යෙහෝවා තම සංවිධානයට මඟ පෙන්වන්නේ කෙසේද?
දහහතරවන පරිච්ඡේදය
යෙහෝවා තම සංවිධානයට මඟ පෙන්වන්නේ කෙසේද?
1. බයිබලය හෙළි කරන්නේ යෙහෝවාගේ සංවිධානය පිළිබඳ කවර තොරතුරුද? එය අපට වැදගත් වන්නේ මන්ද?
දෙවිට සංවිධානයක් තිබේද? ඔහුගේම ආනුභාවයෙන් ලිවූ බයිබලය පවසන්නේ ඔහුට සංවිධානයක් තිබෙන බවය. එම සංවිධානයේ ගරුබිය දනවන ස්වර්ගීය කොටස ගැන යම් හෝඩුවාවක් ඔහුගේ වචනයෙන් අපට ලබා දෙයි. (එසකියෙල් 1:1, 4-14; දානියෙල් 7:9, 10, 13, 14) එම අදෘශ්‍යමාන කොටස දැකගැනීමට අපට නොහැකි වුවත්, අද සිටින සැබෑ නමස්කාරකයින්ට එය ප්‍රබල බලපෑමක් කරයි. (2 රාජාවලිය 6:15-17) යෙහෝවාගේ සංවිධානයට දෘශ්‍යමාන කොටසකුත් තිබේ. එය තිබෙන්නේ මේ පොළොවෙහිය. එම සංවිධානය කුමක්ද කියාත් යෙහෝවා එයට මඟ පෙන්වන්නේ කෙසේද කියාත් තේරුම්ගැනීමට බයිබලය අපට උපකාර කරයි.
දෘශ්‍යමාන කොටස හඳුනාගැනීම
2. දෙවි විසින් ඇති කළ අලුත් සභාව කුමක්ද?
2 අවුරුදු 1,545ක් පුරා දෙවිගේ සභාව වූයේ ඉශ්රායෙල් ජාතියයි. (ක්‍රියා 7:38) එහෙත්, ඉශ්රායෙල් ජාතිය දෙවිගේ නීති රැකීමට අසමත් වූ අතර, ඔහුගේ පුත්‍රයාව ප්‍රතික්ෂේප කළේය. ප්‍රතිඵලයක් හැටියට, යෙහෝවා එම සභාව ප්‍රතික්ෂේප කළ අතර, එය අත්හැර දැමුවේය. යේසුස් යුදෙව්වන්ට මෙසේ කීවේය. “බලන්න! ඔබේ ගෘහය ඔබට අත්හරිනු ලැබේ.” (මතෙව් 23:38, NW) ඉන්පසු දෙවි අලුත් සභාවක් ඇති කළේය. එය සමඟ අලුත් ගිවිසුමක්ද පිහිටුවාගත්තේය. මේ සභාව දෙවි විසින් තෝරගත් 1,44,000දෙනෙකුගෙන් සමන්විත වනු ඇති අතර, දෙවිගේ පුත්‍රයා සමඟ හවුලේ සේවය කිරීම සඳහා ඔවුන්ව ස්වර්ගයට ගනු ලැබේ.—එළිදරව් 14:1-4.
3. පොදු යුගයේ 33 පෙන්තකොස්තයේ සිට දෙවි අලුත් සභාවක් යොදාගන්නා බවට පැහැදිලි සාක්ෂියක් සපයමින් එදිනේදී සිදු වූයේ කුමක්ද?
3 අලුත් සභාවේ මුල්ම සාමාජිකයන්ව පො.යු. 33 පෙන්තකොස්ත දවසේදී යෙහෝවාගේ ශුද්ධාත්මය මගින් ආලේප කරනු ලැබීය. එම සුවිශේෂී අවස්ථාව ගැන අපට මෙසේ කියවීමට තිබේ. “පෙන්තකොස්ත මංගල්‍ය දවස අතරතුරේදී ඔවුහු සියල්ලෝම එක තැනක රැස්ව සිටියෝය. තද සුළඟක් හමන්නාක් වැනි හඬක් ස්වර්ගයෙන් හදිසියෙන්ම පැමිණ, ඔවුන් හිඳගෙන සිටි නිවස මුළුමනින්ම එයින් පිරී ගියේය. එවිට ගිනි දළු වැනි දිව් ඔවුන්ට පෙනුණු අතර, ඒවා බෙදී ගොස් එකිනෙකා මත රැඳුණේය. එවිට ඒ සියලුදෙනාම ශුද්ධාත්මයෙන් පූර්ණ [වූහ].” (ක්‍රියා 2:1-4, NW) මෙසේ, ස්වර්ගයේ සිටින යේසුස් ක්‍රිස්තුස්ගේ මඟ පෙන්වීම යටතේ දෙවි තම අරමුණ ඉටු කරගැනීමට එතැන් සිට යොදාගන්නා කණ්ඩායම මොවුන් බව දෙවිගේ ආත්මය පැහැදිලි ලෙස සාක්ෂි දුන්නේය.
