Skip to content

පටුනට යන්න

ඔබේ බව්තීස්මයේ අර්ථය

ඔබේ බව්තීස්මයේ අර්ථය

දොළොස්වන පරිච්ඡේදය

ඔබේ බව්තීස්මයේ අර්ථය

1. වතුර බව්තීස්මය අප සෑම කෙනෙකුටම පෞද්ගලික වැදගත්කමකින් යුක්ත වන්නේ මන්ද?

 යොර්දාන් ගඟේදී යොහන් බව්තීස්ත විසින් පො.යු. 29දී යේසුස්ව බව්තීස්ම කරනු ලැබීය. එවිට යෙහෝවාම ඒ දෙස බලමින් ඔහුගේ අනුමැතිය පළ කළේය. (මතෙව් 3:16, 17) මෙසේ, යේසුස් එමගින් ඇති කළේ සිය අනුගාමිකයන් විසින් අනුගමනය කරනු ඇති රටාවකි. අවුරුදු තුනහමාරකට පසුව, ඔහු තම ගෝලයන්ට මේ උපදෙස් දුන්නේය. “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ. එබැවින් ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. පියාණන්ගේත් පුත්‍රයාගේත් ශුද්ධාත්මයෙත් නාමයෙන් ඔවුන්ව බව්තීස්ම කරන්න.” (මතෙව් 28:18, 19, NW) ඔබ බව්තීස්ම වී සිටින්නේ යේසුස් ඉහත සඳහන් කළ ආඥාවට එකඟවද? එසේ නැතිනම්, එසේ කිරීමට ඔබ සූදානම් වෙමින් සිටිනවාද?

2. බව්තීස්මයට අදාළව උත්තර ලබාගත යුතු ප්‍රශ්න මොනවාද?

2 අප බව්තීස්මව සිටියත් නැතත්, යෙහෝවාට සේවය කිරීමට කැමති හා ඔහුගේ ධර්මිෂ්ඨ නව ලෝකයේ ජීවත් වෙන්ට කැමති සෑම කෙනෙකු විසින්ම බව්තීස්මය ගැන පැහැදිලි අවබෝධයක් ලබාගැනීම අත්‍යවශ්‍යය. උත්තර ලබාගත යුතු ප්‍රශ්න මේවාය. වර්තමානයේ කෙරෙන ක්‍රිස්තියානි බව්තීස්මයෙන්, යේසුස්ගේ බව්තීස්මයෙන් අදහස් කළ දේම අර්ථවත් වේද? “පියාණන්ගේත් පුත්‍රයාගේත් ශුද්ධාත්මයෙත් නාමයට” බව්තීස්ම වීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? ක්‍රිස්තියානි වතුර බව්තීස්මයෙන් අර්ථවත් වන දෙයට එකඟව ජීවත් වීමට අයත් වන්නේ මොනවාද?

යොහන් විසින් කළ බව්තීස්මයන්

3. යොහන්ගේ බව්තීස්මය සීමා වූයේ කාටද?

3 යේසුස්ගේ බව්තීස්මයට මාස හයකට පමණ පෙර, යොහන් බව්තීස්ත යුදයේ පාළුකරයේ දේශනා කරමින් මෙසේ කීවේය. “පසුතැවිලි වෙන්න. මක්නිසාද ස්වර්ග රාජ්‍යය ළඟය.” (මතෙව් 3:1, 2) ජනයා යොහන් කී දෙයට ඇහුම්කන් දී එය සිතට ගත්තෝය. ඔවුහු අවංකව තම තමන්ගේ පාප ගැන පසුතැවිලි වී, පසුව යොහන්ගෙන් බව්තීස්ම වීම සඳහා යොර්දාන් ගඟ ළඟට පැමිණියෝය. එම බව්තීස්මය යුදෙව්වන් සඳහා විය.—ලූක් 1:13-16; ක්‍රියා 13:23, 24.

4. මුල් සියවසේ සිටි යුදෙව්වන්ගේ පසුතැවිලි වීම හදිසි කාරණයක් වූයේ මන්ද?

