මට මොනවාද මේ වෙන්නේ?
6වෙනි පරිච්ඡේදය
මට මොනවාද මේ වෙන්නේ?
“මං මාර ඉක්මනට උස ගියා. ඒකට නම් මං කැමතියි. ඒත් නිතර නිතර වගේ මගේ කෙණ්ඩ පෙරළුණා. එහෙම වෙද්දී නම් මට එපා වුණා.”—පෝල්.
“මගේ ඇඟේ මොකක් හරි වෙනසක් වෙනවා කියලා මට තේරෙනවා. ඒක අනිත් අයටත් තේරෙයි කියලා මං භයෙන් හිටියේ. ඒත් දන්න කියන කෙනෙක් ‘බලන්නකෝ දැන් මෙයාගේ ලොකු. උකුළ එහෙමත් හොඳට පළල් වෙලානේ’ කියලා කිව්වාම මට පොළොව පලාගෙන යන්න හිතුණා.”—ෂෙනෙල්.
ඔයා කවදා හරි ගෙවල් මාරු කරලා වෙනත් පළාතක පදිංචියට ගිහින් තියෙනවාද? එහෙමනම් ඔයා හිටපු ගෙදර, යාළුවෝ, ඉස්කොලේ දාලා ඇවිල්ලා අලුත් පරිසරයකට හුරු වෙන්න ඔයාට අමාරු වෙන්න ඇති. ඒත් කල් යද්දී ඔයා ඒකට හුරු වෙනවා.
ළමා විය අත්හැරලා නව යොවුන් වියට එන එකත් හරියට අලුත් පරිසරයකට යනවා වගෙයි. මොකද ඒ කාලේදී ඔයාගේ ශරීරයේ ලොකු
වෙනස්කම් වෙනවා. ඒ වගේම ඔයාගේ හැඟීම් නිතර නිතර වෙනස් වෙනවා. ඉක්මනින් ලොකු වෙන්න ඔයා ආස ඇති. ඒත් ඒ වෙනස්කම්වලට හුරු වෙන එක එච්චර ලෙහෙසි නැහැ. නව යොවුන් වියට පා තබද්දී සිද්ධ වෙන වෙනස්කම් ගැන දැන් අපි ටිකක් බලමු.ගැහැනු දරුවෙක් වැඩි වියට පා තබද්දී
ගැහැනු දරුවෙක් විදිහට ඔයා වැඩි වියට එද්දී ඔයාගේ ශරීරයේ සිද්ධ වෙන සමහරක් වෙනස්කම් ඔයාට ඉක්මනට තේරෙයි. හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා ඔයාගේ ලිංගික ප්‍රදේශයේ රෝම වැවෙන්න පටන්ගන්නවා. පියයුරු, තට්ටම්, උකුළ, කළවා ලොකු වෙන්න පටන්ගන්නවා. ඒ විදිහට ඔයාගේ ළමා ශරීරය ටිකෙන් ටික වෙනස් වෙලා මව් පදවිය ලබන්න පුළුවන් විදිහට ඔයාගේ ශරීරය සකස් වෙනවා. හැබැයි ඒකට භය වෙන්නවත් කලබල වෙන්නවත් එපා. හැම ගැහැනු දරුවෙකුටම ඒක වෙනවා.
ඔයාගේ ශරීරයේ වෙනස්කම් වෙන්න පටන්ගත්තට පස්සේ ඔසප් චක්‍රය නැත්නම් මාස් ශුද්ධිය ආරම්භ වෙනවා. ඔයාට ඒ ගැන කිසි අවබෝධයක් තිබුණේ නැත්නම් මුල්ම වතාවට ලේ පිට වුණාම ඔයා ටිකක් කලබල වෙන්න පුළුවන්. සැමැන්තා කියන යෞවනියත් ලොකු ළමයෙක් වෙද්දී එයා ඒ ගැන හිතලවත් තිබුණේ නැහැ. ඒ වෙලාවේ එයාට හැඟුණු විදිහ ගැන එයා මෙහෙම කිව්වා. “මට මං ගැනම හරිම හිරිකිතක් දැනුණා. මට කොච්චර අප්‍රියාවක් දැනුණාද කියනවා නම් මං හොඳට මගේ ඇඟ අතුල්ලලා නෑවා. අවුරුදු ගාණක් හැම මාසේකම මේක වෙනවානේ කියලා හිතද්දී මට එපා වුණා.”