4. අදදින යෙහෝවාගේ දෘශ්‍යමාන සංවිධානය සකස් කර තිබෙන්නේ කාගෙන්ද?
4 අදදින, 1,44,000දෙනාගෙන් මේ පොළොව මත සිටින්නේ සුළු පිරිසක් පමණය. එහෙත්, බයිබල් අනාවැකිවල ඉටුවීමක් හැටියට, ‘වෙනත් බැටළුවන්ගෙන්’ යුත් “මහත් සමූහයක්” එනම් දශලක්ෂ ගණනක්, ආලේප ලත් ඉතිරි කොටස සමඟ ඇසුරු කිරීම සඳහා එක්රැස් කර තිබේ. යහපත් එඬේරා වන යේසුස්, එක එඬේරෙකු යටතේ සිටින එක රැළක් බවට පත් කිරීම සඳහා වෙනත් බැටළුවන් හා ඉතිරි කොටස යන දෙකොටසම එක්සත් කර තිබේ. (යොහන් 10:11, 16; එළිදරව් 7:9) මේ දෙකොටසෙන්, එක එක්සත් සභාවක් නැතහොත් යෙහෝවාගේ දෘශ්‍යමාන සංවිධානය සකස් කර තිබේ.
දිව්‍යාණ්ඩු සැලැස්මක්
5. දෙවිගේ සංවිධානයට මඟ පෙන්වන්නේ කවුද? ඒ කෙසේද?
5 “ජීවමාන දෙවිගේ සභාව” යන ශුද්ධ ලියවිලිමය කියමනෙන්ම ඊට මඟ පෙන්වීම සපයන්නේ කවුදැයි යන්නට සාක්ෂි දෙයි. මේ සංවිධානය දිව්‍යාණ්ඩු එකකි. එනම් දෙවි විසින් පාලනය කරන එකකි. සභාවේ අදෘශ්‍යමාන නායකයා ලෙස පත් කර ඇති යේසුස් තුළින් හා දෙවිගේම ආනුභාවයෙන් දුන් බයිබලය මගින් යෙහෝවා තම සෙනඟට මඟ පෙන්වයි.—1 තිමෝති 3:14, 15; එපීස 1:22, 23; 2 තිමෝති 3:16.
6. (අ) මුල් සියවසේදී, සභාව කෙරෙහි වූ ස්වර්ගීය මඟ පෙන්වීම ප්‍රකාශ වූයේ කෙසේද? (ආ) යේසුස් තවමත් සභාවේ හිස බව කුමකින් පෙන්වයිද?
6 එවැනි ආකාරයේ මඟ පෙන්වීමක් පෙන්තකොස්ත දවසේදී ඉතා පැහැදිලිව දැකගත හැකි විය. (ක්‍රියා 2:14-18, 32, 33) යෙහෝවාගේ දූතයා අප්‍රිකාවට ශුභාරංචිය පැතිරවීම සඳහා මඟ පෙන්වීම දුන් විටදීද, තාර්සස්හි සාවුල්ව හරවාගැනීමට යේසුස්ගේ හඬ මඟ පෙන්වූ අවස්ථාවේදීද, පේතෘස් අන්‍යජාතීන් අතරේ දේශනා කිරීම ආරම්භ කළ විටදීද, එම මඟ පෙන්වීම ප්රත්යක්ෂ විය. (ක්‍රියා 8:26, 27; 9:3-7; 10:9-16, 19-22) එහෙත්, කාලයාගේ ඇවෑමෙන් ස්වර්ගයේ සිට පැමිණෙන හඬ, දේවදූතයන් පෙනී සිටීම හා ශුද්ධාත්මයෙන් ආශ්චර්යයන් කිරීම ක්‍රමානුකූලව නැවතුණි. එහෙත්, යේසුස් මෙසේ පොරොන්දු විය. “බලන්න! පවතින ක්රමයේ අවසාන කාලපරිච්ඡේදය දක්වා මම ඔබ සමඟ සැමදා සිටිමි.” (මතෙව් 28:20, NW; 1 කොරින්ති 13:8) අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ යේසුස්ගේ මඟ පෙන්වීම පිළිගනිති. එසේ නොකර, දරුණු විරෝධතා හමුවේ රාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීම කළ හැකි කටයුත්තක් නොවේ.
