46වෙනි පාඩම
කර්මෙල් කන්දේදී කරපු පූජාව
ඊශ්රායෙල්වල ගොඩක් නරක රජවරු හිටියා. ආහබ් ඒ අයගෙන් නරකම කෙනෙක්. එයා විවාහ වුණේ බාල්ට නමස්කාර කරපු යෙසබෙල් එක්ක. ඒ දෙන්නා එකතු වෙලා යෙහෝවාගේ අනාගතවක්තෘවරුන්ව මරලා දේශය පුරාම බාල්ට නමස්කාර කරන තැන් හැදුවා. ඉතින් යෙහෝවා එලියා අතේ ආහබ්ට පණිවිඩයක් යැව්වා.
ඊශ්රායෙල්වලට වැස්ස ලැබෙන්නේ නැහැ කියලා එලියා ආහබ්ට කිව්වා. අවුරුදු තුනක් වැස්සේ නැහැ. මිනිස්සු හිටියේ බඩගින්නේ. යෙහෝවා ආයෙත් එලියාව ආහබ් ළඟට යැව්වාම රජ මෙහෙම කිව්වා. ‘ඔයා මහා කරදරකාරයෙක්. මේ හැම දේම වුණේ ඔයා නිසයි.’ ඒත් එලියා මෙහෙම කිව්වා. ‘වැස්ස නැති වුණේ ඔයා බාල්ට නමස්කාර කරන නිසයි. සැබෑ දෙවියන් කවුද කියලා දැනගන්න සෙනඟටත් බාල්ගේ අනාගතවක්තෘවරුන්ටත් කර්මෙල් කන්දට එන්න කියන්න.’
හැමෝම කර්මෙල් කන්දට ආවාම එලියා මෙහෙම කිව්වා. ‘දැන්ම තීරණයක් ගන්න. යෙහෝවා ඇත්ත දෙවියන් නම් ඔහුට නමස්කාර කරන්න. බාල් ඇත්ත දෙවියන් නම් බාල්ට නමස්කාර කරන්න. බාල්ගේ අනාගතවක්තෘවරුන් 450දෙනාට කියන්න බාල්ට පූජාවක් ලෑස්ති කරන්න කියලා. මාත් යෙහෝවාට පූජාවක් ලෑස්ති කරන්නම්. ගින්නක් එවලා පූජාව පිළිගන්න කෙනා තමයි ඇත්ත දෙවියන්.’ සෙනඟ ඒකට කැමති වුණා.
බාල්ගේ අනාගතවක්තෘවරු පූජාවක් ලෑස්ති කරලා දවසම ‘අනේ බාල්, අපිට උත්තර දෙන්න’ කියලා කිව්වත් උත්තරයක් ලැබුණේ නැහැ. ඉතින් එලියා එයාලට විහිළු කරලා කිව්වා ‘තව හයියෙන් කෑගහන්න. එයා නිදි ඇති. කවුරු හරි ගිහින් එයාව ඇහැරවන්න’ කියලා. එයාලා හවස් වෙන කල්ම කෑගැහුවත් බාල්ගෙන් කිසිම උත්තරයක් ලැබුණේ නැහැ.
එලියා පූජාවක් ලෑස්ති කරලා ඒක උඩට වතුර දැම්මා. ඊටපස්සේ එයා මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවියනි, ඔයා තමයි ඇත්ත දෙවියන් කියලා පෙන්නන්න.’ එතකොටම යෙහෝවා අහසින් ගින්නක් එවලා ඒ පූජාව පුච්චලා දැම්මා. සෙනඟ හැමෝම ‘යෙහෝවා තමයි ඇත්ත දෙවියන්’ කියලා
කියද්දී එලියා කිව්වා ‘බාල්ගේ අනාගතවක්තෘවරුන්ව මරලා දාන්න’ කියලා. එදා බාල්ගේ අනාගතවක්තෘවරු 450ක් මැරුණා.මුහුද පැත්තෙන් පුංචි වලාකුළක් එනවා දැකලා එලියා ආහබ්ට මෙහෙම කිව්වා. ‘කුණාටුවක් එන්නයි යන්නේ. ඉක්මනට ගෙදර යන්න.’ අහස කළු කරලා ලොකු හුළඟක් ඇවිත් හයියෙන් වහින්න පටන්ගත්තා. ආහබ් පුළුවන් තරම් හයියෙන් එයාගේ අශ්ව කරත්තෙන් ගියා. ඒත් යෙහෝවාගේ උදව්වෙන් ඒ අශ්වයන්ටත් වඩා හයියෙන් දුවගෙන යන්න එලියාට පුළුවන් වුණා. එලියාගේ හැම ප්රශ්නයක්ම විසඳුණාද? අපි බලමු.
“ඔබේ නම යෙහෝවා කියලත් මුළු පොළොවටම ඉන්න උසස්ම දෙවියන් ඔබ විතරයි කියලත් හැමෝටම දැනගන්න සලස්වන්න.”—ගීතාවලිය 83:18