33වෙනි පාඩම
රූත් සහ නායොමි
ඊශ්‍රායෙල් දේශයේ සාගතයක් ඇති වුණු නිසා නායොමි එයාගේ සැමියයි පුත්තු දෙන්නායි එක්ක මෝවබ්වලට ආවා. එහෙදී එයාගේ සැමියා මැරුණා. එයාගේ පුතාලා රූත්වයි ඕපාවයි විවාහ කරගත්තා. කාලයක් යද්දී නායොමිගේ පුතාලා දෙන්නාත් මැරුණා.
සාගතය ඉවර වෙලා කියලා දැනගත්තාම නායොමි ආයෙත් ඊශ්‍රායෙල්වලට යන්න තීරණය කළා. නායොමි එක්ක රූත් සහ ඕපා ආවත් අතරමඟදී නායොමි එයාලට මෙහෙම කිව්වා. ‘ඔය දෙන්නා මගේ පුතාලටත් මටත් ආදරෙන් සැලකුවා. දැන් මෝවබ්වලට ගිහින් ආයෙත් විවාහ වෙන්න.’ ඒත් එයාලා කිව්වා ‘අපි ඔයාට ආදරෙයි, ඔයාව දාලා යන්න බැහැ’ කියලා. ඒත් නායොමි දිගින් දිගටම යන්න කියපු නිසා අන්තිමට ඕපා ගියා. හැබැයි රූත් ගියේ නැහැ. ඒ නිසා නායොමි එයාට මෙහෙම කිව්වා. ‘ඕපා එයාගේ සෙනඟ ළඟටත් දෙවිවරුන් ළඟටත් යනවා. එයාත් එක්ක ආපහු ගෙදර යන්න. ගිහින් අම්මා එක්ක ජීවත් වෙන්න.’ ඒත් රූත් මෙහෙම කිව්වා. ‘මං ඔයාව දාලා යන්නේ නෑ. ඔයාගේ සෙනඟ තමයි මගෙත් සෙනඟ. ඔයාගේ දෙවියන් මගෙත් දෙවියන්.’ ඒ ගැන නායොමිට කොහොම හැඟෙන්න ඇද්ද!
එයාලා ඊශ්‍රායෙල් දේශයට එද්දී බාර්ලි අස්වැන්න කපන කාලය පටන් අරන්. ඒ නිසා බාර්ලි එකතු කරගන්න රූත් කෙතකට ගියා. ඒක අයිති රාහබ්ගේ පුතෙක් වුණු බෝවස්ට. රූත් නායොමිව අත්හරින්නේ නැතුව එයාව ආදරෙන් බලාගන්න විදිහ බෝවස්ට දැනගන්න ලැබුණා. ඉතින් එයා සේවකයන්ට කිව්වා රූත්ට එකතු කරගන්න වැඩිපුර කරල් ටිකක් කෙතේ තියන්න කියලා.
එදා හවස නායොමි රූත්ගෙන් ඇහුවා ‘අද ඔයා කරල් ඇහින්දේ කාගේ කෙතේද’ කියලා. ‘බෝවස්ගේ කෙතේ’ කියලා රූත් කිව්වාම නායොමි මෙහෙම කිව්වා. ‘බෝවස් අපේ නෑදෑයෙක්. ඔයා දිගටම එයාගේ කෙතට යන්න. ඔයාට කරදරයක් වෙන එකක් නැහැ.’
අස්වැන්න කපන කාලය පුරාම රූත් ඒ කෙතේ කරල් ඇහිඳින්න ගියා. රූත් මහන්සි වෙලා වැඩ කරන ගුණ යහපත් කෙනෙක් කියලා බෝවස්ට තේරුණා. ඒ කාලේදී සැමියෙක් මැරෙද්දී එයාට පුතෙක් හිටියේ නැත්නම් එයාගේ බිරිඳව විවාහ කරගන්න නෑදෑයෙක්ට පුළුවන් වුණා. ඒ නිසා බෝවස් රූත්ව විවාහ කරගත්තා. එයාලට පුතෙක් ලැබුණා. එයාගේ නම ඕබෙද්. එයා තමයි දාවිත් රජගේ සීයා. නායොමිගේ යාළුවන් සතුටින් මෙහෙම කිව්වා. ‘යෙහෝවා ඉස්සෙල්ලාම ඔයාට රූත්ව දුන්නා. එයා ඔයාට ගොඩක් ආදරෙන් සලකනවා. දැන් ඔහු ඔයාට මුනුපුරෙක්වත් දුන්නා. යෙහෝවාට ප්‍රශංසා වෙන්න ඕනේ.’
“සහෝදරයෙක්ට වඩා විශ්වාසවන්ත යාළුවොත් ඉන්නවා.”—හිතෝපදේශ 18:24