Skip to content

පටුනට යන්න

මගේ ගුරුවරයාගේ හිත දිනාගන්නේ කොහොමද?

මගේ ගුරුවරයාගේ හිත දිනාගන්නේ කොහොමද?

20වෙනි පරිච්ඡේදය

මගේ ගුරුවරයාගේ හිත දිනාගන්නේ කොහොමද?

ඔබ කැමතිම ගුරුවරයාගේ නම ලියන්න. ․․․․․

ඔබ ඔහුට හෝ ඇයට කැමති ඇයි? ․․․․․

ඔබ අකමැති ගුරුවරයාගේ නම ලියන්න. ․․․․․

මිතුරන්ව නම් ඔබට තෝරගන්න පුළුවන්. ඒත් ඔබ කැමති ගුරුවරුන්ව නම් ඔබට හැමවිටම තෝරගන්න බැහැ. සමහරවිට ඔබ කිසිම ගුරුවරයෙකුට අකමැති නැතුවත් ඇති. දහඅට හැවිරිදි ඩේවිඩ් ඒ වගේ කෙනෙක්. ඔහු මෙහෙම කියනවා. “මගේ ගුරුවරුන් එක්ක මට කවදාවත් ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. මම එයාලට ගරු කළා. එයාලත් මට ආදරේ කළා.”

ඒත් සමහර යෞවනයන්ට ගුරුවරුන් සමඟ ගැටලු ඇති වෙනවා. එවැනි තත්වයකට මුහුණ දුන් 11 හැවිරිදි සේරා මෙහෙම කියනවා. “ඒ ටීචර් නම් හරිම නපුරුයි. එයා මොනවාද උගන්වන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. එක්කෝ එයා ඒක හරියට පැහැදිලි කරන්නේ නැහැ. නැත්නම් ඕනෑවට වැඩියෙන් පැහැදිලි කරනවා.” ඔබේ ගුරුවරයා සමඟ ඇති වන ගැටලු අඩු කරගන්න නම් ඔබ මුලින්ම ඔහු හෝ ඇය සමඟ තිබෙන ගැටලුව කුමක්ද කියා තේරුම්ගත යුතුයි. පහත සඳහන් කොටු ඉදිරියේ ඔබට අදාළ කරුණුවලට ✔ ලකුණ දමන්න. වෙනත් හේතුවක් නම් එය ලියන්න.

□ මගේ ගුරුවරයාව තේරුම්ගන්න අමාරුයි

□ මට මීට වඩා ලකුණු ලැබෙන්න ඕනේ

□ සමහර ළමයින්ට වැඩි සැලකිල්ලක් ලැබෙනවා

□ මට ඕනෑවට වඩා දඬුවම් දෙනවා

□ මට අසාධාරණයක් වෙනවා

□ වෙනත් ․․․․․

එවැනි දේවල්වලට මුහුණ දෙන්න පුළුවන් කොහොමද? මුලින්ම මේ බයිබල් උපදෙස පිළිපදින්න. “සියලුදෙනාම එකඟතාවකින්ද එකිනෙකාට අනුකම්පාව පෙන්වමින්ද” කටයුතු කරන්න. (1 පේතෘස් 3:8) ඒත් නපුරු ගුරුවරයෙකුට අනුකම්පාව පෙන්වන්නේ කොහොමද? ඔබ ගුරුවරුන් ගැන දැනගත යුතු කාරණා කිහිපයක් පහත සඳහන් වෙනවා. ඒවා සලකා බලන්න.

ගුරුවරුන් අතින්ද වැරදි සිදු වෙයි. ඔවුන්ටත් ප්‍රශ්න ගැටලු තියෙනවා. “යමෙකුට තම දිව පාලනය කරගැනීමට හැකි නම් මුළු ශරීරයම හොඳින් පාලනය කරන, කිසි වරදක් නොකරන පරිපූර්ණ මිනිසෙකු වීමට ඔහුට පුළුවන” කියා යේසුස්ගේ ගෝලයෙක් ලිව්වා. (යාකොබ් 3:2) දහනව හැවිරිදි බ්‍රියැනා මෙහෙම කියනවා. “මගේ ගණන් ටීචර්ට නම් ඉවසීම නැහැ. හැම වෙලාවෙම අපිට කෑගහනවා. එයාට ගරු කරන්න ලේසි වුණේ නැහැ.” ගුරුවරිය එසේ ක්‍රියා කළේ ඇයි? බ්‍රියැනා ඒ ගැන පැවසුවේ මෙයයි. “පන්තියේ ළමයින්ගේ කිසි සංවරයක් තිබුණේ නැහැ. ටීචර්ව කේන්ති ගස්සන වැඩමයි කෙරුවේ.”

