Skip to content

පටුනට යන්න

එකම සැබෑ දෙවි ලෙස යෙහෝවාව වර්ණනා කරන්න

එකම සැබෑ දෙවි ලෙස යෙහෝවාව වර්ණනා කරන්න

දෙවන පරිච්ඡේදය

එකම සැබෑ දෙවි ලෙස යෙහෝවාව වර්ණනා කරන්න

1. එකම සැබෑ දෙවි කවුද?

 නානාප්‍රකාර දෙවිවරුන් සිටින බව මිනිසුන් කියා සිටියත් “අපට ඇත්තේ එක දෙවිකෙනෙක් වන පියාණන්” පමණකැයි බයිබලයේ කියා තිබේ. (1 කොරින්ති 8:5, 6) එම ‘එකම දෙවි’ වෙන කවුරුත් නොව සියලු දේ මැවූ යෙහෝවා දෙවිය. (ද්විතීය කථාව 6:4; එළිදරව් 4:11) යේසුස් ඔහුව හැඳින්වූයේ “මාගේ දෙවි හා නුඹලාගේ දෙවි” ලෙසය. (යොහන් 20:17) ‘යෙහෝවාම දෙවි බව හා ඔහු මිස වෙන දෙවිකෙනෙක් නැති’ බවට මෝසෙස් මීට ප්‍රථම කියා තිබූ දෙය හා යේසුස් එකඟ විය. (ද්විතීය කථාව 4:35) මිනිසුන් නමස්කාර කරන පිළිම, දේවත්වයෙන් සලකන මිනිසුන් හෝ යෙහෝවාගේ සතුරා වන “මේ ලෝකයේ දෙවියා” හෙවත් සාතන් නමැති යක්ෂයා වැනි ඕනෑම කෙනෙකුට හෝ දෙයකට වඩා යෙහෝවා ඉඳුරාම උතුම්ය. (2 කොරින්ති 4:3, 4) යේසුස් කී ආකාරයට මේ සෑම කෙනෙකුටම සහ දෙයකටම වඩා යෙහෝවා වෙනස්ය. මන්ද ඔහු පැවසුවේ යෙහෝවා ‘එකම සැබෑ දෙවි’ කියායි.—යොහන් 17:3, අකුරු ඇල කළේ අපය.

2. අප දෙවි ගැන ඉගෙනගන්නා විට එය අපේ ජීවිතයට බලපෑ යුත්තේ කෙසේද?

2 දෙවිගේ සිත්කලු ගුණාංග ගැනත් ඔහු අප වෙනුවෙන් කර ඇති දේවල් ගැනත් අනාගතයේදී කරන්ට යන දේවල් ගැනත් ඉගෙනගනිද්දී කෘතඥපූර්වක අය ඔහු වෙත ඇදී යනු ඇත. යෙහෝවා කෙරෙහි ඔවුන්ගේ ප්‍රේමය කෙමෙන් කෙමෙන් පූදින විට, ඔහුගේ ගුණ වර්ණනා කිරීමට ඔවුන් පෙලඹෙන්නේ නිතැතින්මය. ඔවුන් එය කරනු ඇත්තේ කෙසේද? එක් මාර්ගයක් වන්නේ, ඔහු ගැන අන් අයට ප්‍රකාශ කිරීමයි. රෝම 10:10 පවසන්නේ කෙනෙක් “ගැළවීම පිණිස මුඛයෙන් කියා දෙන්නේය [ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේය, NW]” කියාය. තවත් ක්‍රමයක් නම්, වචනයෙන් සහ ක්‍රියාවෙන් ඔහුව අනුකරණය කිරීමයි. එපීස 5:1 කියන්නේ, “නුඹලා ප්‍රිය දරුවන් මෙන් දෙවි අනුව යන්නෝ [දෙවිව අනුකරණය කරන්නෝ, NW] වෙන්න” කියාය. එසේ කිරීම සඳහා, යෙහෝවාගේ සැබෑ පෞද්ගලිකත්වය සහ ගතිලක්ෂණ පැහැදිලිව හඳුනාගැනීම අවශ්‍ය වේ.

3. දෙවිගේ ප්‍රධාන ගුණාංග මොනවාද?