ඔසප් වෙන්න පටන් අරන් කියන්නේ ඔයා දැන් ටිකෙන් ටික කාන්තාවක් වෙන්න පටන් අරන් කියන එකයි. සුදුසු වයසකට ආවාම ඔයාට දරුවන් බිහි කරන්න පුළුවන් වෙයි. ඔසප් වෙන්න පටන්ගත්තාම හැඟීම් හරි ඉක්මනට වෙනස් වෙන නිසා මුල් කාලේ
ඒකට හුරු වෙන එක හරි අමාරුයි. කායල් මෙහෙම කියනවා. “ඒ කාලේ මගේ මූඩ් හරි ඉක්මනට වෙනස් වුණා. සමහර වෙලාවට මං දවසම සතුටින් හොඳට හිනා වෙලා හිටියට රෑට හොඳටම අඬනවා. මට තේරෙන්නේ නැහැ ඒ ඇයි කියලා.”කායල් වගේ ඔයාටත් ඔයාගේ හැඟීම් හරි ඉක්මනට වෙනස් වෙනවා කියලා දැනෙනවා නම් කලබල වෙන්න එපා. මොකද කාලයක් යන කොට ඒ දේවල්වලට මුහුණ දෙන්න ඔයා ඉගෙනගන්නවා. “මේ දේවල් මට වෙන්නේ දරුවන් බිහි කිරීමේ හැකියාව යෙහෝවා දෙවි මට දීලා තියෙන නිසා කියලා මං තේරුම්ගත්තා. ඒ නිසා මං අනිවාර්යයෙන්ම මේවාට මුහුණ දෙන්න ඕනේ. හැබැයි ඒක තේරුම්ගන්න එකපාරටම බැහැ, කාලයක් යනවා.” එහෙම කිව්වේ අවුරුදු 20ක් වයස අනීටා.
ඔයාගේ ශරීරය වෙනස් වේගන යනවා කියලා ඔයාටත් දැනෙනවාද? ඒ වෙනස්කම් ගැන ඔයාට මොනවා හරි දැනගන්න තියෙනවා නම් ඒවා පහළ ලියන්න.
․․․․․
පිරිමි දරුවෙක් වැඩි වියට පා තබද්දී
පිරිමි දරුවෙක් විදිහට ඔයා වැඩි වියට එද්දී ඔයාගේ පෙනුම ගොඩක් වෙනස් වෙනවා. ඔයාගේ හමේ තෙල් ගතිය වැඩි වෙන හින්දා කුරුලෑ, කලු තිත් (බ්ලැක්හෙඩ්ස්) එන්න පටන්ගන්නවා. a අවුරුදු 18ක් වයස මික් මෙහෙම කියනවා. “කුරුලෑ එන එක හරිම වදයක්. මොනවා කරලාවත් ඒවා නතර කරන්න බැහැ. මූණ පුරාම වළවල් හිටියිද මාව දැක්කාම මිනිස්සු මොනවා හිතයිද කියලා මං නිතරම කල්පනා කරනවා.”
මේ කාලේදී ඔයාගේ ශරීරයේ තවත් වෙනස්කම් වෙනවා. ඔයා උස් මහත් වෙනවා. වෙනදාට වඩා දැන් ඔයා ශක්තිමත් කියලා
ඔයාට දැනෙන්න පුළුවන්. ඔයාගේ උරහිස් පළල් වෙනවා. ඒ වගේම ඔයාගේ කකුල්වල, පපුවේ, මූණේ, කිහිලිවල රෝම වැවෙන්න පටන්ගන්නවා. හැබැයි කෙනෙක්ගේ ඇඟේ තියෙන රෝම ප්‍රමාණය පිරිමිකම මනින්න ලක්ෂණයක් නෙමෙයි. හුඟක් වෙලාවට ආරේට අනුව තමයි රෝම වැවෙන්නේ.ඔයාගේ ශරීරයේ වෙනස්කම් වෙන මේ කාලේ ඔයා මතක තියාගන්න ඕනේ ඔයාගේ ශරීරයේ හැම කොටසක්ම එකම වේගයෙන් වර්ධනය වෙන්නේ නැහැ කියලා. ඒ නිසා සමහර වෙලාවට ඔයාට හරි අමුත්තක් දැනෙයි. ඔයාගේ අත පය හරියට වැඩ කරන්නේ නැහැ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. සමහර වෙලාවලදී පැටලිලා වැටෙන්න, දේවල් හරියට අල්ලගන්න බැරි වෙන්න පුළුවන්. ඩිලන් කියන යෞවනයාටත් දැනුණේ එයා හිතන විදිහටම එයාගේ අත පය වැඩ කරන්නේ නැහැ කියලයි.