7. (අ) “විශ්වාස වූ නුවණ ඇති දාසයා” සැකසෙන්නේ කවරෙකුගෙන්ද? ඒ මන්ද? (ආ) ‘දාසයාට’ දෙනු ලැබූ පැවරුම කුමක්ද?
7 තම මරණයට ටික කලකට පෙර, යේසුස් තම ගෝලයන් අමතමින්, තමා ස්වාමියා හැටියට විශේෂ වගකීමක් පවරන “විශ්වාස වූ නුවණ ඇති දාසයා” ගැන කීවේය. එම “දාසයා” ස්වාමියා ස්වර්ගයට ගිය විට මේ පොළොවේ සිටිනු ඇති අතර, රාජ්‍ය බලයෙන් යුතුව ක්‍රිස්තුස් අදෘශ්‍යමානව නැවත පැමිණෙන විටද වෙහෙසී වැඩ කරමින් සිටිනු ඇත. එවන් විස්තරයක් තනි පුද්ගලයෙකුට නොගැළපෙන අතර, එය ගැළපෙන්නේ ක්‍රිස්තුස්ගේ ආලේප ලත් සභාවටය. තම රුධිරයෙන් මිල දී ගත් එය යේසුස් හඳුන්වන්නේ ඔහුගේ “දාසයා” හැටියටයි. යේසුස් එහි සාමාජිකයන්ට පැවරුවේ ගෝලයන් සෑදීමටත්, ඔවුන්ව ක්‍රමානුකූලව පෝෂණය කිරීම සඳහා ‘නියම වේලාවට [ආත්මික] ආහාර දීමටත්ය.’—මතෙව් 24:45-47; 28:19; යෙසායා 43:10; ලූක් 12:42; 1 පේතෘස් 4:10.
8. (අ) දාස පන්තියට දැන් තිබෙන වගකීම් කවරේද? (ආ) දෙවිගේ මාධ්‍යය තුළින් සපයන උපදෙස්වලට අප දක්වන ප්‍රතිචාරය වැදගත් වන්නේ මන්ද?
8 වර්ෂ 1914දී, ස්වාමියා අදෘශ්‍යමානව නැවත පැමිණි විට, දාස පන්තිය පක්ෂපාත ලෙස ස්වාමියාගේ වැඩයේ යෙදී සිටි නිසා, 1919දී වඩා පුළුල් වගකීමක් ඔහු කරපිට තැබූ බවට සාක්ෂි තිබේ. එතැන් සිට ඉදිරියට පැතුරුණු අවුරුදු ලෝක ව්‍යාප්තව සාක්ෂි දැරීමේ කාලයක් බවට පත් වී ඇති අතර, මහත් පීඩාවෙන් ගැළවීමේ අපේක්ෂාව ඇති යෙහෝවාගේ නමස්කාරකයින්ගේ මහත් සමූහයක්ද එක්රැස් කරනු ලැබේ. (මතෙව් 24:14, 21, 22; එළිදරව් 7:9, 10) ඔවුන්ටද ආත්මික ආහාර අවශ්‍යය. ඒවා සපයන්නේ දාස පංතිය මගිනි. එමනිසා, යෙහෝවාව සතුටු කිරීමට අපට ඕනෑ නම්, ඔහු තම මාධ්‍යය තුළින් සපයන උපදෙස් පිළිගෙන, ඊට එකඟව ජීවත් විය යුතුය.
9, 10. (අ) මුල් සියවසේදී, ඉගැන්වීම් පිළිබඳ ගැටලු නිරාකරණය කරගැනීමට හා ශුභාරංචිය දේශනා කිරීම සඳහා මඟ පෙන්වීම් ලබාගැනීමට තිබූ විධිවිධානය කුමක් වීද? (ආ) යෙහෝවාගේ සෙනඟගේ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණ කිරීම සඳහා අදදින පවතින විධිවිධානය කුමක්ද?