4 පසුතැවිලි වීම එම යුදෙව්වන්ට හදිසි කාරණයක් විය. පොදු යුගයට පෙර 1513දී, ඔවුන්ගේ මුතුන්මිත්තෝ සීනයි කඳු පාමුලදී ජාතික ගිවිසුමකට ඇතුල් වූහ. එය යෙහෝවා දෙවි සමඟ කළ විධිමත් හා බැරෑරුම් ගිවිසුමක් විය. එහෙත්, ඔවුන්ගේ බරපතළ පාප නිසාවෙන් ඔවුහු එම ගිවිසුම යටතේ වූ වගකීම්වලට එකඟව ජීවත් නොවූහ. එබැවින් එමගින් ඔවුහු වැරදිකරුවන් බවට ඔප්පු වූහ. යේසුස්ගේ දවසේදී ඔවුන්ගේ තත්වය වඩා තීරණාත්මක විය. මන්ද මලාකී පුරෝකථනය කළ “යෙහෝවාගේ මහත් වූ භයානක වූ දවස” අත ළඟ විය. පොදු යුගයේ 70දී, රෝම හමුදා විසින් යෙරුසලම, එහි දේවමාළිගාව හා දශලක්ෂයකට වඩා වැඩි යුදෙව් ජනකායක් ඝාතනය කිරීමෙන් ඒ “දවස” සනිටුහන් විය. සැබෑ නමස්කාරය වෙනුවෙන් දැවෙන ජ්වලිතයකින් සිටි යොහන් බව්තීස්තව එම විනාශයට පළමුවෙන් යැව්වේ, ‘සූදානම් වූ සෙනඟක් යෙහෝවාට පිළියෙළ කරන පිණිසය.’ මෝසෙස්ට දෙන ලද ව්‍යවස්ථා ගිවිසුමට විරුද්ධව කළ පව්වලට ඔවුන් පසුතැවිලි වී ඔවුන් වෙතට යෙහෝවා විසින් එවන ඔහුගේ පුත්‍රයා වන යේසුස්ව පිළිගැනීමට සූදානම්ව සිටිය යුතු විය.—මලාකී 4:4-6; ලූක් 1:17; ක්‍රියා 19:4.

5. (අ) යේසුස් බව්තීස්ම වීමට පැමිණි විට, යොහන් ඒ ගැන ප්‍රශ්න කළේ මන්ද? (ආ) යේසුස්ගේ බව්තීස්මයෙන් සංකේතවත් කළේ කුමක්ද?

5 බව්තීස්ම වීමට යොහන් ළඟට පැමිණි අය අතර යේසුස්ද විය. ඔහු පැමිණියේ කුමක් සඳහා බව්තීස්ම වීමටද? පසුතැවිලි වීම සඳහා යේසුස් පව් කර නැති බව දැන සිටි යොහන් මෙසේ ඇසුවේය. “ඔබෙන් බව්තීස්ම විය යුත්තේ මමයි. ඒත් ඔබ මා වෙතට එනවාද?” එහෙත්, යේසුස්ගේ බව්තීස්මයෙන් වෙනත් දෙයක් සංකේතවත් වීමට නියමිතව තිබුණි. එබැවින් යේසුස් ඔහුට මෙසේ උත්තර දුන්නේය. “දැනට මෙය සිදු වෙන්ට ඉඩහරින්න. මන්ද මේ ආකාරයෙන් අප සියලු ධර්මිෂ්ඨ දේ කිරීම සුදුසුය.” (මතෙව් 3:13-15, NW) යේසුස් පව් කර නොතිබූ නිසා, ඔහුගේ බව්තීස්මය මගින් පාපයට පසුතැවිල්ලක් සංකේතවත් නොකළේය. එමෙන්ම, දැනටමත් යෙහෝවාට කැප වූ ජාතියක සාමාජිකයෙකුව සිටි නිසා ඔහුට කැපවීම සඳහා එවැනි දෙයක් කිරීමට අවශ්‍ය වූයේ නැත. ඒ වෙනුවට, වයස අවුරුදු 30දී කළ ඔහුගේ බව්තීස්මය ඔහුට අද්විතීය එකක් විය. මන්ද, තම ස්වර්ගික පියාගේ කැමැත්ත තවදුරටත් කිරීමට ඉදිරිපත් වීම එමගින් සංකේතවත් වූ නිසාය.

6. යේසුස් දෙවිගේ කැමැත්ත කිරීම කොතරම් බැරෑරුම් ලෙස සැලකුවාද?