3 බයිබලය පුරාම දෙවිගේ අද්විතීය වූ ගුණාංග හඳුන්වා දෙන කියමන් රාශියක් සොයාගත හැකිය. ඔහුගේ ප්‍රධාන ගතිලක්ෂණ සතර නම්, ප්‍රඥාව, යුක්තිය, බලය සහ ප්‍රේමයයි. ‘ප්‍රඥාව ඇත්තේ ඔහු වෙතය.’ (යෝබ් 12:13) “ඔහුගේ සියලු මාර්ග යුක්තිසහගතය.” (ද්විතීය කථාව 32:4, NW) ඔහු ‘බලයෙන් මහත්ය.’ (යෙසායා 40:26) “දෙවි ප්‍රේමයය.” (1 යොහන් 4:8) කෙසේවෙතත්, දෙවිගේ මේ ප්‍රධාන ගතිලක්ෂණ අතරින් වෙන කිසිවෙකට වඩා දෙවි මොන වගේ කෙනෙක්දැයි අඟවන විශිෂ්ටතම වූ ගුණාංගය කුමක්ද?—අකුරු ඇල කළේ අපය.

“දෙවි ප්‍රේමයය”

4. විශ්වයත් ජීවමාන සියල්ලත් මැවීම සඳහා පෙලඹවූ දෙවිගේ ප්‍රධාන ගුණාංගය කුමක්ද?

4 විශ්වයත් බුද්ධිමත් ආත්ම ජීවීනුත් මිනිස් මැවිල්ලත් මැවීමට තරම් යෙහෝවාව පෙලඹවූයේ කුමක්දැයි සිතා බලන්න. ඒ ඔහු සතු ප්‍රඥාවද? නැත්නම් බලයද? යෙහෝවා ඒවා පාවිච්චි කළත් ඇත්තටම ඔහුව පෙලඹුවේ ඒ එකක්වත් නොවේ. යෙහෝවා යුක්තිසහගත වූ නිසාම අන් අයට ජීවිතය නමැති ත්‍යාගය දිය යුතුයි කියා අදහස් කරන්නේ නැත. බුද්ධිමත් ජීවීන් ලෙස එකට ජීවත් වීමේ ප්‍රීතිය බෙදාගැනීමට ඔහුව පෙලඹුවේ පිටාර ගලන ඔහුගේ ප්‍රේමයයි. කීකරු මිනිසා පාරාදීසයේ සදහටම ජීවත් විය යුතු බව තීරණය කිරීමට ඔහුව පෙලඹුවේද ප්‍රේමයයි. (උත්පත්ති 1:28; 2:15) ආදම්ගේ පාපය මිනිස්වර්ගයා මත ගෙනා ජරා ජීර්ණභාවය නැති කර දැමීම සඳහා කටයුතු කිරීමට දෙවිව පෙලඹුවේද ප්‍රේමයයි.

5. බයිබලයට අනුව, යෙහෝවා ප්‍රතිමූර්තිය වන්නේ කුමන ගුණාංගයේද? ඒ මන්ද?

5 මෙසේ බලන කල, දෙවිගේ මේ සියලුම ගුණාංග අතුරින් කැපීපෙනෙනම ගුණාංගය නම් ප්‍රේමයයි. එය ඔහුගේ සැබෑ පෞද්ගලිකත්වයයි. ඔහුගේ ස්වභාවයයි. ප්‍රඥාව, යුක්තිය සහ බලය ඒ හා සමානව වැදගත් වුණත්, යෙහෝවාව හඳුන්වා දීමේදී බයිබලය කොතැනකවත් ඔහු ඉන් එකක් ලෙස සඳහන් කර නැත. ඒ වෙනුවට, ඔහු ප්‍රේමය බවයි පවසා ඇත්තේ. එසේය, යෙහෝවා ප්‍රේමයේ ප්‍රතිමූර්තියයි. එම ප්‍රේමය හැඟීම්වලට වහල් වූ එකක් නොව, ප්‍රතිපත්ති මගින් පාලනය වන එකකි. දෙවිගේ ප්‍රේමය පාලනය වන්නේ සත්‍යයේ සහ ධර්මිෂ්ඨකමේ ප්‍රතිපත්ති මගිනි. එය යෙහෝවා දෙවි විසින්ම නිරූපණය කරන ප්‍රේමයේ උසස්ම ස්වරූපයයි. එවන් ප්‍රේමයක් පූර්ණ පරාර්ථකාමිත්වයේ ලක්ෂණයක් වන අතර, ඔහුගේ ක්‍රියා තුළ සැමවිටම ඒ ප්‍රේමය ගැබ්ව ඇති බවට ස්ථිරසාර සාක්ෂි සපයයි.

6. දෙවි අපට වඩා උත්කෘෂ්ට කෙනෙක් වුවත්, අපට ඔහුව අනුකරණය කිරීමට හැකි කරවන්නේ කුමක්ද?