ඔබ දැඩි පීඩනයකින් සිටින විට ඔබ අතින් සිදු වන අඩුපාඩු ගුරුවරයෙක් ගණන් නොගෙන සිටිනවාට ඔබ කැමතියි. ඔබටත් බැරිද ඔබේ ගුරුවරයාට එසේ සලකන්න? මෑතකදී පාසැලේ ඇති වූ සිද්ධියක් සහ ඒ සිද්ධියේදී ඔබේ ගුරුවරයාගේ ඉවසීම නැති වුණේ ඇයි කියාත් ලියන්න.

․․․․․

ගුරුවරුන් සමහර ළමයින්ට විශේෂ සැලකිල්ලක් දක්වනවා. ගුරුවරයා ගැනත් ටිකක් සිතන්න. ඔබේ පන්තියේ සිටින ළමයින්ගෙන් කීයෙන් කීදෙනාද ඒ පන්තියේ ඉන්න කැමති? පැය භාගයකට හෝ පැයකට එකම විෂයකට අවධානය දීමට කැමැත්තක් හෝ හැකියාවක් තිබෙන්නේ ඒ ළමයින්ගෙන් කීදෙනෙකුටද? තමන් තුළ තිබෙන කේන්තිය හෝ කලකිරීම වැනි දේවල් ගුරුවරුන් පිටින් යවන ළමයින් කීදෙනෙක් ඉන්නවාද? දැන් හිතන්න, ඔබේ වයසේ ළමයි 20දෙනෙකුට හෝ 30දෙනෙකුට ඔවුන්ගෙන් වැඩිදෙනෙකු අකමැති විෂයක් උගන්වන්න ඔබට සිදු වුණා කියා. ඒ ළමයි අතර සිටින උනන්දුමත් ශිෂ්‍යයන්ට ඔබ වැඩි අවධානයක් දෙන්නේ නැද්ද?

ගුරුවරයෙක් ළමයෙකුට වැඩි අවධානයක් දෙන විට ඔබට කෝපයක් දැනීම සාධාරණයි. නටාෂා ඇගේ ගුරුවරයෙක් ගැන මෙහෙම කියනවා. “අපිට නම් වෙලාවට වැඩ කරන්න කියලා බල කරනවා. ඒත් ෆුට්බෝල් ටීම් එකේ ඉන්න ළමයින්ට නම් ඕන තරම් නිදහස දෙනවා. ඒක ඉතින් අහන්න දෙයකුත් නෙමෙයි. සර් තමයි ඒ ටීම් එකේ උපපුහුණුකරු.” එවැනි දේකට ඔබට මුහුණ දීමට සිදු වුණා නම් මේ ප්‍රශ්නය ගැන සිතා බලන්න. ‘ඒක මගේ ඉගෙනීමට බාධාවක් වෙනවාද?’ එසේ නොවෙයි නම් ඔබ කලබල වෙන්නවත් ඊර්ෂ්‍යා කරන්නවත් අවශ්‍ය නැහැ.

ගුරුවරිය හෝ ගුරුවරයා උගන්වන දේට ඔබ උනන්දු වන බව පෙන්වීමට කළ හැකි දේ ලියන්න.

․․․․․

ගුරුවරුන් ශිෂ්‍යන්ව වරදවා තේරුම්ගැනීම. සමහර අවස්ථාවලදී ඔබේ ගතිපැවතුම් නිසා හෝ යම් වරදවා වටහාගැනීමක් නිසා ගුරුවරයා ඔබට එතරම් කැමැත්තක් නොදක්වනවා ඇති. ඔබ නිතරම ප්‍රශ්න අසන නිසා ඔබ කැරලිකාරයෙකු කියාත් ඔබ විහිළුතහළුවලට කැමති නම් ඔබ මෝඩ, අන් අයට ගරු නොකරන කෙනෙකු කියාත් ගුරුවරයා සිතන්න ඉඩ තිබෙනවා.