6 ක්‍රිස්තුස් යේසුස් සඳහා දෙවිගේ කැමැත්තට රාජ්‍යය හා සම්බන්ධ යම් ක්‍රියාකාරකම් ඇතුළත් විය. (ලූක් 8:1) ඒ සඳහා මිදීමේ මිලය හා අලුත් ගිවිසුමක් සඳහා පදනම සැපයීමට ඔහුගේ පරිපූර්ණ ජීවිතය පූජා කිරීම ඇතුළත් විය. (මතෙව් 20:28; 26:26-28; හෙබ්‍රෙව් 10:5-10) ඒ නිසා, තම වතුර බව්තීස්මයෙන් සංකේතවත් කළ දෙය යේසුස් බැරෑරුම් ලෙස සැලකුවේය. ඔහු තම අවධානය වෙනත් ආශාවල් වෙත හැරෙන්ට ඉඩ දුන්නේ නැත. දෙවිගේ රාජ්‍යය දේශනා කිරීම ඔහුගේ ප්‍රධාන වැඩය කරගනිමින්, ඔහුගේ භූමික ජීවිතය අවසන් වන තුරු දෙවිගේ කැමැත්ත කිරීමෙහි යෙදී සිටියේය.—යොහන් 4:34.

ක්‍රිස්තියානි ගෝලයන්ව වතුරෙන් බව්තීස්ම කිරීම

7. පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේ සිට, බව්තීස්මය සම්බන්ධයෙන් කිරීමට ක්‍රිස්තියානීන්ට පැවසුවේ කුමක්ද?

7 යේසුස්ගේ මුල් ගෝලයන්ව යොහන් වතුරෙන් බව්තීස්ම කළේය. පසුව, ස්වර්ග රාජ්‍යයේ අනාගත සාමාජිකයන් වීම සඳහා ඔවුන්ව යේසුස් වෙතට මඟ පෙන්වනු ලැබීය. (යොහන් 3:25-30) යේසුස්ගේ මඟ පෙන්වීම යටතේ මේ ගෝලයෝද ඇතමෙකුව බව්තීස්ම කළහ. මෙම බව්තීස්මයෙන්ද යොහන්ගේ බව්තීස්මයෙන් අදහස් වූ දෙය සිදු විය. (යොහන් 4:1, 2) කෙසේවෙතත්, පො.යු. 33 පෙන්තකොස්ත දවසේ පටන්, ‘පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට බව්තීස්ම කිරීමේ’ මෙහෙය ඇරඹුණි. (මතෙව් 28:19) එයින් අදහස් කරන්නේ කුමක්දැයි පුනරීක්ෂණය කිරීම ඔබට ප්‍රයෝජනවත් වේවි.

8. ‘පියාගේ නාමයට’ බව්තීස්ම වීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

8 ‘පියාගේ නාමයට’ බව්තීස්ම වීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? ඉන් අදහස් කරන්නේ ඔහුගේ නාමය, තනතුර, අධිකාරය, අරමුණ හා නීති පිළිගැනීමය. ඊට අයත් වන්නේ මොනවාදැයි සලකා බලන්න. (1) ඔහුගේ නාමය ගැන ගීතාවලිය 83:17හි මෙසේ කියයි. ‘යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයාය.’ (2) ඔහුගේ තනතුර ගැන 2 රාජාවලිය 19:15හි කියවීමට තිබෙන්නේ මෙසේය. ‘යෙහෝවා ඔබ පමණක්ම [සැබෑ වූ, NW] දෙවිය.’ (3) ඔහුගේ අධිකාරය ගැන එළිදරව් 4:11 මෙසේ පවසයි. “යෙහෝවා, අපගේ දෙවියනි, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනැත්තාය. මක්නිසාද ඔබ සියලු දේ මැව්වේය. ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය. ඒවා මවන ලද්දේය.” (4) අපව පාපයෙන් හා මරණයෙන් ගළවාගැනීමට අරමුණු කරන ජීවිතදායකයා යෙහෝවා බවත් අප පිළිගත යුතුය. “ගැළවීම යෙහෝවාට අයිතිය.” (ගීතාවලිය 3:8; 36:9) (5) ශ්‍රේෂ්ඨ නීතිදායකයාත් යෙහෝවා බව අප පිළිගත යුතුය. ‘යෙහෝවා අපේ විනිශ්චයකාරයාය. යෙහෝවා අපේ නීතිදායකයාය. යෙහෝවා අපේ රජ්ජුරුවෝය.’ (යෙසායා 33:22) යෙහෝවා මේ සෑම තනතුරක්ම දරන බැවින් මෙසේ කිරීමට අපෙන් උදක්ම ඉල්ලා සිටියි. “ඔබේ මුළු හදවතින්ද ඔබේ මුළු ජීවිතයෙන්ද ඔබේ මුළු මනසින්ද ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ ප්‍රේම කළ යුතුය.”—මතෙව් 22:37, NW.

