86වෙනි පරිච්ඡේදය
නැති වුණු පුතා නැවත එයි
-
නැති වුණු පුතා ගැන නිදර්ශනය
පෙනෙන විදිහට යේසුස් තවමත් ඉන්නේ යොර්දාන් ගඟට නැඟෙනහිරෙන් පිහිටි පෙරයාවේ. නැති වුණු බැටළුවා සහ නැති වුණු කාසිය ගැන නිදර්ශන දෙක ඔහු කිව්වේ එහේ ඉඳන් වෙන්න ඇති. යේසුස් ඒ නිදර්ශනවලින් කාවැද්දුවේ පව්කාරයෙක් පසුතැවිලා, හරි මාර්ගයට එද්දී අපි ඒ ගැන මොන තරම් සතුටු වෙන්න ඕනෙද කියලයි. ඒත් යේසුස් පසුතැවෙන පව්කාරයන් එක්ක කතාබහ කරනවාට පරිසිවරු සහ නීතිය පිටපත් කරන අය නම් කැමති නැහැ. යේසුස් කියපු නිදර්ශන දෙකෙන්වත් ඔවුන් යම් දෙයක් ඉගෙනගන්න ඇද්ද? පසුතැවෙන පව්කාරයන් ගැන දෙවියන්ට හැඟෙන විදිහ ඔවුන් තේරුම්ගන්න ඇද්ද? ඒ නිදර්ශනවලින් කාවද්දපු කාරණය තවත් හොඳින් කාවද්දන්න යේසුස් දැන් තව නිදර්ශනයක් කියනවා.
මේ නිදර්ශනයේ සඳහන් වෙන්නේ තාත්තා කෙනෙක් සහ පුත්තු දෙන්නෙක් ගැන. නිදර්ශනයේ ප්‍රධාන චරිතය බාල පුතා. යේසුස් ඔහු ගැන කියන දෙයින් පරිසිවරුන්ට නීතිය පිටපත් කරන්නන්ට සහ එතැන ඉන්න හැමෝටම වැදගත් කාරණයක් ඉගෙනගන්න පුළුවන්. හැබැයි තාත්තාගෙනුත් වැඩිමල් පුතාගෙනුත් වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන් කියලා අමතක කරන්න එපා. ඒ තුන්දෙනා ගැන යේසුස් කියන මේ නිදර්ශනය හොඳින් හිතට ගන්න.
“එක්තරා මිනිසෙකුට පුතුන් දෙදෙනෙක් සිටියා. ඔවුන් දෙදෙනාගෙන් බාලයා තම පියා ළඟට ඇවිත්, ‘තාත්තේ, ඔබේ දේපොළෙන් මට අයිති කොටස දෙන්න’ කියා පැවසුවා. එවිට පියා තමා සතු සියලු දේපොළ පුතුන් දෙදෙනාට බෙදා දුන්නා.” (ලූක් 15:11, 12) සාමාන්‍යයෙන් දරුවෙක්ට තමන්ගේ උරුමය ලැබෙන්නේ තාත්තා මිය ගියාට පස්සේ. ඒත් මේ පුතාට ඕන වෙලා තියෙන්නේ දැන්මම උරුමය ඉල්ලගෙන, කැමති තැනකට ගිහින්, ඒක තමන් කැමති විදිහට පාවිච්චි කරන්න.
ඒ තාත්තා ඇත්තටම දරුවන් ගැන හුඟක් සැලකිලිමත් කෙනෙක්. තාත්තාගේ රැකවරණය යටතේ ඒ ගෙදර ජීවත් වෙද්දී කිසිම දේකින් අඩුවක් තිබුණේ නැති වුණත් බාල පුතා ඒ හැම දෙයක්ම දාලා යන්න තීරණය කරනවා. ඒ ගැන යේසුස් කියන්නේ මෙහෙමයි. “බාල පුත්‍රයා තමා සතු දේ රැගෙන දුර රටකට ගියා. ඔහු එහිදී අනාචාරයේ යෙදෙමින් ඉතා නරක ජීවිතයක් ගත කර තමා සතු දේ නැති නාස්ති කර දැමුවා.”—ලූක් 15:13.
