරුදු 17යි. පාබ්ලෝත් ඇවිත් අපිව දිරිගැන්නුවා. ඔහු මෙහෙම කිව්වා. ‘අපි දන්න හුඟක් ආගම් තියෙනවා. ඒත් ඒ එකකටවත් අපි අයිති නැහැ. තාම අපිට හම්බ වෙලා නැති වුණත් ලෝකේ පුරාම අපිට සහෝදරයෝ ගොඩක් ඉන්නවා. ඒත් ඒ අයව හඳුන්වන නමවත් අපි තාම දන්නේ නැහැ. හැබැයි කවදා හරි දවසක ඒ අයව අපිට මුණගැහෙයි.’”ලොස් කාකොස් සාල්සෙඩො, මොන්ටෙ ආඩෙන්ට්‍රො, සාල්සෙඩො සහ විලා ටෙනාරෙස් යන නගරවල පාබ්ලෝ බයිබල් කණ්ඩායම් පිහිටෙව්වා. 1948දී, දවසක් ඔහු සන්තියාගෝ බස් නැවතුම්පොළට ගිය වෙලාවක සාක්ෂිකරුවන් දේශනා කරනවා දැක්කා. ඔවුන් ඔහුටත් ‘මුරටැඹ’ සඟරාවක් දුන්නා. තවත් දවසක සහෝදරියක් ඔහුට පොත් 2ක් දීලා යේසුස්ගේ මරණය සිහි කිරීමටත් ආරාධනා කළා. ඒ රැස්වීමට ගිහින් ඉගෙනගත්ත දේවල් ඔහුගේ හිතට තදින්ම
කාවැදුණා. මේ තමයි සත්‍යය කියලත් තමන් හොයමින් හිටිය සහෝදර සහෝදරියන් මේ අය තමයි කියලා ඔහු එදා තේරුම්ගත්තා.පාබ්ලෝ පාඩම් කරපු කණ්ඩායම්වල අයව බලන්න මිෂනාරිවරුන් ඔහු එක්ක ගියා. එක කණ්ඩායමක 27දෙනෙක් හිටියා. එතනට ආපු සමහර අය කිලෝමීටර් 25ක විතර දුරක් පයින් ඇවිල්ලා තිබුණා. තවත් අය අශ්වයන් පිටේ කිලෝමීටර් 50ක විතර දුරක් ඇවිත් තිබුණා. ප්‍රචාරකයන් ඊළඟට බලන්න ගිය කණ්ඩායමේ 78දෙනෙක් හිටියා. තවත් කණ්ඩායමක 69දෙනෙක් හිටියා.
පාබ්ලෝ 150දෙනෙකුගේ විතර නම් ලැයිස්තුවක් මිෂනාරි සහෝදරයන්ට දුන්නා. දෙවිට ආදරය කළ ඒ අය ඒ වෙනකොටත් බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් ජීවිතයට අදාළ කරගනිමිනුයි හිටියේ. ඔවුන්ට ඕන වුණේ නමස්කාර කටයුතු කරන විදිහ ගැන මඟ පෙන්වීම් විතරයි. “මිෂනාරිවරුන් ඇවිත් අපිට රැස්වීමක් තිබ්බා. බව්තීස්ම කරන්නත් සැලසුම් කළා. අපේ පවුලේ මුලින්ම බව්තීස්ම වුණේ මම. ඊටපස්සේ මගේ අම්මා ෆිඩේල්යා හිමෙනෙත් සහ නංගි කාමන් බව්තීස්ම වුණා” කියලා සෙලෙස්ටා කිව්වා.
ඩොමිනිකන් ජනරජයේ පළවෙනි චාරිකා සමුළුව පැවැත්තුවේ 1949 සැප්තැම්බර් 23 සිට 25 දක්වා සන්තියාගෝ නගරයේයි. එයින් සේවයට ලොකු දිරිගැන්වීමක් ලැබුණා. සමුළුව ගැන කුතුහලයෙන් හිටපු අයත් ආපු නිසා ඉරිදා ප්‍රසිද්ධ දේශනයට 260දෙනෙක් හිටියා. 28දෙනෙක් බව්තීස්ම වුණා. දෙවි ඔහුගේ කැමැත්ත ඉටු කරන්න පාවිච්චි කරන්නේ මේ සංවිධානයයි කියන එක එදා ආපු හුඟක් අය තේරුම්ගත්තා.