78වෙනි පරිච්ඡේදය
සූදානමින් සිටිය යුතු විශ්වාසවන්ත සේවකයා
-
විශ්වාසවන්ත සේවකයා සූදානමින් සිටින්න අවශ්‍යයි
-
යේසුස් ආවේ බෙදීමක් ඇති කරන්නයි
ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න ලැබෙන්නේ ‘කුඩා රැළට’ විතරයි කියලා යේසුස් මේ වෙද්දී පැහැදිලි කරලයි තියෙන්නේ. (ලූක් 12:32) ඒ විශේෂ වරප්‍රසාදය සැහැල්ලුවට ගන්න නම් හොඳ නැහැ. ඒ වරප්‍රසාදය ලබපු කෙනෙක් කටයුතු කරන්න ඕනෙ කොහොමද කියලා යේසුස් පැහැදිලි කරන්නේ ඒ නිසයි.
තමන් පැමිණෙද්දී ගෝලයන් සූදානමින් ඉන්න ඕනෙ කියලා කාවද්දන්න යේසුස් දැන් මෙහෙම කියනවා. “සූදානම් වී සිට ඔබේ පහන් දල්වා තබාගන්න. ඔබත් විවාහ උත්සවයකට ගොස් ආපසු පැමිණෙන ස්වාමියා එන තෙක් බලා සිටින දාසයන් හා සමානව සිටිය යුතුයි. ඒ දාසයන් බලා සිටින්නේ ස්වාමියා පැමිණ දොරට තට්ටු කරන විට දොර වහාම විවෘත කිරීමටයි. ස්වාමියා පැමිණෙන විට ඔවුන් සෝදිසියෙන් සිටි බව ඔහු දැක්කොත් ඒ දාසයන්ට කොතරම් සතුටු විය හැකිද!”—ලූක් 12:35-37.
කුඩා රැළට අයත් අය කටයුතු කරන්න ඕනෙ කොහොමද කියලා ගෝලයන් ඒ නිදර්ශනයෙන් ලේසියෙන්ම තේරුම්ගත්තා. ඒ නිදර්ශනයේ සඳහන් වෙන සේවකයන් ස්වාමියා පැමිණෙන කල් බලන් ඉන්නවා වගේම සූදානමින් ඉන්නවා. යේසුස් තවදුරටත් මෙහෙම කියනවා. “ඔහු [ස්වාමියා] රාත්‍රියේ දෙවෙනි රැකවල් යාමයේදී [ප.ව. 9 සිට මධ්‍යම රාත්‍රිය දක්වා] හෝ තුන්වෙනි රැකවල් යාමයේදී [මධ්‍යම රාත්‍රියේ සිට පෙ.ව. 3 දක්වා] හෝ පැමිණ බලන විට ඔවුන් සෝදිසියෙන් සිටින ආකාරය දැක්කොත් ඔවුන්ට කොතරම් සතුටු විය හැකිද!”—ලූක් 12:38.
ඔහු සඳහන් කරන්නේ නිවසක වැඩ කරන සේවකයෙක් කඩිසරව වැඩ කරන්න ඕනෙ කියන එකට වඩා වැදගත් දෙයක් ගැන. ඔහු පවසන මේ දෙයින් ඒක තේරුම්ගන්න පුළුවන්. “ඔබත් නිතරම සූදානමින් සිටිය යුතුයි. මන්ද මනුෂ්‍ය පුත්‍රයාත් එන්නේ ඔබ නොසිතන පැයකදීයි.” (ලූක් 12:40) එහෙමනම් අනාගතයේ යම් කාලයක යේසුස් එන නිසා ඔහු බලාපොරොත්තු වෙන්නේ තම අනුගාමිකයන් විශේෂයෙන්ම ‘කුඩා රැළට’ අයිති අය සූදානමින් ඉඳියි කියලයි.
යේසුස් කියපු දෙයින් අදහස් වෙන දේ ගැන දැනගන්න ඕන නිසා පේතෘස් මෙහෙම අහනවා. “ස්වාමීනි, ඔබ මේ උපමාව කියන්නේ අපටද නැත්නම් සියලුදෙනාටමද?” යේසුස් ඒකට කෙළින්ම උත්තරයක් දෙනවා වෙනුවට ඒක තේරුම්ගන්න උදව් වෙන තවත් නිදර්ශනයක් කියනවා. “ස්වාමියා විසින් තම සේවක පිරිසට නියම වේලාවට ඔවුන්ට නියමිත වූ ආහාර කොටස නොකඩවා ලබා දීමට ඔවුන් කෙරෙහි පත් කරන විශ්වාසවන්ත හා නුවණ ඇති සේවකයා කවුද? ඔහුගේ ස්වාමියා පැමිණෙන විට ඔහු තම වගකීම් හොඳින් ඉටු කරනවා දැක්කොත් ඒ දාසයාට කොතරම් සතුටු විය හැකිද! ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, ඒ ස්වාමියා තමා සතු සියලු දේවල් බලා කියා ගැනීම සඳහා ඔහුව පත් කරන බවයි.”—ලූක් 12:41-44.