අන්තිමේදී ඔහුට මොන තරම් දුක් විඳින්න සිද්ධ වුණාද කියලා යේසුස් කියන මේ දෙයින් පැහැදිලි වෙනවා. ලූක් 15:14-16.
“ඔහු සියල්ල නාස්ති කළ පසු ඒ රට පුරාම මහත් සාගතයක් ඇති වුණා. එයින් ඔහු ඉතා අසරණ තත්වයකට පත් වුණා. ඔහු ඒ රටේ ජීවත් වූ කෙනෙකු ළඟට ගොස් ඔහු යටතේ කුලී වැඩක් සොයාගත්තා. ඔහුට සිදු වුණේ ඒ පුද්ගලයාට අයිති ඉඩම්වලට ගොස් එහි සිටි ඌරන්ව බලාගැනීමටයි. ඔහුට කෑමට කිසිවක් නොලැබුණු නිසා ඔහු තම කුසගින්න නිවාගත්තේ ඌරන්ට දැමූ කෑමවලිනුයි.”—මොන තරම් කණගාටුදායක තත්වයක්ද! අන්තිමේදී ඔහුට දෙවිගේ නීතියේ අපවිත්‍ර සතුන් හැටියට හඳුන්වලා තිබුණු ඌරන්ව බලාගන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙවෙයි බඩගින්න නිවාගන්න වුණේ ඌරන්ට දාපු කෑමවලින්. තමන් කළේ මොන තරම් අඥාන දෙයක්ද කියලා ඔහු තේරුම්ගන්නවා. ඒ නිසා තමයි ඔහු මෙහෙම කල්පනා කරන්නේ. “මම මෙතැන කන්න නැතුව මැරෙන්න යනවා. නමුත් මගේ පියා ළඟ කුලීකරුවන් කීදෙනෙක් වැඩ කරනවාද! ඔවුන් හැමෝටම ඕනෑ තරම් කෑම තිබෙනවා. මම තාත්තා ළඟට දැන් ගියොත් හොඳයි. ගිහින් මම මෙහෙම කියනවා. ‘තාත්තේ, මම මහ පව්කාරයෙක්. මම දෙවිටත් ඔබටත් විරුද්ධව බොහෝ වැරදි කළා. ඔබේ පුතෙක් කියන්නවත් මම වටින්නේ නැහැ. ඔබ ළඟ කුලීකරුවෙක් හැටියට වැඩ කරන්න මට ඉඩ දෙන්න.’” එහෙම හිතපු ඔහු දැන් තාත්තා ළඟට යනවා.—ලූක් 15:17-20.
ඔහුව දකිද්දී තාත්තා මොනවා කරයිද? අකීකරු වෙලා ගෙදරින් පිට වුණු එක ගැන කේන්තියෙන් බණියිද? පුතාට කිසිම අනුකම්පාවක් පෙන්වන එකක් නැද්ද? ඒ තාත්තා ඔබ නම් ඔබ මොකද කරන්නේ? ඔබේ දුව හරි පුතා හරි ඒ වගේ දෙයක් කරලා ආවොත් ඔබ එයාව පිළිගන්නවාද?
නැති වුණු පුතාව හමු වෙයි
“තම පුතාව ඈත තියා දුටු පියා තුළ මහත් අනුකම්පාවක් ඇති වී, ඔහු ළඟට දුව ගොස් ඔහුව මහත් ආදරයකින් සිප වැලඳගත්තා” කියලා යේසුස් කියනවා. (ලූක් 15:20) පුතා පව්කාර ජීවිතයක් ගත කළා කියලා තාත්තා දැනගෙන හිටියත් ඔහු ආදරෙන් පුතාව පිළිගන්නවා. පව්කාරයන් හැරිලා එද්දී ස්වර්ගයේ ඉන්න අපේ පියාණන්ට ඒ අය ගැන හැඟෙන්නේ කොහොමද කියලා යුදෙව් ආගමික නායකයන් ඒ නිදර්ශනයෙන් තේරුම්ගනියිද? යේසුස්ටත් පසුතැවෙන පව්කාරයන් ගැන හැඟෙන්නේ ඒ විදිහටමයි කියලා ඔවුන් තේරුම්ගනියිද?