මේ කාලේදී ඔයාගේ කටහඬත් ගොරෝසු වෙන්න පටන්ගන්නවා. ඒක එකපාරටම වෙන්නේ නැහැ. ටිකෙන් ටික තමයි ඒක වෙන්නේ. සමහර වෙලාවට ගොරෝසු කටහඬකින් ඔයා කතා කරකර ඉද්දී එකපාරටම කටහඬ හීනි වෙනවා. එතකොට ඔයාට ලොකු ලැජ්ජාවක් දැනෙන්න පුළුවන්. ඒත් ඒ ගැන ඕනෑවට වඩා හිතන්න එපා. හිනා වෙලා ඒක අමතක කරලා දාන්න. කාලයත් එක්කම ඒක හරි යනවා.
මේ කාලේදී ඔයාගේ ප්‍රජනන පද්ධතිය වර්ධනය වෙන නිසා ලිංගික අවයවයනුත් වර්ධනය වෙනවා. ඒ අවට රෝමත් වැවෙන්න පටන්ගන්නවා. ඒ වගේම ඔයාගේ ප්‍රජනන පද්ධතියේ ශුක්‍රාණු හැදෙන්න පටන්ගන්නවා. සාමාන්‍යයෙන් ලිංගික එක් වීමකදී
ශුක්‍රාණු මිලියන ගණනක් පිට වෙනවා. ඒක පිට වෙන්නේ ශ්‍රාවයක් (දියරයක්) විදිහටයි. එක ශුක්‍රාණුවක් ගැහැනු කෙනෙකුගේ ඩිම්බයක් එක්ක එකතු වුණාම තමයි දරුවෙක් හැදෙන්නේ.ඔයාගේ ප්‍රජනන පද්ධතියේ හැදෙන ශුක්‍රාණු යම් ප්‍රමාණයක් ශරීරයට උරාගන්නවා. ඉතුරු ඒවා කාලෙන් කාලේට රෑ නින්දෙන් පිට වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ ගැන බයිබලයෙත් කියලා තියෙනවා. (ලෙවී කතාව 15:16, 17) ඒ දේවලින් පැහැදිලි වෙන්නේ ඔයාගේ ප්‍රජනන පද්ධතිය ක්‍රියාත්මක වෙන්න පටන් අරන් කියන එකයි. දැන් ඔයා ටිකෙන් ටික වැඩිහිටි පුරුෂයෙක් වෙනවා.
ඔයාගේ ශරීරය වෙනස් වේගන යනවා කියලා ඔයාටත් දැනෙනවාද? ඒ වෙනස්කම් ගැන ඔයාට මොනවා හරි දැනගන්න තියෙනවා නම් ඒවා පහළ ලියන්න.
․․․․․
අලුත් හැඟීම්
ටිකෙන් ටික යොවුන් වියට පා තබද්දී ගැහැනු ළමයි හා පිරිමි ළමයි අතර ලොකු ආකර්ෂණයක් ඇති වෙනවා. ඒක ඔයාට අලුත් විදිහේ හැඟීමක් වෙයි. මික්ට ඒක දැනුණු විදිහ ගැන එයා මෙහෙම කියනවා. “යෞවන වයසට ආවාම තමයි මට තේරුණේ ලස්සන කෙල්ලෝ කොච්චර ඉන්නවාද කියලා. පොඩි කාලේ නම් මට එහෙම විශේෂයක් දැනුණේ නැහැ. ඒත් කොච්චර ලස්සන කෙල්ලෝ හිටියත් යාළු වෙන්න තරම් වයසක මං හිටියේ නැති නිසා මට හරි දුකක් දැනුණා.” යොවුන් වියට එද්දී ඇති වෙන ඒ වගේ හැඟීම් ගැන වැඩි විස්තර 29වෙනි පරිච්ඡේදයේ තියෙනවා. යොවුන් වියට එද්දී ලිංගික හැඟීම් ඇති වෙන එක සාමාන්‍ය දෙයක් වුණත් ඒවා පාලනය කරගන්න ඉගෙනගන්න එක හරි වැදගත්. (කොලොස්සි 3:5) හැඟීම් පාලනය කරගන්න එක හරි අමාරුයි වගේ දැනුණත් ඒවා පාලනය කරගන්න පුළුවන්.