කලින් කියපු නිදර්ශනයේ “ස්වාමියා” හැටියට යොමු දක්වලා තියෙන්නේ මනුෂ්‍ය පුත්‍රයා වන යේසුස්ව කියලා පැහැදිලියි. ඒ අනුව බලද්දී දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන කුඩා රැළට අයිති සහෝදරයන් කිහිපදෙනෙක්ව තමයි විශ්වාසවන්ත සේවකයා විදිහට හඳුන්වලා තියෙන්නේ. (ලූක් 12:32) යේසුස් පැහැදිලි කරන විදිහට ඒ අයව තමයි ඔහුගේ ‘සේවක පිරිසට නියම වේලාවට නියමිත වූ ආහාර කොටස’ ලබා දෙන්න පත් කරන්නේ. යේසුස් කියපු දේවල්වලින් අනාගතයේදී මනුෂ්‍ය පුත්‍රයා පැමිණෙන කාලයක් තියෙනවා කියලා පේතෘස් ඇතුළු අනිත් ගෝලයන් තේරුම්ගන්නවා. ස්වාමියාගේ “සේවක පිරිසට” ඒ කියන්නේ යේසුස්ගේ අනුගාමිකයන්ට දෙවියන් එක්ක තියෙන බැඳීම තවත් ශක්තිමත් කරගන්න උදව් වෙන තොරතුරු ලබා දෙන සැලැස්මක් ඒ කාලයේදී ක්‍රියාත්මක වෙයි.
ගෝලයන් සෝදිසියෙන් වගේම සූදානමින් ඉන්න ඕන තවත් හේතුවක් යේසුස් පැහැදිලි කරනවා. ඔහු කියන්නේ එහෙම කළේ නැත්නම් ලේසියෙන්ම ඔවුන්ගේ අවධානය වෙනත් දේකට යොමු වෙලා තමන්ගේම සහෝදර සහෝදරියන්ට විරුද්ධව වැඩ කරන්න ඔවුන් පෙලඹෙන්න පුළුවන් කියලයි. ඒක කාවද්දන්න යේසුස් දැන් මෙහෙම කියනවා. “ඒ දාසයා, ‘මගේ ස්වාමියා එන්න ප්‍රමාද වෙයි’ කියා සිතමින් නිවසේ සිටින මෙහෙකරුවන්ට සහ මෙහෙකාරියන්ට තළමින් කා බී වෙරි වී සිටියොත්, ඒ දාසයාගේ ස්වාමියා, ඔහු බලාපොරොත්තු නොවූ දවසක ඔහු නොදන්නා පැයකදී ඇවිත් ඔහුට ඉතා තදින් දඬුවම් කර දෙවිට අවිශ්වාසවන්ත වූ අය සමඟ සිටීමට නියම කරයි.”—ලූක් 12:45, 46.
“මා ආවේ පොළොවේ ගින්නක් අවුළන්නයි” කියලා යේසුස් දැන් කියනවා. ඔහු බොරු ඉගැන්වීම් සහ බොරු ලූක් 12:49, 53.
චාරිත්‍ර ගැන හෙළි කරලා තියෙන නිසා මේ වෙද්දීත් මතභේදයක් ඇති වෙලයි තියෙන්නේ. එකමුතුවෙන් ඉන්න ඕන අය අතරෙත් බෙදීමක් ඇති වෙලා තියෙන නිසා යේසුස් කියපු මේ දේ ඇත්තක් වෙලා තියෙනවා. “පියා පුතාට විරුද්ධ වෙයි. පුතා පියාට විරුද්ධ වෙයි. මව දුවට විරුද්ධ වෙයි. දුව ඇගේ මවට විරුද්ධ වෙයි. නැන්දම්මා ඇගේ ලේලිට විරුද්ධවත් ලේලි ඇගේ නැන්දම්මාට විරුද්ධවත් සිටියි.”—යේසුස් ඒ දේවල් විශේෂයෙන්ම කිව්වේ ඔහුගේ ගෝලයන්ට. දැන් ඔහු සෙනඟ දෙසට හැරෙනවා. ඒ අය අතරේ ඉන්න හුඟදෙනෙක් යේසුස් මෙසියස් කියලා පිළිගන්න තියෙන සාක්ෂි ප්‍රතික්ෂේප කරන නිසා යේසුස් දැන් මෙහෙම කියනවා. “සාමාන්‍යයෙන් බස්නාහිර දෙසින් වලාකුළක් එනවා ඔබ දකින විට ඔබ එවෙලේම, ‘කුණාටුවක් එනවා’ කියා කියයි. ඉන්පසු ඔබ පැවසූ දේම සිදු වෙයි. ඒ වගේම දකුණු දෙසින් සුළඟක් හැමුවොත් ‘දැඩි උණුසුමක් ඇති වෙයි’ කියා ඔබ කියයි. ඉන්පසු ඔබ පැවසූ දේම සිදු වෙයි. ඔබේ කුහකකම මොන තරම්ද! අහස සහ පොළොව දෙස බලා සිදු වන වෙනස්කම් තෝරා දෙන්න ඔබ දැනගෙන සිටියත් මේ කාලයේ වැදගත්කම අවබෝධ කරගන්න ඔබට බැරි ඇයි?” (ලූක් 12:54-56) ඇත්තටම ඔවුන් ඒකට සූදානම් නැහැ.