9. ‘පුත්‍රයාගේ නාමයට’ බව්තීස්ම වීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

9 ‘පුත්‍රයාගේ නාමයට’ බව්තීස්ම වීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? ඉන් අදහස් කරන්නේ යේසුස්ගේ නාමය, තනතුර හා අධිකාරය පිළිගැනීමයි. යේසුස් යන ඔහුගේ නාමයේ අර්ථය නම් “යෙහෝවා ගැළවීම” යන්නයි. ඔහුගේ තනතුර ඔහුට ලැබෙන්නේ ඔහු දෙවිගේ ඒකජාතක පුත්‍රයා හා දෙවිගේ මැවිල්ලේ කුලුඳුලා වීම නිසාය. (මතෙව් 16:16; කොලොස්සි 1:15, 16) මේ පුත්‍රයා ගැන යොහන් 3:16හි මෙසේ කියැවෙයි. “දෙවි ලෝකයට මොනතරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව [ගැළවිය හැකි මනුෂ්‍යවර්ගයාගෙන් සමන්විත] ලෝකයට දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16, NW) යේසුස් ඇදහිලිවන්තව සිට මිය ගිය නිසා, දෙවි ඔහුව මළවුන්ගෙන් නැඟිටුවා ඔහුට අමතර අධිකාරයක් ලබා දුන්නේය. ප්‍රේරිත පාවුල් පවසන ආකාරයට, දෙවි යේසුස්ට විශ්වයේ “ඉතා උසස් තත්වයක් දුන්නේය.” [NW] ඔහු දෙවැනි වන්නේ යෙහෝවාට පමණි. ‘සියල්ලන් යේසුස් යන නාමයෙන් දණ නැමිය යුත්තෙත්, යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් බව පිය වූ දෙවිගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගත යුත්තෙත්’ එමනිසාය. (පිලිප්පි 2:9-11) මෙයින් අදහස් කරන්නේ යෙහෝවා යේසුස් තුළින් සපයන ආඥාවලට කීකරු වීමය.—යොහන් 15:10.

10. ‘ශුද්ධාත්මයේ නාමයට’ බව්තීස්ම වීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

10 ‘ශුද්ධාත්මයේ නාමයට’ බව්තීස්ම වීම කීමෙන් අදහස් කරන්නේ කුමක්ද? එයින් අදහස් කරන්නේ ශුද්ධාත්මයේ කාර්යභාරය හා ක්‍රියාකාරිත්වය පිළිගැනීමය. ශුද්ධාත්මය කියන්නේ කුමක්ද? යෙහෝවා තම අරමුණ ඉටු කරන ඔහුගේ ක්‍රියාකාරක බලයයි. යේසුස් තම අනුගාමිකයන්ට මෙසේ කීවේය. “මම පියාගෙන් ඉල්ලන්නෙමි. එවිට ඔහු ඔබ සමඟ සදාකල්ම සිටින පිණිස වෙන උපකාර කරන්නෙකු ඔබට දෙන්නේය. ඒ උපකාර කරන්නා නම් සත්‍යතාවේ ආත්මයය.” (යොහන් 14:16, 17, NW) කුමක් කිරීමට මෙය ඔවුන්ට හැකියාව ලබා දෙයිද? යේසුස් තවදුරටත් ඔවුන්ට මෙසේ කීවේය. “ශුද්ධාත්මය නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුය.” (ක්‍රියා 1:8) ඒ ශුද්ධාත්මය මාර්ගයෙන් බයිබලය ලිවීමටද යෙහෝවා ආනුභාවය දුන්නේය. “කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මය විසින් පොලඹවනු ලැබ, දෙවිගෙන් ලැබූ ලෙස කතා කළෝය.” (2 පේතෘස් 1:21) අපි බයිබලය අධ්‍යයනය කරන විට, ශුද්ධාත්මයේ කාර්යභාරය පිළිගන්නෙමු. “ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, බොහෝ ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, ඇදහිල්ල, මෘදුකම, ආත්ම දමනය” වැනි “ශුද්ධාත්මයේ ඵල” අප තුළ නිපදවීමට උපකාර ඉල්ලා යාච්ඤා කිරීම, අප ශුද්ධාත්මය පිළිගන්නා බව පෙන්විය හැකි තවත් මාර්ගයකි.—ගලාති 5:22, 23, NW.