පුතා තමන් කරපු වැරදි ගැන ඇත්තටම පසුතැවෙනවා කියලා ඔහුගේ මුහුණ දකිද්දී තාත්තා තේරුම්ගන්න ඇති. තාත්තා ආදරෙන් පුතාව පිළිගත්ත නිසා තමයි තමන් අතින් වුණු වැරදි ගැන කියන්න පුතාට ලේසි වුණේ. ඔහු තාත්තාට කිව්වේ මෙහෙමයි. “තාත්තේ, මම මහ පව්කාරයෙක්. මම දෙවිටත් ඔබටත් විරුද්ධව බොහෝ වැරදි කළා. ඔබේ පුතෙක් කියා කියන්නවත් මම සුදුසු නැහැ.”—ලූක් 15:21.
තාත්තා සේවකයන්ට මෙහෙම කියනවා. “ඉක්මනට ගිහින් හොඳම සළුව ගෙනැවිත් මගේ පුතාට අන්දවන්න. ඔහුට පාවහන් දෙකකුත් දී ඔහුගේ ඇඟිල්ලට මුද්දකුත් දමන්න. තර වස්සෙක්ව මරා හොඳ කෑමක් පිළියෙල කර අපි සතුටු වෙමු. මෙච්චර දවසක් මැරිල හිටිය මගේ පුතා දැන් ජීවත් වෙනවා. නැති වූ මගේ පුතා මට දැන් සම්බ වුණා.” ඊටපස්සේ “ඔවුන් සියලුදෙනාම එකට එක් වී සතුටු වුණා.”—ලූක් 15:22-24.
මේ දේවල් සිද්ධ වෙද්දී වැඩිමල් පුතා හිටියේ කෙතේ වැඩ කරමින්. ඔහු ගැන යේසුස් මෙහෙම කියනවා. “ඔහු නිවසට ළඟා වන විට ඔහුට සංගීතයේ හා නැටුම් ගැයුම්වල හඬක් නිවස දෙසින් ඇහුණා. ඔහු සේවකයෙකුව කැඳවා එයට හේතුව කුමක්ද කියා විමසූ විට, සේවකයා ඔහුට මෙසේ පැවසුවා. ‘ඔබේ සහෝදරයා ගෙදර ඇවිල්ලා. ඔහු කිසි අනතුරක් නැතුව ආපසු පියා ළඟට ඇවිත් සිටින නිසා ඒ සතුටට පියා තර කළ වස්සෙක්ව මරා කෑමකුත් පිළියෙල කළා.’ ඒ දේ ඇසූ වැඩිමහල් සහෝදරයාට කොතරම් කෝපයක් ඇති වුණාද කියනවා නම් ගේ ඇතුළට යන්නවත් ඔහු කැමති වුණේ නැහැ. ඒ නිසා ඔහුගේ පියා පිටතට ඇවිත් ඔහුට ඇතුළට එන්න පෙරැත්ත කළා.” ඒත් ඔහු තාත්තාට කියන්නේ මෙහෙමයි. “මම මෙච්චර අවුරුදු ගණනාවක් තිස්සේ තාත්තා වෙනුවෙන් දාසයෙක් වගේ වැඩ කළා. මම ලූක් 15:25-30.