ඔයාට ඇති වෙන්න පුළුවන් තවත් අලුත් හැඟීමක් තමයි ‘මගෙන් කිසි වැඩක් නැහැ’ කියන හැඟීම. නැත්නම් ඔයාට ලොකු
තනිකමක්, කලකිරීමක් දැනෙන්නත් පුළුවන්. ඒ වගේ හැඟීම් ඇති වෙන වෙලාවලදී කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔයාගේ දෙමාපියන් එක්ක එහෙම නැත්නම් ඔයාට විශ්වාස කරන්න පුළුවන් වැඩිහිටි කෙනෙක් එක්ක ඒ ගැන කතා කරන එක. එහෙම කෙනෙක්ගේ නමක් ලියන්න.․․․․․
වැදගත්ම වෙනස
නව යොවුන් වියට එද්දී ඔයාගේ උස මහතේ, පෙනුමේ සිද්ධ වෙන වෙනස්කම් ගැන සැලකිලිමත් වෙනවා වගේම ඔයා තව වැදගත් දෙයක් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. පාවුල් කියන යේසුස්ගේ අනුගාමිකයා මෙහෙම කිව්වා. ‘මා කුඩා දරුවෙකුව සිටි කාලයේදී මා කතාබහ කළෙත් යම් දේවල් ගැන සිතුවෙත් අවබෝධ කරගත්තෙත් කුඩා දරුවෙකු ලෙසයි. නමුත් මා දැන් වැඩිහිටියෙක්. ඒ නිසා කුඩා දරුවෙකුට තිබෙන ගතිලක්ෂණ මම අහක දමා තියෙනවා.’ (1 කොරින්ති 13:11) ඒකෙන් තේරෙන්නේ ඔයා ටිකෙන් ටික යොවුන් වියට එද්දී වැඩිහිටියෙක් වගේ හිතන්න, දෙවිගේ මඟ පෙන්වීම් ජීවිතයට අදාළ කරගන්න උත්සාහ කරන කෙනෙක් වෙන්න ඕනේ කියන එකයි. කෙනෙක්ට වැඩිහිටි පෙනුමක් විතරක් තිබුණට මදි. වැඩිහිටියෙක් වගේ කතා කරන්න, වැඩ කරන්න, හිතන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒ නිසා ඔයාගේ ශරීරයේ වෙන වෙනස්කම් ගැන ඕනෑවට වඩා හිතනවා වෙනුවට හොඳ ගතිගුණ වර්ධනය කරගන්න උත්සාහ කරන්න.
මේ දේත් අමතක කරන්න එපා. යෙහෝවා දෙවිට වැදගත් වෙන්නේ අපේ පෙනුම නෙමෙයි. අපේ ‘හිතේ තියෙන දේයි.’ (1 සාමුවෙල් 16:7) බයිබලයේ කියන්නේ සාවුල් කියන රජ හරි උස, කඩවසම් පෙනුමක් තිබුණු කෙනෙක් කියලයි. හැබැයි එයා රජ කෙනෙක් විදිහට සාර්ථක වුණේ නැහැ. එයාට හොඳ ගතිගුණ තිබුණෙත් නැහැ. ඒ නිසා දෙවි එයාව පිළිගත්තේ නැහැ. (1 සාමුවෙල් 9:2) බයිබලයේ සඳහන් වෙලා තියෙන සකෙවුස් කියනකෙනා “මිටි කෙනෙක්.” හැබැයි එයාට පුළුවන් වුණා එයාගේ වැරදි හදාගෙන යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න. (ලූක් 19:2-10) ඒකෙන් තේරෙන්නේ එයාට හොඳ හදවතක් තිබුණා කියන එකයි. දෙවිට වටින්නේ ඒ වගේ අයවයි.