6 එවන් දෙවි කෙනෙකුව අනුකරණය කිරීමට අපට හැකියාව ලබා දෙන්නේද මේ මවිතකර ගුණාංගයයි. අසම්පූර්ණ, පහත්, වරදට බර මිනිසුන් හැටියට, කිසිදාක යෙහෝවාව අනුකරණය කිරීමට හැකි වන එකක් නැතැයි කියා අප සිතීමට පුළුවන. නමුත් යෙහෝවාගේ ශ්‍රේෂ්ඨ ප්‍රේමයේ තවත් නිදසුනක් සලකා බලන්න. අපේ සීමාවන් දන්නා ඔහු, අපෙන් සම්පූර්ණත්වය අපේක්ෂා කරන්නේ නැත. අප සම්පූර්ණත්වයේ අහලකටවත් ළං වන්නේ නැති බව ඔහු හොඳින් දනී. (ගීතාවලිය 51:5) ‘යෙහෝවා, ඔබ අයුතුකම් ගණනට ගන්නේ නම්, ස්වාමිනි, කාට සිටින්ට හැක්කේද? නුමුත් ඔබ වෙත කමාව ඇත්තේය’ කියා ගීතාවලිය 130:3, 4හි කියන්නේ ඒ නිසයි. එසේය, යෙහෝවා “දයාබරිත වූ, අනුග්‍රහයෙන් යුක්ත වූ, උදහස් වීමට ප්‍රමාද වන්නාවූ, ප්‍රේමනීය කරුණාවෙන් පූර්ණ වූ දෙවි කෙනෙක්ය.” (නික්මයාම 34:6, NW) ‘යෙහෝවා, ඔබ යහපත්ය, කමා වෙන්ට සූදානම්ය.’ (ගීතාවලිය 86:5) මොනතරම් සැනසිල්ලක්ද! මේ මවිතකර දෙවිට සේවය කිරීමත් ඔහුගේ ආදරය හා දයාබරිත සැලකුම් ලැබීමත් මොනතරම් නැවුම්බවක් ගෙනේද!

7. යෙහෝවාගේ මැවිල්ලෙන් ඔහුගේ ප්‍රේමය දැකිය හැක්කේ කෙසේද?

7 යෙහෝවාගේ ප්‍රේමය ඔහුගේ මැවිල්ලෙන්ද දැකිය හැකිය. අපේ සතුට විනෝදය වෙනුවෙන් යෙහෝවා සපයා ඇති බොහෝ යහපත් දේවල් ගැන සිතා බලන්න. මනරම් කඳුවැටිද, තුරුලතාදියෙන් හැඩ වුණු වනාන්තරද, වැව් හා සාගරද, අපේ පැවැත්ම සඳහා දිවට රසවත් නොයේකවිධ ආහාර පානද, නොයෙක් ගණයේ ලස්සන සුවඳැති සිවුමැළි මල්ද, චමත්කාර සත්ව ලෝකයද අපට දුන්නේ යෙහෝවාය. ඔහු මේ දේවල් කළේ එමගින් මිනිසාට සතුට සන්තෝෂය ලබා දීමටය. ඔහු එය අනිවාර්යයෙන් කළ යුතු වූයේ නැත. මේ දුෂ්ට ලෝකයේ අප සිටින අසම්පූර්ණ තත්වය තුළ ඔහුගේ මැවිල්ල උපරිමයෙන් රස විඳීමට අපට නොහැකි බව ඇත්තකි. (රෝම 8:22) එහෙත්, යෙහෝවා පාරාදීසයේදී අප වෙනුවෙන් කරන්නේ කුමක්දැයි සිතා බලන්න! ගීතිකාකරු අපට මෙසේ සහතික කරයි. “ඔබ ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ [සුදුසු] ආශාව පූර්ණ කරන්නේය.”—ගීතාවලිය 145:16.

8. යෙහෝවා අපට දැක්වූ ප්‍රේමයේ විශිෂ්ටතම ආදර්ශය කුමක්ද?

8 මිනිස්වර්ගයා වෙනුවෙන් යෙහෝවා පෙන්වූ ප්‍රේමයේ විශිෂ්ටතම ආදර්ශය කුමක්ද? බයිබලය මෙසේ පැහැදිලි කරයි. “දෙවි ස්වකීය ඒකජාතක පුත්‍රයා දෙන තරම් ලෝකයාට ප්‍රේම කළේය. එසේ කළේ ඔහු කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) යෙහෝවා මෙසේ කළේ මිනිසා තුළ හමු වූ යම් යහපත්කමක් නිසාද? රෝම 5:8 මෙසේ පිළිතුරු දෙයි. “දෙවි අප කෙරෙහි ඇති තමන්ගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප [වෙනුවෙන්] ක්‍රිස්තුස් මරණය විඳීමෙන්ය.” එසේය, පාපයේ සහ මරණයේ දඬුවමෙන් අපව මුදවාගැනීම සඳහා දෙවි තම පරිපූර්ණ පුත්‍රයාව මෙලොවට එව්වේය. (මතෙව් 20:28) දෙවිට ප්‍රේම කරන අයට සදාකාල ජීවනය ලබාගැනීමේ මාර්ගය මෙමගින් විවෘත විය. දෙවිගේ කැමැත්ත කරන්ට කැමති සැමටම දෙවිගේ ප්‍රේමය ලැබීම භාග්‍යයකි. මන්ද “දෙවි මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ ඔහු කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ ඔහුට [ප්‍රසන්නය]” කියා බයිබලයේ පවසන හෙයිනි.—ක්‍රියා 10:34, 35.