9 ඇතැම් අවස්ථාවලදී, මූලික ඉගැන්වීම් හා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටයන් සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වේ. එවිට කුමක් කළ යුතුද? අන්‍යජාතීන්ගෙන් ක්‍රිස්තියානි ධර්මයට හැරුණාවූ අය ගැන ඇති වූ ගැටලුවක් නිරාකරණය කරගත් ආකාරය ගැන ක්‍රියා 15වන පරිච්ඡේදය අපට කියයි. කාරණය එවකට මධ්‍යම පාලක මණ්ඩලය ලෙස කටයුතු කළ යෙරුසලමේ සිටි ප්‍රේරිතයන්ටත් වැඩිමහල්ලන් වෙතටත් යොමු කරන ලදි. මෙම පුරුෂයන් නොවරදිනසුලු අය නොවුවත්, දෙවි ඔවුන්ව යොදා ගත්තේය. ඒ විෂයට අදාළ ශුද්ධ ලියවිලි හා අන්‍යජාතික ක්ෂේත්රයේ වැඩ ආරම්භ කිරීමට දෙවිගේ ආත්මය ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ සාක්ෂිද ඔවුහු සලකා බැලූහ. ඉන්පසු තීරණයක් දුන්නෝය. දෙවි ඒ විධිවිධානයට ආශීර්වාද කළේය. (ක්‍රියා 15:1-29; 16:4, 5) එම පාලක මණ්ඩලය විසින් රාජ්‍යය දේශනා වැඩය ප්‍රචලිත කිරීම සඳහා පුද්ගලයන්ව යවන ලදි.
10 අපේ දවසේදීද, යෙහෝවාගේ දෘශ්‍යමාන සංවිධානයේ පාලක මණ්ඩලය සැකසී තිබෙන්නේ, විවිධ ජාතිවලට අයත් ආත්මයෙන් ආලේප ලත් සහෝදරයන්ගෙනි. මෙම පාලක මණ්ඩලය සිටින්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේය. මේ පාලක මණ්ඩලය දසදහස් ගණන් සභාවල සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ දේශනා කර්තව්‍යය සම්බන්ධීකරණය කරමින්, යේසුස් ක්‍රිස්තුස්ගේ මූලිකත්වය යටතේ ලෝකයේ සෑම රටකම නිර්මල නමස්කාරය පැතිරවීමේ කාර්යයෙහි යෙදී සිටිති. පාලක මණ්ඩලයේ සිටින අය සෙසු ක්‍රිස්තියානීන්ට ලියූ ප්‍රේරිත පාවුල්ගේ හැඟීම ඇතුව ක්‍රියා කරති. “නුඹලාගේ ඇදහිල්ල කෙරෙහි අපි බලය පවත්වනවා නොව නුඹලාගේ ප්‍රීතියට ආධාරකාරයෝව සිටිමුව. මක්නිසාද නුඹලා පිහිටා සිටින්නේ [නුඹලාගේ, NW] ඇදහිල්ල කරණකොටගෙනය.”—2 කොරින්ති 1:24.
11. (අ) වැඩිමහල්ලන්ව හා සභා සේවකයන්ව පත් කරන්නේ කෙසේද? (ආ) පත් කරන ලද අය සමඟ අප සමීපව වැඩ කළ යුත්තේ මන්ද?
11 සභාවන් රැකබලා ගන්නා වැඩිමහල්ලන් හා සභා සේවකයන්ව පත් කරන, සුදුසුකම් ඇති සහෝදරයන්ව පත් කරන්නේ පාලක මණ්ඩලයයි. ලොව පුරාම සිටින යෙහෝවාගේ සාක්ෂිකරුවෝ ඊට සහයෝගය දෙති. එසේ පත් කරන අයට තිබිය යුතු සුදුසුකම් බයිබලයේ සඳහන් වන අතර, සුදුසුකම් ලබන අය පරිපූර්ණ අය නොවන බවටත්, ඔවුන් අතින් වැරදි සිදු වන බවටත් වූ කාරණය මෙහිදී සැලකිල්ලට ගනු ලැබේ. ඔවුන්ව නිර්දේශ කරන වැඩිමහල්ලෝ හා පත් කිරීම සිදු කරන අය දෙවි ඉදිරියේ බැරෑරුම් වගකීමක් උසුලති. (1 තිමෝති 3:1-10, 12, 13; තීතස් 1:5-9) මේ සඳහා, ඔවුහු දෙවිගේ ආත්මයේ උපකාරය ඉල්ලා යාච්ඤා කරන අතර, මඟ පෙන්වීම සඳහා දේවානුභාවය ලත් වචනය වෙත යොමු වෙති. (ක්‍රියා 6:2-4, 6; 14:23) “ඇදහිල්ලේ එක්සත්කම” අත් කරගැනීමට අත දෙන්නාවූ දෙවි ‘තෑගි වශයෙන් දුන් මේ මනුෂ්‍යයන්ට’ අපේ අගය පෙන්වමු.—එපීස 4:8, 11-16, NW.
