උපග්‍රන්ථය
විනිශ්චය දවස යනු කුමක්ද?
විනිශ්චය දවස කියද්දී ඔබේ මනසට නැඟෙන්නේ කුමක්ද? ඒ දවසේදී බිලියන ගණනක් මිනිසුන්ව දෙවිගේ සිංහාසනය ඉදිරිපිටට කැඳවනු ලබන බවත් එහිදී එක් එක් කෙනාව විනිශ්චය කර තීන්දුවක් ලබා දෙන බවත් බොහෝදෙනෙක් සිතනවා. ඉන්පසුව සමහරදෙනෙකුට ස්වර්ගයේ ජීවත් වීමේ ආශීර්වාදය හිමි වන අතර තවත් අයව සදාකාලිකව වධ විඳින ස්ථානයකට දමනවා කියාත් ඔවුන් සිතනවා. කෙසේවෙතත් විනිශ්චය දවස ගැන බයිබලයේ ඉදිරිපත් කරන අදහස් ඊට හාත්පසින්ම වෙනස්. ඒවා දැන් අපි සලකා බලමු.
එළිදරව් 20:11, 12හි මෙසේ සඳහන් වෙනවා. “මම සුදු පැහැති මහත් සිංහාසනයක්ද ඒ මත ඉඳගෙන සිටි තැනැත්තාවද දුටුවෙමි. ඔහු ඉදිරියෙහි තිබූ අහසත් පොළොවත් පලා ගියේය. ඒවාට කිසි තැනක් සොයාගත නොහැකි විය. ඉන්පසුව මිය ගිය සියලු තරාතිරම්වල අය සිංහාසනය ඉදිරියෙහි සිටගෙන සිටින ආකාරය දැකගැනීමට මට හැකි විය. ඒ අවස්ථාවේදී අකුළා තිබුණු ලියවිලි දිගහරින ලදි. දිගහරිනු ලැබූ තවත් ලියවිල්ලක් වූයේ ජීවන ලියවිල්ලය. මිය ගොස් සිටි අයව ඒ ලියවිලිවල සටහන් කර තිබූ දේවලට අනුවද ඔවුන්ගේ ක්‍රියාවලට අනුවද විනිශ්චය කරනු ලැබීය.” එහි සඳහන් විනිශ්චයකරු කවුද?
මිනිස් වර්ගයාගේ ප්‍රධානතම විනිශ්චයකරු වන්නේ යෙහෝවා දෙවියි. නමුත් ඔහු විනිශ්චය කිරීමේ කාර්යය වෙනත් කෙනෙකුට පවරා තිබෙනවා. ඒ ගැන පාවුල් ක්‍රියා 17:31හි මෙසේ පවසනවා. ‘ධර්මිෂ්ඨ ලෙස මුළු මිනිස් වර්ගයාම විනිශ්චය කිරීමට දෙවි එක්තරා දවසක් නියම කර තිබේ. ඒ විනිශ්චය සිදු කරන්නේ ඔහු විසින්ම පත් කර ඇති මිනිසෙකු විසිනුයි.’ ඒ විනිශ්චයකරු වන්නේ කලින් මිනිසෙකුව සිටි නැවත නැඟිටුවන ලද යේසුස් ක්‍රිස්තුස්. (යොහන් 5:22) ඒ විනිශ්චය දවස පටන්ගන්නේ කවදාද? කොතරම් කාලයක් පුරා එය පවතිනවාද?
එළිදරව් පොතේ පවසන ආකාරයට විනිශ්චය දවස පටන්ගන්නේ හර්–මගෙදොන් නමැති යුද්ධයෙන් පසුවයි. එම යුද්ධයේදී සාතන්ගේ පාලනය යටතේ පවතින සෑම දෙයක්ම විනාශ කරනු ලබනවා. a (එළිදරව් 16:14, 16; 19:19–20:3) යුද්ධයෙන් පසු සාතන්වත් ඔහුගේ භූතයන්වත් අවුරුදු දහසකට අගාධයක සිරගත කරනු ලබනවා. ඒ කාලය අතරතුරේදී 1,44,000දෙනා විනිශ්චයකරුවන් ලෙස කටයුතු කරමින්, ‘ක්‍රිස්තුස් සමඟ අවුරුදු දහසක් රජකම් කරනවා.’ (එළිදරව් 14:1-3; 20:1-4; රෝම 8:17) එම තොරතුරුවලින් පැහැදිලි වන්නේ විනිශ්චය දවස පැය 24ක දවසක් විය නොහැකි බවයි. ඇත්තෙන්ම එය අවුරුදු දහසක් පුරා පවතිනවා.
අවුරුදු දහස අතරතුර යේසුස් ක්‍රිස්තුස්, “ජීවත් වන අයවද මිය ගොස් ඇති අයවද විනිශ්චය කිරීමට නියමිත” බව බයිබලයේ සඳහන් වෙනවා. (2 තිමෝති 4:1) “ජීවත් වන අය” ලෙස එහි හඳුන්වා තිබෙන්නේ හර්–මගෙදොන් යුද්ධයෙන් බේරී ජීවත් වන ‘මහත් සමූහයවයි.’ (එළිදරව් 7:9-17) එමෙන්ම “මිය ගිය සියලු තරාතිරම්වල අය සිංහාසනය ඉදිරියෙහි සිටගෙන සිටින ආකාරය” දර්ශනයක් මගින් යොහන් දුටු බවත් ඔබට මතක ඇති. ඔවුන් යේසුස්ගේ හඬ අසා නැවත නැඟිටින අයයි. (යොහන් 5:28, 29; ක්‍රියා 24:15) ඔවුන් සියලුදෙනාවම විනිශ්චය කරනු ලබන්නේ කුමක් පදනම් කරගෙනද?