11. (අ) වර්තමානයේදී කෙරෙන බව්තීස්මයෙන් සැබවින්ම අර්ථවත් වන්නේ කුමක්ද? (ආ) බව්තීස්මය මිය යෑමකටත් නැවත ජීවත් වීමකටත් සමාන වන්නේ කෙසේද?

11 යේසුස්ගේ උපදෙස්වලට අනුව මුලින්ම බව්තීස්ම කළේ යුදෙව්වන්ව හා යුදෙව් ධර්මයට හැරුණු අයවයි. එය ඇරඹුණේ පො.යු. 33 සිටය. ඉන් ටික කාලයකට පසුව, ක්‍රිස්තියානි ගෝලයන් වීමේ වරප්‍රසාදය සමාරිතානුවන්ටද ඉදිරිපත් කෙරුණි. ඉන්පසුව, පො.යු. 36දී මේ සඳහා අචර්මච්ඡේදිත අන්‍යජාතිකයන්වද කැඳවනු ලැබීය. සමාරිතානුවන් හා අන්‍යජාතිකයන් බව්තීස්ම වීමට පෙර, දෙවිගේ පුත්‍රයාගේ ගෝලයන් ලෙස සේවය කිරීම සඳහා යෙහෝවාට පෞද්ගලික කැපවීමක් කළ යුතු විය. වර්තමානය දක්වා ක්‍රිස්තියානි වතුර බව්තීස්මයෙන් අර්ථවත් වන දෙය මෙයයි. බව්තීස්මය සංකේතාත්මක භූමදානයක් බැවින්, පෞද්ගලික කැපවීම සංකේතවත් කිරීම සඳහා වතුරේ සම්පූර්ණයෙන්ම ගිල්වීම ඉතාම උචිතය. ඔබ බව්තීස්මයේදී වතුර යටට යන විට එයින් නියෝජනය කරන්නේ, ඔබේ පෙර ජීවිත මාර්ගය උදෙසා ඔබ මැරෙන බවයි. වතුරෙන් ගොඩ ඒමෙන් සංකේතවත් කරන්නේ, දෙවිගේ කැමැත්ත කිරීම සඳහා ඔබව ජීවත් කෙරෙවූ බවයි. මේ “එක බව්තීස්මය” සැබෑ ක්‍රිස්තියානිවරයෙකු වන සෑම කෙනෙකුටම මේ අදාළය. බව්තීස්මයේදී ඔවුහු යෙහෝවාගේ ක්‍රිස්තියානි සාක්ෂිකරුවෝ නැතහොත් දෙවි විසින් තෝරා පත් කරන ලද දේවසේවකයෝ බවට පත් වෙති.—එපීස 4:5; 2 කොරින්ති 6:3, 4.

12. ක්‍රිස්තියානි වතුර බව්තීස්මය සමාන කර තිබෙන්නේ කුමකටද? ඒ කෙසේද?

12 දෙවි දෙන ගැළවීම ලැබීමට තරම් බලයක් ඒ බව්තීස්මය සතුය. නිදසුනකට, නෝවා හා ඔහුගේ පවුලේ අයව ජලගැල්ම තුළින් බේරාගත් නැව සෑදීම ගැන සඳහන් කරමින් ප්‍රේරිත පේතෘස් මෙසේ ලීවේය. “යේසුස් ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටීම කරණකොටගෙන සිදු වන මීට සමානව තිබෙන දේ වන බව්තීස්මය (එනම්, මාංසයේ කිලිටුකම පහ කිරීමෙන් නොව, යහපත් හෘදය සාක්ෂියක් දෙවිගෙන් ඉල්ලීම) මගින් දැන් ඔබ ගැළවෙන්නහුය.” (1 පේතෘස් 3:21, NW) දෙවි පවරා තිබූ වැඩය නෝවා විශ්වාසවන්ත ලෙස ඉටු කළ බවට නැව ඉතාම පැහැදිලි සාක්ෂියක් විය. නැවේ වැඩ නිම වූ විට, ‘එවකට තිබුණු ලෝකය ජලගැල්මට යට වී විනාශ විය.’ (2 පේතෘස් 3:6) එහෙත්, නෝවා ඇතුළු පවුලේ ‘අටදෙනා වතුර කරණකොටගෙන ගැළවුණෝය.’—1 පේතෘස් 3:20.