එලෙස ඔබව වරදවා වටහාගෙන තිබෙනවා නම් ඔබට කුමක් කළ හැකිද? බයිබලයේ මෙවැනි දෙයක් සඳහන් වෙනවා. ‘කාටවත් නපුරට නපුර නොකරන්න. මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න.’ (රෝම 12:17, 18) ඔබේ ගුරුවරයාට කේන්ති නොයන ලෙස කටයුතු කිරීමට උත්සාහ කරන්න. ඔබ අතින් සිදු වන වැරදි පුළුවන් තරම් අඩු කරගන්න. එවිට ඔබ ගැන දොස් නඟන්න ඔහුට බැරි වෙයි. මිත්‍රශීලී වීමටත් උත්සාහ කරන්න. ඒත් ඔබ සමහරවිට මෙහෙම කියයි. ‘එයාත් එක්ක මිත්‍රශීලී වෙන්න? එහෙම දෙයක් ගැන හිතන්නවත් බැහැ!’ නමුත් ඔබ එහෙම කරන්න ඕනේ. ගුරුවරයා පන්තියට එන විට ඔහුට ආචාර කිරීමෙන් ඔබට හොඳ පුරුදු තිබෙන බව පෙන්වන්න. එලෙස කටයුතු කිරීමෙන් ඔබ ගැන තිබෙන වැරදි වැටහීම් නැති වී යා හැකියි.—රෝම 12:20, 21.

කෙන් නමැති යෞවනයාගේ අද්දැකීම සලකා බලන්න. ඔහුගේ ගුරුවරුන් ඔහු ගැන නිතරම හිතුවේ වැරදි විදිහටයි. ඔහු මෙහෙම කියනවා. “මම හරි ලැජ්ජාශීලී කෙනෙක්. ඒ නිසා මම ගුරුවරුන් එක්ක කතා කෙරුවේ නැහැ.” ඔහු එම ගැටලුවෙන් ගොඩ ආවේ කොහොමද? “මම අන්තිමේදී තේරුම්ගත්තා ගුරුවරුන්ට ඕනේ මගේ ඉගෙනීමේ වැඩවලට උදව් කරන්න කියලා. ඉතින් මම ගුරුවරුන් එක්ක හොඳ බැඳීමක් ඇති කරගත්තා. ඊටපස්සේ මගේ ලකුණු මට්ටමත් වැඩි වුණා.”

මිත්‍රශීලීව කතා කළ පමණින් ගුරුවරයෙකුගේ හිත දිනාගැනීමට බැරි බව ඇත්තයි. ඒත් ඉවසිලිවන්තව ඉන්න. ‘ඉවසීමෙන් හමුදාපතියෙකුගේ [හෝ ගුරුවරයෙකුගේ] සිත පවා දිනාගත හැකියි’ කියා සලමොන් රජ ලිව්වා. (හිතෝපදේශ 25:15) ඔබට අසාධාරණ ලෙස සලකන විට කලබල නොවී කාරුණිකව කතා කරන්න. එවිට ගුරුවරයා ඔබ ගැන සිතා සිටි ආකාරය වෙනස් කරගැනීමට ඉඩ තිබෙනවා.—හිතෝපදේශ 15:1.

ඔබේ ගුරුවරයා ඔබව වරදවා වටහාගත් විට හෝ අසාධාරණ ලෙස සලකන විට ඔබ සාමාන්‍යයෙන් කරන්නේ කුමක්ද?

․․․․․

ඊට වඩා හොඳ ක්‍රමයක් තියෙනවාද?

․․․․․

ගැටලු විසඳීම

ගුරුවරයාව තේරුම්ගැනීම වැදගත්. නමුත් ඔබට යම් ගැටලුවක් තිබෙනවා නම් කුමක් කළ හැකිද? පහත සඳහන් තත්වයන්වලදී ඔබට කුමක් කළ හැකිද?