12. යෙහෝවා ස්ත්‍රීන්ව දිව්‍යාණ්ඩු විධිවිධානය තුළ පාවිච්චි කරන්නේ කෙසේද?
12 සභාවේ අධීක්ෂණ කටයුතු මෙහෙයවිය යුත්තේ පුරුෂයන් විසින් බව ශුද්ධ ලියවිල්ල කියයි. මෙය ස්ත්‍රීන්ව පහත් කර සැලකීමක් නොවෙයි. ඔවුන්ගෙන් සමහරෙක් ස්වර්ග රාජ්‍යයේ උරුමක්කාරයන් වෙති. එමෙන්ම, දේශනා වැඩයේ වැඩි වශයෙන් සහභාගිද වෙති. (ගීතාවලිය 68:11) ස්ත්‍රීහු තමන්ගේ පවුල්වල වගකීම් විශ්වාසවන්ත ලෙස බලාකියා ගැනීම මගින්ද සභාවේ කීර්ති නාමයට දායක වෙති. (තීතස් 2:3-5) එහෙත්, සභාව තුළ ඉගැන්වීමේ කටයුතු බලාකියා ගැනීමේ කාර්යය පවරා ඇත්තේ, ඒ සඳහා පත් කර ඇති පුරුෂයන්ටය.—1 තිමෝති 2:12, 13.
13. (අ) බයිබලය වැඩිමහල්ලන්ට උපදෙස් දෙන්නේ තමන්ගේ තත්වය සම්බන්ධයෙන් කෙසේ සිතීමටද? (ආ) අප සියලුදෙනාටම හවුල් විය හැකි වරප්‍රසාදය කුමක්ද?
13 ලෝකයේ නම්, කෙනෙකු යම් තැනක ප්රමුඛත්වයක් උසුලයි නම්, ඔහු වැදගතෙකැයි සැලකේ. එහෙත්, දෙවිගේ සංවිධානයේ ක්‍රියාත්මක වන පිළිගත් නීතිය නම්, “සියල්ලන් අතරේ සුළු තැනැත්තෙකු මෙන් හැසිරෙන්නා උතුම් තැනැත්තෙක් වන්නේය” යන්නයි. (ලූක් 9:46-48, NW; 22:24-26) දෙවිගේ උරුමය හැටියට සලකන අය කෙරෙහි අධිපතිකම් නොකිරීමට වගබලා ගන්නා ලෙස බයිබලය වැඩිමහල්ලන්ට උපදෙස් දෙයි. ඒ වෙනුවට, රැළට ආදර්ශයක් වන ලෙස ඉල්ලා සිටියි. (1 පේතෘස් 5:2, 3) යෙහෝවාගේ නාමයෙන් කතා කිරීමේ හා ඔහුගේ රාජ්‍යය ගැන සෑම තැනකම සිටින ජනයාට දැනුම් දෙමින් විශ්වනීය පරමාධිපතිව නියෝජනය කිරීමේ වරප්‍රසාදය තිබෙන්නේ තෝරාගත් සුළු පිරිසකට නොව, ස්ත්‍රී පුරුෂ සියල්ලන්ටමය.
14. සඳහන් කර ඇති බයිබල් පද යොදාගෙන, ඡේදය අවසානයේ තිබෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න.
14 අපි අපෙන්ම මෙසේ අසාගත යුත්තෙමු. ‘යෙහෝවා ඔහුගේ දෘශ්‍යමාන සංවිධානයට මඟ පෙන්වන ආකාරය ගැන මම ඇත්තටම කෘතඥපූර්වක වෙනවාද? මගේ ආකල්ප, කතාව හා ක්‍රියාව ඒ බව පිළිබිඹු කරනවාද?’ එවැනි තක්සේරුවක් කිරීමට පහත සඳහන් කාරණා මෙනෙහි කිරීම අපට උපකාරයක් වනු ඇත.