13. වතුර බව්තීස්මය කරණකොටගෙන ක්‍රිස්තියානිවරයෙකු ගැළවෙන්නේ කුමකින්ද?

13 අදදින, ක්‍රිස්තුස්ගේ නැවත නැඟිටීම කෙරෙහි ඇදහිල්ල තැබීම මත පදනම්ව යෙහෝවාට කැප වන අය, එම කැපවීම බව්තීස්මය මගින් සංකේතවත් කරති. ඔවුහු වර්තමානයේදී දෙවිගේ කැමැත්ත කුමක්දැයි දැනගෙන එය කරන අතර, වත්මන් දුෂ්ට ලෝකයෙන් ගැළවී සිටිති. (ගලාති 1:3, 4) ඔවුහු තවදුරටත් වත්මන් දුෂ්ට ක්‍රමය සමඟ විනාශය දෙසට නොඇදෙති. ඔවුහු විනාශයෙන් ගැළවෙන අතර, දෙවි විසින් දෙන යහපත් හෘදය සාක්ෂියක් භුක්ති විඳිති. දෙවිගේ සේවකයන්ගේ බිය සැක දුරු කරමින් ප්‍රේරිත යොහන් මෙසේ කීවේය. “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහව යන්නේය. නුමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.”—1 යොහන් 2:17.

අපේ වගකීම්වලට එකඟව ජීවත් වීම

14. බව්තීස්මය ගැළවීම සඳහා සහතිකයක් නොවන්නේ මන්ද?

14 බව්තීස්මය පමණක්ම ගැළවීමේ සහතිකයකැයි නිගමනය කිරීම වරදකි. එහි වටිනාකම තිබෙන්නේ, කෙනෙකු යේසුස් ක්‍රිස්තුස් තුළින් යෙහෝවාට සැබවින්ම කැප වී, පසුව අන්තිමය දක්වාම ඇදහිලිවන්තව දෙවිගේ කැමැත්ත දිගටම කරනවා නම් පමණි. “ගළවාගනු ලබන්නේ අවසානය දක්වා විඳදරාගන්නා තැනැත්තාවය.”—මතෙව් 24:13, NW.

15. (අ) බව්තීස්ම ලත් ක්‍රිස්තියානීන් සඳහා අදදින දෙවිගේ කැමැත්ත වන්නේ කුමක්ද? (ආ) ක්‍රිස්තියානි ගෝලයෙකු වීම අපේ ජීවිත තුළ කොතරම් වැදගත් තැනක් ගත යුතුද?

15 යේසුස් සම්බන්ධයෙන් දෙවිගේ කැමැත්තට අයත් වූයේ, මිනිසෙකු ලෙස ඔහු තම ජීවිතය ගත කළ ආකාරයයි. ඔහුගේ ජීවිතය පූජාවක් හැටියට මරණයට කැප කළ යුතු විය. අප සම්බන්ධයෙන් ගනිද්දී, අපේ ශරීර දෙවිට ඉදිරිපත් කළ යුතු අතර, දේවකැමැත්ත කිරීමෙන් ආත්ම පරිත්‍යාගශීලි ජීවිතයක් ගත කිරීම අපෙන් අපේක්ෂා කෙරේ. (රෝම 12:1, 2) ඉඳහිට හෝ කැමැත්තෙන්ම අප අවට ලෝකයේ සිටින මිනිසුන් මෙන් ජීවත් වෙන්ට අප උත්සාහ කරනවා නම්, එසේත් නැතහොත් දෙවිගේ සේවය ඇපයෙන් බේරෙන්ට මෙන් කරමින් ආත්මාර්ථකාමී ලුහුබැඳීම් වටා ජීවිතය කේන්ද්‍රගත කරගන්නවා නම්, අප දෙවිගේ කැමැත්ත කරනවායැයි කොහෙත්ම කිව නොහැකිය. (1 පේතෘස් 4:1-3; 1 යොහන් 2:15, 16) සදාකාල ජීවනය ලැබීමට තමන් විසින් කුමක් කළ යුතුදැයි එක්තරා යුදෙව්වෙකු ඇසූ විට, සදාචාර සම්පන්න, පවිත්‍ර ජීවිතයක් ගත කිරීමේ වැදගත්කම යේසුස් හුවා දැක්වූයේය. එහෙත්, ඊටත් වඩා වැදගත් කරුණක් වෙත එනම්, ක්‍රිස්තියානි ගෝලයෙකු හෙවත් යේසුස්ගේ අනුගාමිකයෙකු වීමේ අවශ්‍යතාව වෙත යේසුස් අවධානය යොමු කළේය. ජීවිතයේ ප්‍රධානම දෙය විය යුත්තේ එයය. එය ද්‍රව්‍යමය ලුහුබැඳීම්වලට පිටුපසින් තැබිය නොහැක.—මතෙව් 19:16-21.