මට මීට වඩා ලකුණු ලැබෙන්න ඕනේ. “මට හැමතිස්සේම විද්‍යාවට ලකුණු වැඩියි. ඒත් එක අවුරුද්දක මට ඒ විෂයට ලැබුණේ අඩුම ලකුණු. ඒක වෙන්නම බැරි දෙයක්. මගේ දෙමාපියන් ඒ ගැන විදුහල්පතිගෙන් ඇහැව්වා. ඔහු මගේ ලකුණු ටිකක් වැඩි කළා. ඒක හරිම අසාධාරණයි” කියා කැට්‍රිනා පවසනවා. ඔබටත් එවැනි අසාධාරණයකට මුහුණ දෙන්න සිදු වුණා නම් ඔබේ ගුරුවරයාට බැණවදින්න එපා. බයිබලයේ සඳහන් පුද්ගලයෙක් වන නාතන්ගෙන් ඔබට යමක් ඉගෙනගත හැකියි. නාතන්ට සිදු වුණා දාවිත් රජු කළ වරද ගැන ඔහුට කියන්න. ඔහු දාවිත් රජුට කෑගසා බැණවදිමින් මාලිගාවට කඩා වැදුණේ නැහැ. ඔහු ඉතාමත් නැණවත් අයුරින් කතා කළා.—2 සාමුවෙල් 12:1-7.

ඔබේ ගුරුවරුන් සමඟ කතා කරන විටත් සන්සුන්ව හා ගෞරවනීය ලෙස කතා කරන්න. ඔබ ගුරුවරයාට බැණවදිනවා නම් හෝ ඔහුගේ අඩුපාඩු පෙන්වා දෙනවා නම් ඔබට කවදාවත් ගුරුවරයාගේ හිත දිනාගන්න බැරි වෙයි. දැනුම් තේරුම් ඇති කෙනෙකු මෙන් කටයුතු කරන්න. ඔහු හෝ ඇය ලකුණු දෙන ආකාරය ගැන මුලින්ම අසා දැනගන්න. සලමොන් රජ මෙසේ කිව්වා. “කාරණයකට හොඳින් සවන් දීමට කලින් කතා කිරීම මෝඩකමකි. එයින් අත් වන්නේ ලැජ්ජාවකි.” (හිතෝපදේශ 18:13) ඔබ හොඳින් සවන් දුන් විට ඔබට හැකියාවක් ලැබෙයි ඔහුට හෝ ඇයට වැරදුණු තැන කාරුණිකව පෙන්වා දෙන්න. ඔබේ ලකුණු මට්ටම වෙනස් කළේ නැතත් ඔබ කටයුතු කළ ආකාරය ගැන ගුරුවරයාගේ සිත තුළ යම් පැහැදීමක් ඇති විය හැකියි.

මගේ ගුරුවරයා මට වෙනස්කම් කරනවා. රේචල්ගේ අද්දැකීම සලකා බලන්න. ඇයට හැමදාම හොඳ ලකුණු ලැබුණා. හැබැයි හත්වන පන්තියට ගියාට පස්සේ ඇගේ ලකුණු අඩු වුණා. ඇය මෙසේ පවසනවා. “මගේ ගුරුවරයා මගේ ලකුණු අඩු කරන්න පුළුවන් තරම් දේවල් කළා.” ඔහු එහෙම කළේ රේචල් අදහන ආගමට කැමති නැති නිසයි.

ගැටලුව විසඳුණේ කොහොමද? රේචල් මෙහෙම කියනවා. “මගේ ආගම නිසා මගේ ලකුණු අඩු කරනවා කියලා දැනුණු හැම වෙලාවකම මගේ අම්මා ඇවිල්ලා ගුරුවරයත් එක්ක ඒ ගැන කතා කළා. අන්තිමේදී එයා මට වෙනස්කම් කරන එක නතර කළා.” ඔබත් එවැනි තත්වයකට මුහුණ දෙනවා නම් ඒ ගැන දෙමාපියන්ට කියන්න. ඔවුන් අනිවාර්යයෙන්ම ගුරුවරයා හෝ විදුහල්පති සමඟ කතා කර ඔබට විසඳුමක් ලබා දීමට කැමති වෙයි.