ඔයාගේ ශරීරයේ වෙන වෙනස්කම් අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනේ. ඒවා ඉක්මන් කරන්න හරි වළක්වන්න හරි හදන එක අනතුරුදායක වෙන්න පුළුවන්. ඔයා විතරක් නෙමෙයි හැම කෙනෙක්ම මේ වෙනස්කම් අද්දකින නිසා ඒ ගැන අනවශ්‍ය විදිහට භය වෙන්නවත් කනස්සලු වෙන්නවත් එපා. නව යොවුන් වියේදී වෙන වෙනස්කම් අභියෝගයක් වගේ පේන්න තිබුණත් ඔයාට අනිවාර්යයෙන්ම ඒවාට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්.
ඔයාගේ පෙනුම හරි නැහැ කියලා ඔයාට හිතෙනවාද? එහෙමනම් ඊළඟ පරිච්ඡේදය කියවලා බලන්න.
[පාදසටහන]
a ගැහැනු ළමයිනුත් මේ දේ අද්දකිනවා. සම රැකගන්න අවශ්‍ය පියවර ගත්තොත් මේක පාලනය කරගන්න පුළුවන්.
බයිබල් උපදෙස
‘දෙවියනි, ඔබ මාව කොතරම් පුදුමාකාර ලෙස සාදා ඇද්ද! එබැවින් ඔබ කෙරෙහි මහත් ගරුබියක් මා තුළ ඇති වන්නේය. මම ඔබට ප්‍රශංසා කරමි.’—ගීතාවලිය 139:14.
යෝජනාවක්
යොවුන් වියට එද්දී අනිත් අයගේ හැඟීම් අවුස්සන විදිහේ ඇඳුම් අඳින්නේ නැතුව “විනීත” ඇඳුම් අඳින්න. ‘හොඳ සිහිකල්පනාවෙන් ක්‍රියා කරන’ කෙනෙක් කියලා අඳින විදිහෙන් පෙන්නන්න.—1 තිමෝති 2:9.
මේක දැනගෙන හිටියාද?
ශරීරයේ වෙනස්කම් වෙන්න පටන්ගන්න වයස හරියටම කියන්න බැහැ. සමහර අයට අවුරුදු අටේදීත් තවත් අයට අවුරුදු 15-17 අතරේ එහෙම වෙනවා.
ඔයාට වැඩක්!
මං ටිකෙන් ටික වැඩිහිටියෙක් වෙද්දී මගේ මේ ගතිලක්ෂණය තව හදාගන්න ඕනේ ․․․․․
දෙවිගේ මඟ පෙන්වීම් මගේ ජීවිතේට තවත් හොඳින් අදාළ කරගන්න මං කරන්න ඕනේ මේකයි ․․․․․
මේ කාරණා ගැන මං දෙමාපියන්ගෙන් අහලා දැනගන්න කැමති දේ ․․․․․
ඔයා හිතන්නේ මොකද්ද?
● නව යොවුන් වියට එද්දී හැඟීම්වල, ශරීරයේ වෙන වෙනස්කම්වලට මුහුණ දෙන එක අභියෝගයක් වෙන්නේ ඇයි?
● දැනට ඔයා අද්දකින වෙනස්කම්වලින් ඔයාට මුහුණ දෙන්න අමාරුම කොයි එකටද?
● නව යොවුන් වියට එන කාලේදී යෙහෝවා දෙවි ගැන ඔයාට තියෙන ආදරේ අඩු වෙන්න පුළුවන් ඇයි? එහෙම වෙන එක වළක්වන්න පුළුවන් කොහොමද?
[61වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
‘‘යොවුන් වියට එද්දී ශරීරයේ ගොඩක් වෙනස්කම් වෙනවා. මේ වෙනස්කම්වලින් පස්සේ පෙනුම කොහොම තියෙයිද කියලා හරියටම දන්නේ නැති නිසා භයකුත් දැනෙනවා. හැබැයි කල් යද්දී ඒවාට හුරු වෙනවා.’’—අනීටා
[63, 64වන පිටුවේ කොටුව]
මං කොහොමද මේ ගැන දෙමාපියන්ගෙන් අහන්නේ?