16. (අ) රාජ්‍යය සම්බන්ධයෙන් සෑම ක්‍රිස්තියානිවරයෙකුටම තිබෙන වගකීම කුමක්ද? (ආ) 116 හා 117වන පිටුවල දක්නට ලැබෙන ආකාරයට, රාජ්‍ය වැඩය ඵලදායක ලෙස කළ හැකි ක්‍රම මොනවාද? (ඇ) හෘද පූර්ණව අප කරන සාක්ෂි දැරීමේ වැඩය සාක්ෂියක් වන්නේ කුමකටද?

16 යේසුස් සම්බන්ධයෙන් දෙවිගේ කැමැත්තට දෙවිගේ රාජ්‍යය සම්බන්ධයෙන් වැදගත් ක්‍රියාකාරකම් ඇතුළත් වූ බව යළි අවධාරණය කළ යුතුය. රජකම සඳහා යේසුස්ව ආලේප කර තිබුණි. එහෙත්, ඔහු මේ පොළොව මත සිටියදී, රාජ්‍යය සම්බන්ධව ජ්වලිත සාක්ෂියක් දැරුවේය. ඒ හා සමානම සාක්ෂි දැරීමේ වැඩක් කිරීමට අපටද ඇත. එම වැඩයෙහි පූර්ණ හෘදයෙන් යුතුව සහභාගි වීම සඳහා අපට බොහෝ හේතු තිබේ. එසේ කිරීමෙන් අපි යෙහෝවාගේ පරමාධිපත්‍යය කෙරෙහි දක්වන කෘතඥතාව පෙන්වනවා පමණක් නොව අන්‍යයන් කෙරෙහි ඇති අපේ ප්‍රේමයද පෙන්වන්නෙමු. (මතෙව් 22:36-40) එමෙන්ම, අපි ලොව වටා සිටින රාජ්‍ය ප්‍රකාශකයන් වන සෙසු නමස්කාරකයන් සමඟ එකමුතුව සිටින බවත් පෙන්වන්නෙමු. මෙසේ, ලෝක ව්‍යාප්ත සහෝදරයන් සමඟ එක්සත්ව එම රාජ්‍යයේ භූමික විෂයෙහි සදාකාල ජීවනය නමැති ඉලක්කය කරා ගමන් කරන්නෙමු.

පුනරීක්ෂණ සාකච්ඡාව

• යේසුස්ගේ බව්තීස්මය හා අද කෙරෙන වතුර බව්තීස්මය අතර තිබෙන සමානකම් හා වෙනස්කම් මොනවාද?

• ‘පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට බව්තීස්ම වීම’ කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

• ක්‍රිස්තියානි වතුර බව්තීස්මයේ වගකීමට එකඟව ජීවත් වීමට අයත් වන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[116, 117වන පිටුවල පින්තූර]

රාජ්‍යය ගැන ප්‍රකාශ කළ හැකි සමහර ක්‍රම

ගෙයින් ගෙට

නෑදෑයන්ට

රැකියාවේ සෙසු සේවකයන්ට

පාසැලේ සෙසු ශිෂ්‍යයන්ට

වීථිවලදී

උනන්දුව දක්වන අයව නැවත බැලීමට යෑමෙන්

නිවාස බයිබල් පාඩම්වලදී