එක දවසක්වත් තාත්තාගේ කැමැත්තට විරුද්ධව වැඩ කළේ නැහැ. ඒත් මගේ යාළුවෝ එක්ක කාලා විනෝද වෙන්න එක එළු පැටියෙක්වත් තාත්තා දුන්නේ නැහැ. හැබැයි වේශ්‍යාවන් එක්ක ඉඳලා තාත්තාට අයිති දේවල් නාස්ති කර දැමූ පුතා ආවා විතරයි, තාත්තා තර කළ වස්සෙක්ව මරා ඔහු වෙනුවෙන් හොඳ කෑමකුත් පිළියෙල කළා.”—පරිසිවරු සහ නීතිය පිටපත් කරන අයත් කටයුතු කරන්නේ ඒ වැඩිමල් පුතා වගේමයි. මොකද පසුතැවෙන පව්කාරයන්ට යේසුස් දයාව පෙන්වනවාට ඔවුන් පොඩ්ඩක්වත් කැමති නැහැ. දෙවියන් පව්කාරයන්ට කාරුණිකව සලකනවාට අකමැති හැමෝටම ඒ නිදර්ශනයෙන් වටිනා පාඩමක් ඉගෙනගන්න පුළුවන්.
තාත්තා වැඩිමල් පුතාට කියපු මේ දේ ගැන සඳහන් කරමින් යේසුස් ඒ නිදර්ශනය අවසන් කරනවා. “පුතේ, ඔබ හැමදාම සිටියේ මා ළඟමයි. මට තිබෙන හැම දෙයක්ම අයිති වන්නේ ඔබටයි. ඇත්තටම මේ අවස්ථාවේදී අපි කොතරම් සතුටු වෙන්න ඕනේද! මෙච්චර දවසක් ඔබේ සහෝදරයා හිටියේ මැරිලා. දැන් ඔහු ජීවත් වෙනවා. නැති වූ ඔබේ සහෝදරයාව දැන් සම්බ වුණා.”—ලූක් 15:31, 32.
වැඩිමල් පුතා අන්තිමේදී කළේ මොනවාද කියලා යේසුස් කිව්වේ නැහැ. කොහොමවුණත් යේසුස්ගේ නැවත නැඟිටීමෙන් පස්සේ “පූජකයන් විශාල පිරිසක් යේසුස්ගේ අනුගාමිකයෝ” වුණා. (ක්‍රියා 6:7) සමහරවිට යේසුස් කියපු නිදර්ශනය අහගෙන හිටිය අයත් ඒ අතරේ ඉන්න ඇති. ඔව්, තමන්ගේ අඥානකම තේරුම් අරන් වැරදි ගැන පසුතැවිලා දෙවියන් වෙතට හැරෙන්න ඔවුන්ටත් අවස්ථාව ලැබුණා.
යේසුස් කියපු ඒ නිදර්ශනයෙන් ඔහුගේ අනුගාමිකයන් හැමෝටම වටිනා පාඩම් ඉගෙනගන්න පුළුවන්. මූලිකම කරුණ තමයි අපි අපේම ආශාවන් ඉටු කරගන්න උත්සාහ කරමින් අපේ ආදරණීය පියාණන්ගෙන් ඈත් වෙන එක මොන තරම් අඥානද කියන කාරණය.
අනිත් කාරණය තමයි අපි දෙවිගෙන් ඈත් වුණොත් ඉක්මනින්ම පසුතැවිලා දෙවියන් වෙතට ආපහු හැරිලා එන්න ඕනෙ කියන කාරණය. එහෙම කළොත් විතරයි අපිට දෙවිගේ අනුමැතිය ලැබෙන්නේ.
වැඩිමල් පුතාට වඩා වෙනස්ව තාත්තා කැමැත්තෙන්ම සමාව දීපු එකෙනුත් අපිට පාඩමක් ඉගෙනගන්න පුළුවන්. ඔව්, කෙනෙක් වැරදි ගැන පසුතැවිලා පියාණන් වෙතට හැරිලා එද්දී අපි හැමෝම ඔහුට සමාව දීලා ඔහුව ආදරෙන් පිළිගන්න සූදානමින් ඉන්න ඕනේ. ‘මැරිලා හිටිය ඔහු දැන් ජීවත් වෙන’ එක ගැනත් ‘නැති වුණු ඔහුව දැන් සම්බ වුණු’ එක ගැනත් අපි සතුටු වෙමු.