“ලිංගික කාරණා ගැන මොනවා හරි දැනගන්න ඕනේ නම් මං කීයටවත් අම්මලාගෙන් නම් අහන්නේ නැහැ.”—බෙත්.
“මට අම්මලා එක්ක ඒ ගැන කොහොමටවත් කතා කරන්න බැහැ.”—ඩෙනිස්.
ලිංගික කාරණා ගැන දෙමාපියන්ට හොඳ අවබෝධයක් තියෙනවා කියලා ඔයා දන්නවා වුණත් බෙත්ටයි ඩෙනිස්ටයි හැඟුණු විදිහට ඔයාටත් හැඟෙන්න පුළුවන්. එහෙම හිතෙන්නේ මේ හේතු නිසා වෙන්න ඇති.
ඒගොල්ලෝ මං ගැන මොනවා හිතයිද?
“මං මේවා ගැන අහන නිසා ඒගොල්ලෝ මාව සැක කරයිද දන්නේ නැහැ.”—ජෙසිකා.
“අම්මලා කැමති අපි හැමදාටම කිරිසප්පයෝ වගේ අහිංසකව ඉන්නවාටයි. ලිංගික කාරණා ගැන ඇහුවොත් ඒගොල්ලෝ හිතන්නේ අපි ඕනෑවට වඩා පැහිලා කියලයි.”—බෙත්.
ඒගොල්ලෝ කලබල වෙයිද?
“මං කතා කරලා ඉවර කරන්නත් කලින් එයාලා මං ගැන වැරදි විදිහට හිතලා දිගට හරහට උපදෙස් දෙයි කියලා මට භයයි.”—ග්ලෝරියා.
“ඒගොල්ලන්ට අප්සෙට් ගියාම ඒක හොඳට මූණෙන් පේනවා. මං ලිංගික කාරණා ගැන අහද්දී බැරි වෙලාවත් එයාලා අප්සෙට් ගියොත් ඒක මට හොඳට තේරෙයි. මං ඒ දේවල් ගැන කතා කරකර ඉද්දීම මට දෙන්න ඕනේ උපදෙස් කන්දරාවක් ගැන තාත්තා හිතයි.”—පෑම්.
මං වැරදි දෙයක් කරනවා කියලා ඒගොල්ලෝ හිතයිද?
“මං ලිංගික කාරණයක් ගැන ඇහුවොත් එයාලා කලබල වෙලා, ‘ඒවා ගැන දැනගන්න ඔයාට තියෙන උවමනාව මොකද්ද’ කියලා මගෙන් අහයි.”—ලීසා.
“මං කවුරු හරි කොල්ලෙක් ගැන කිව්වොත් තාත්තාගේ මූණ එකපාරටම වෙනස් වෙනවා. ඊටපස්සේ ඕනේ නැති දේවල්වලට පැටලුණොත් වෙන දේ ගැන කියන්න පටන්ගන්නවා. ඇත්තටම මං කිව්වේ ඒ කොල්ලා ලස්සනයි කියලා විතරයි. එයාව බඳින්න ඕනේ කියලා කිව්වේ නැහැ.”—නැන්සි.
ඔයාට විතරක් නෙමෙයි ඔයාගේ දෙමාපියන්ටත් ලිංගික කාරණා ගැන ඔයා එක්ක කතා කරන එක ලෙහෙසි නැහැ. සමහර දෙමාපියන්ට ඒ ගැන කතා කරන්න ලැජ්ජ නිසා ඒගොල්ලෝ ඒ ගැන දරුවන්ට කියලා දෙන්නේ උඩින් පල්ලෙන්. ඒ නිසා දෙමාපියන් කියන්නේ මොනවා ගැනද කියලවත් දරුවන් හරියට තේරුම්ගන්නේ නැහැ. එක සමීක්ෂණයකිනුත් ඒ කාරණය
ඔප්පු වුණා. ඒකට අනුව දෙමාපියන්ගෙන් 65%ක්ම දරුවන් එක්ක ලිංගික කාරණා ගැන කතා කරලා තිබුණත් ඒ ගැන මතක තියෙන්නේ දරුවන්ගෙන් 41%කට විතරයි.සමහරවිට ඔයාගේ දෙමාපියන් ලිංගික කාරණා ගැන ඔයා එක්ක කතා කරන්නේ නැත්තේ ඒගොල්ලන්ගේ දෙමාපියනුත් ඒගොල්ලෝ එක්ක ඒවා ගැන කතා කරපු නැති නිසා වෙන්න ඇති. ඒ නිසා ඒගොල්ලන්ට ඒ වගේ දේවල් ගැන කතා කරන්න එච්චර හුරු නැතුව ඇති. හැබැයි ඔයා ඒ ගැන කතා කරන්න මුලපිරුවොත් ඒගොල්ලොත් ඔයාත් එක්ක ඒ ගැන කතා කරයි.