ඉගෙනීමට අවධානය දෙන්න

සෑම ගැටලුවක්ම විසඳෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී ඒවා විඳදරාගන්න සිදු වෙයි. “අපේ එක ගුරුවරයෙක්ට ළමයි ගැන තිබුණේ පුදුම කේන්තියක්. අපිට හරියට අපහාස කළා. ‘මෝඩයා’ කියලත් බැන්නා. මුල් දවස්වල මට හරියට දුක හිතිලා ඇඬුණා. ඊටපස්සේ මං ඒවා ගණන් ගන්නේ නැතුව ඉන්න පුරුදු වුණා. මගේ සම්පූර්ණ අවධානය ඉගෙනීමට දුන්න නිසා අන්තිමේදී එයා මට හිරිහැර කරන එක නතර කළා. පන්තියේ හොඳ ලකුණු ගත්තු ළමයි කිහිපදෙනා අතර මමත් හිටියා. අවුරුදු දෙකකට පස්සේ ගුරුවරයාට රස්සාව නැති වුණා” කියා ටාන්යා පවසනවා.

හිත දිනාගන්න අමාරු ගුරුවරයෙක් සමඟ කටයුතු කිරීමට ඉගෙනගැනීමෙන් ඔබේ ජීවිතයට ප්‍රයෝජනවත් වන අද්දැකීම් ලැබෙයි. පසු කාලයකදී ඔබ රැකියාවක් කරන විට කටයුතු කිරීමට අමාරු නිලධාරියෙක් සමඟ පෑහී වැඩ කිරීමට ඔබට පුළුවන් වෙයි. ඒ වගේම හොඳ ගුරුවරුන් යටතේ ඔබට ඉගෙනගන්න ලැබෙන විට ඔවුන්ව අගය කරන්නත් ඔබට පුළුවන් වෙයි.

ඊළඟ පරිච්ඡේදය

ඔබට දවසේ පැය 24 මදිද? කාලය නිසි ලෙස පාවිච්චි කරන ආකාරය ඉගෙනගන්න.

බයිබල් උපදෙස

“අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න. නීතියෙත් අනාගතවාක්‍යයෙත් හරය එයයි.”—මතෙව් 7:12.

යෝජනාවක්

ගුරුවරයා උගන්වන විදිහ නීරස නම් ඔහුට අවධානය දෙනවාට වඩා ඔහු උගන්වන විෂයට අවධානය දෙන්න. සටහන් ගන්න. ප්‍රශ්නයක් අසන විට ගෞරවනීය ලෙස අසන්න. ඔබ එම විෂයට උනන්දුවක් පෙන්වන විට අනික් ළමයි තුළත් උනන්දුවක් ඇති වෙයි.

ඔබ මේ ගැන දැන සිටියාද . . . ?

ඔබේ ගුරුවරයා එකම පාඩම පන්ති ගණනාවක උගන්වා ඇති. ඒ නිසා මුලින් උගන්වන විට තිබූ උද්‍යෝගය දිගටම පවත්වාගැනීම ඔහුට අපහසු ඇති.

ගත හැකි පියවර

අකමැති විෂයකට ආසාවක් ඇති කරගන්න මම ․․․․․

මගේ ගුරුවරයා මට අසාධාරණ ලෙස සලකනවා කියලා හිතුණොත් ․․․․․

මේ විෂය ගැන දෙමාපියන්ගෙන් මම අසා දැනගන්න කැමති දේ ․․․․․

ඔබ සිතන්නේ කුමක්ද?

● ගුරුවරයාට වඩා විෂයට වැඩි අවධානයක් දීම වැදගත් ඇයි?

● ඔබ යම් විෂයකට දක්වන උනන්දුව එම විෂය උගන්වන ගුරුවරයා ඔබ ගැන දක්වන උනන්දුවට දායක වෙන්නේ කොහොමද?

[146වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

‘‘මගේ ගුරුවරුන් සමඟ මිත්‍ර වෙන්න මම ගොඩක් වෑයම් කරනවා. මට හැම ගුරුවරයෙක්ගෙම නම මතකයි. පාරේදී දැක්කොත් මම නතර වෙලා ටිකක් කතා කරලා තමයි යන්නේ.’’—කාමන්

[145වන පිටුවේ පින්තූරය]

නොදැනුවත්කමින් එගොඩ වීමට ඔබට උපකාර කරන්නේ ඔබේ ගුරුවරුන්. ඔවුන් දිය පාරකින් එගොඩ වීමට අතුරා ඇති ගල් හා සමානයි. නමුත් ඒ සඳහා වෑයම් දැරිය යුත්තේ ඔබයි