සභාවේ හිස හැටියට මම සැබෑවටම ක්‍රිස්තුස්ට යටත් වෙනවා නම්, පහත දක්වා ඇති බයිබල් පදවලට එකඟව මම කරමින් සිටිනු ඇත්තේ කුමක්ද? (මතෙව් 24:14; 28:19, 20; යොහන් 13:34, 35)
දාස පංතිය හා එහි පාලක මණ්ඩලය හරහා පැමිණෙන ආත්මික සැපයුම් මම ස්තුතිපූර්වකව පිළිගනිද්දී, මම ඒ සඳහා ගෞරවය පෙන්වන්නේ කාටද? (ලූක් 10:16)
සභාවේ සිටින සියලුදෙනාම, විශේෂයෙන්ම වැඩිමහල්ලන් එකිනෙකා සමඟ කටයුතු කළ යුත්තේ කෙසේද? (රෝම 12:10)
15. (අ) යෙහෝවාගේ දෘශ්‍යමාන සංවිධානය පිළිබඳ අප පෙන්වන ආකල්පයෙන් කියා පාන්නේ කුමක්ද? (ආ) සාතන් බොරුකාරයෙකු බව ඔප්පු කිරීමටත් එමගින් යෙහෝවාගේ හද සතුටු කිරීමටත් හැකි ප්‍රස්තාවන් කවරේද?
15 යෙහෝවා ක්‍රිස්තුස් යටතේ තිබෙන ඔහුගේ දෘශ්‍යමාන සංවිධානය මාර්ගයෙන් අද අපට මඟ පෙන්වයි. මේ විධිවිධානය කෙරෙහි අප දක්වන ආකල්පයෙන් විදහාපාන්නේ, පරමාධිපත්‍යය පිළිබඳ ප්රශ්නය ගැන අපට හැඟෙන ආකාරයයි. (හෙබ්‍රෙව් 13:17) සාතන් තරයේ කියා සිටින්නේ අප ආත්මාර්ථකාමීව සිතන්නේ අප ගැනම පමණයි කියාය. එහෙත්, අප අවශ්‍ය ඕනෑම තත්වයක් යටතේ දෙවිට සේවය කිරීමට පසුබට නොවෙමින් හා අපට අනවශ්‍ය අවධානය ඇදගැනීමෙන් වැළකෙමින් කටයුතු කරනවා නම්, සාතන් බොරුකාරයෙකු බව අපි ඔප්පු කරන්නෙමු. අප අතරේ මූලිකත්වය ගෙන කටයුතු කරන අයට ප්‍රේමයෙන් හා ගෞරවයෙන් සලකනවා නම්, එමෙන්ම, ‘අපේම වාසිය තකා අනුන්ට චාටු ලෙස ප්‍රශංසා’ නොකර සිටිනවා නම්, අපි යෙහෝවාට සතුට ගෙනෙන ආකාරයෙන් කටයුතු කරන්නෙමු. (යූද් 16, න. අ.; හෙබ්‍රෙව් 13:7) යෙහෝවාගේ සංවිධානයට පක්ෂපාත වීමෙන් යෙහෝවා අපේ දෙවි බවත්, ඔහුගේ නමස්කාරයේ අප එක්සත් බවත් අපි පෙන්වන්නෙමු.—1 කොරින්ති 15:58.
පුනරීක්ෂණ සාකච්ඡාව
• අදදින යෙහෝවාගේ දෘශ්‍යමාන සංවිධානය කුමක්ද? එහි අරමුණ කුමක්ද?
• සභාවේ පත් කර ඇති හිස කවුද? අපට අවශ්‍ය ප්‍රේමනීය මඟ පෙන්වීම ඔහු සපයන්නේ කිනම් දෘශ්‍යමාන විධිවිධානය මාර්ගයෙන්ද?
• යෙහෝවාගේ සංවිධානයේ සිටින අය සම්බන්ධයෙන් අප වගා කරගත යුතු හිතකර ආකල්ප මොනවාද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[133වන පිටුවේ පින්තූර]
යෙහෝවා ක්‍රිස්තුස් යටතේ තිබෙන ඔහුගේ දෘශ්‍යමාන සංවිධානය මාර්ගයෙන් අද අපට මඟ පෙන්වයි