ඔයාගේ දෙමාපියන්ට ඒ ගැන හොඳ අවබෝධයක් තියෙන නිසා ඔයාට තියෙන ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් හොඳම අය ඒගොල්ලොයි. ඔයාට තියෙන්නේ සාකච්ඡාව පටන්ගන්න ක්‍රමයක් හොයාගන්න විතරයි.
මෙහෙම පටන්ගන්න
1 ඒ ගැන කතා කරන්න ඔයාට භයක් දැනුණත් ඔයාට තියෙන ප්‍රශ්නවලට උත්තර දැනගන්න ඔයා කැමතියි කියලා ඒගොල්ලන්ට කියන්න. “මේ ගැන කෙළින්ම ඔයගොල්ලන්ගෙන් අහන්න මට ටිකක් භයයි. මොකද ඔයාලා මං ගැන වැරදි විදිහට හිතයිද දන්නේ නැහැ.”
2 වෙන අයගෙන් ඒ ගැන අහන්නේ නැතුව ඒගොල්ලෝ ළඟට ආවේ ඇයි කියලා කියන්න. “මට පොඩි දෙයක් දැනගන්න ඕනේ. වෙන අය එක්ක ඒ ගැන කතා කරනවාට වඩා මං හිතුවා ඔයාලා එක්ක ඒ ගැන කතා කරන එක හොඳයි කියලා.”
3 දැනගන්න ඕනේ දේ කෙළින්ම අහන්න. “මට දැනගන්න ඕනේ . . . ”
4 මේ විෂය ගැන ආයේමත් කතා කරන්න පුළුවන් විදිහට සාකච්ඡාව ඉවර කරන්න. “තව මොනවා හරි දැනගන්න ඕන වුණොත් පස්සේ වෙලාවක ඒ ගැන ඇහුවාට කමක් නැද්ද?”
ඔයා ඒ ප්‍රශ්නේ ඇහුවාම අම්මලා කවදාවත් ‘එපා’ කියලා කියන්නේ නැහැ කියලා ඔයා දන්නවා. ඒත් අම්මලාම ‘කමක් නැහැ, ඕන වෙලාවක කතා කරන්න පුළුවන්’ කියලා කිව්වාම ඔයාට ඊළඟ සැරේ ඒ ගැන කතා කරන්න එච්චර අපහසුතාවක් දැනෙන්නේ නැහැ. ඒ නිසා මේකේ තියෙන විදිහට කරලා බලන්න. එතකොට ඔයාටත් අවුරුදු 24ක් වයස ට්‍රිනීට හැඟුණු විදිහට හැඟෙයි. “ලිංගික කාරණා ගැන අම්මයි මායි මුල්ම වතාවට කතා කරපු වෙලාවේ ඒ ගැන කතා නොකර හිටියා නම් හොඳයි කියලා මට හිතුණා. ඒත් එදා අම්මා ඒ දේවල් ගැන මට හොඳට පැහැදිලි කරලා දීපු එක ගැන අද මං ගොඩක් සතුටු වෙනවා. ඒක ඇත්තටම මට ලොකු ආරක්ෂාවක් වෙලා තියෙනවා.”
[59වන පිටුවේ පින්තූරය]
ළමා වියෙන් යොවුන් වියට එන එක හරියට වෙනත් පළාතක පදිංචියට යනවා වගේ. කල් යද්දී ඔයා ඒකට හුරු වෙනවා