යොහන් දුටු දර්ශනයට අනුව, ‘අකුළා තිබුණු ලියවිලි දිගහරිනු ලැබූ’ අතර “මිය ගොස් සිටි අයව ඒ ලියවිලිවල සටහන් කර තිබූ දේවලට අනුවද ඔවුන්ගේ ක්‍රියාවලට අනුවද විනිශ්චය කරනු” ලබනවා. (එළිදරව් 20:12) එහි සඳහන් ලියවිලි මිනිසුන්ගේ අතීත ක්‍රියාවන් ඇතුළත් වාර්තාවක් නොවෙයි. මන්ද ඔවුන්ව විනිශ්චය කරන්නේ ඔවුන් මිය යන්න කලින් කළ දේවල් අනුව නොවෙයි. ඒ බව මෙම පදයෙන් පැහැදිලියි. “මිය ගිය පුද්ගලයා තම පාපයෙන් නිදහස් වී” සිටිනවා. (රෝම 6:7) ඒ අනුව නැවත නැඟිටුවනු ලබන අය කලින් කළ පාප තවදුරටත් සිහි කරනු ලබන්නේ නැහැ. එසේනම් එළිදරව් පොතේ සඳහන් ලියවිලිවලින් අදහස් කරන්නේ දෙවි ඉදිරියේදී අපෙන් බලාපොරොත්තු වන දේවල් ඇතුළත් වාර්තාවක්. හර්–මගෙදොන් යුද්ධයෙන් බේරෙන අය හා නැවත නැඟිටින අය සදාකල් ජීවත් වීමට නම් දෙවි ඔවුන්ගෙන් බලාපොරොත්තු වන ඒ දේවලට ඔවුන් කීකරු විය යුතුයි. දහස් අවුරුදු පාලනයේදී යෙහෝවා දෙවි දෙන තවත් අලුත් ආඥාද ඊට ඇතුළත් විය හැකියි. ඒ අනුව පුද්ගලයන්ව විනිශ්චය කරනු ලබන්නේ විනිශ්චය දවස ඇතුළතදී ඔවුන් කරන දේවලට අනුවයි.
දෙවිගේ කැමැත්ත ගැන ඉගෙනගැනීමටත් ඒ අනුව තම ජීවිතය හැඩගස්වා ගැනීමටත් බිලියන ගණනකට මුල් වරට අවස්ථාව ලැබෙන්නේ විනිශ්චය දවසේදීයි. දෙවිගේ කැමැත්ත ගැන ඔවුන්ව දැනුවත් කිරීමට විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙයි. ඒ කාලයේදී ‘පොළොවේ වැසියෝ ධර්මිෂ්ඨකම කුමක්ද කියා තේරුම්ගන්නවා’ කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි. (යෙසායා 26:9) නමුත් දෙවිගේ කැමැත්තට එකඟව තම ජීවිත හැඩගස්වා ගැනීමට සියලුදෙනාම කැමති වන්නේ නැහැ. මන්ද යෙසායා 26:10හි මෙසේ පවසා තිබෙනවා. “දුෂ්ටයාට කොතරම් කරුණාව දැක්වුවත් ඔහු කිසිදා ධර්මිෂ්ඨකම ඉගෙනගන්නේ නැත. ප්‍රතිපත්තිගරුක අය වෙසෙන දේශයේදී පවා ඔහු අයුතු ලෙස කටයුතු කරන නිසා යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය දකින්න ඔහුට නොහැකිය.” ඒ නිසා ඒ කාලය අතරතුරේදී ඔවුන්ව සදහටම විනාශ කර දමනවා.—යෙසායා 65:20.
විනිශ්චය දවස අවසන් වන තුරු ජීවත් වන අය දෙවි මුලින්ම අරමුණු කළ ලෙස පරිපූර්ණ මිනිසුන් බවට පත් වෙනවා. (1 කොරින්ති 15:24-28) දෙවි ඔවුන්ව “ජීවමාන” අය ලෙස සලකන්නේ ඉන්පසුවයි. (එළිදරව් 20:5) ඒ සෑම දෙයකින් පසු සාතන්ව කෙටි කාලයකට මුදාහරිනු ලබනවා. එවිට තම විශ්වාසවන්තකම දෙවිට ඔප්පු කර පෙන්වීමට ඒ පරිපූර්ණ මිනිසුන්ට අවස්ථාව ලැබෙනවා. (එළිදරව් 20:3, 7-10) දෙවිට විශ්වාසවන්තව සිටිමින් සාතන්ට විරුද්ධ වන අය මෙම පොරොන්දුවේ ඉටු වීම අද්දකිනවා. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.” (ගීතාවලිය 37:29) ඒ අනුව විනිශ්චය දවස යනු දෙවිට විශ්වාසවන්තව සිටින අය මහත් ආශීර්වාද භුක්ති විඳින කාලයක්!
a වැඩි විස්තර සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් පළ කරන ලද Insight on the Scriptures නමැති පොතේ පළමුවෙනි වෙළුමේ 594-595 දක්වා පිටුද 1037-1038 දක්වා පිටුද ‘සෝදිසියෙන් සිටින්න’ නමැති සඟරාවේ 12-19 දක්වා පිටුද බලන්න.