9. යෙහෝවා තම පුත්‍රයාව අප වෙනුවෙන් මිදීමේ මිලයක් ලෙස දී ඇතැයි යන කාරණය අපට බලපෑ යුත්තේ කෙසේද?

9 අපේ සදාකාල ජීවනයට පාර කපමින් යෙහෝවා තම පුත්‍රයාව අප වෙනුවෙන් මිදීමේ මිලයක් හැටියට දී තිබේය යන කාරණය අපේ හැසිරීම් රටාවට බලපෑ යුත්තේ කෙසේද? එය සැබෑ දෙවි වූ යෙහෝවා කෙරෙහි අප තුළ ඇති ප්‍රේමය තව තවත් ගැඹුරු කළ යුතුය. ඒ සමඟම දෙවිව නියෝජනය කරන යේසුස්ට ඇහුම්කන් දීමට අප තුළ ආශාවක් ඇති කළ යුතුය. ‘[යේසුස්] සියල්ලන් වෙනුවට මැරුණේ, ජීවත්වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවී, ඔවුන් වෙනුවට මැරුණු තැනැත්තා උදෙසා ජීවත් වන පිණිසය.’ (2 කොරින්ති 5:15) එසේනම්, යෙහෝවාගේ ප්‍රේමය සහ දයානුකම්පාව අනුකරණය කිරීමෙන් ආදර්ශයක් තැබූ යේසුස්ගේ අඩිපාර අනුගමනය කිරීමට ලැබීම මොනතරම් සතුටට හේතුවක්ද! යේසුස් නිහතමානී අයට කී දෙයින් මෙය සනාථ වේ. “වෙහෙස වෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න. මම ඔබට සහනය දෙමි. මම මෘදුව සිතින් යටහත්ව සිටින බැවින්, මාගේ වියගහ ඔබ පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට ඔබගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.”—මතෙව් 11:28-30, NW.

අන් අයට ප්‍රේමය පෙන්වීම

10. සෙසු ක්‍රිස්තියානීන්ට ප්‍රේමය පෙන්විය හැකි සමහර මාර්ග මොනවාද?

10 යෙහෝවා සහ යේසුස් අප කෙරෙහි දක්වනවා හා සමාන ප්‍රේමයක් සෙසු ක්‍රිස්තියානීන් කෙරෙහි අප තුළත් තිබෙන බව අපට පෙන්විය හැක්කේ කෙසේද? අපට මෙය පෙන්විය හැකි විවිධ මාර්ග සලකා බලන්න. “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය, ගුණවන්තය; ප්‍රේමය ඊර්ෂ්‍යා වෙන්නේ නැත; ප්‍රේමය පාරට්ටු කරගන්නේ නැත, උඩඟු වෙන්නේ නැත, අශෝභන ලෙස හැසිරෙන්නේ නැත, තමාගේම කාරණා සොයන්නේ නැත, කෝප වෙන්නේ නැත, නපුර ගණන් ගන්නේ නැත; අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීති වන්නේය, සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාස කරන්නේය, සියල්ල බලාපොරොත්තු වන්නේය, සියල්ල ඉවසන්නේය. ප්‍රේමය කිසි කලක පහ වන්නේ නැත.”—1 කොරින්ති 13:4-8; 1 යොහන් 3:14-18; 4:7-12.

11. අප ප්‍රේමය පෙන්විය යුත්තේ තව කාටද? කෙසේද?

11 අප ප්‍රේමය පෙන්විය යුත්තේ වෙන කාටද? කෙසේද? යේසුස් මෙසේ කීවේය. “එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න. පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරන්න. මා විසින් නුඹලාට අණ කළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න.” (මතෙව් 28:19, 20) දෙවි විසින් ගෙනෙන පාරාදීසමය නව ලෝකය ගැන ශුභාරංචිය තවමත් සෙසු ක්‍රිස්තියානීන් බවට පත්ව නැති අය සමඟ බෙදාගැනීම මෙයට ඇතුළත්ය. අපේ ප්‍රේමය අපේ විශ්වාසයන් අදහන අය අතරට පමණක් සීමා කරගත යුතුයැයි යේසුස් කීවේ නැත. ඔහු පැහැදිලි ලෙස මෙසේ පැවසුවේය. “නුඹලාට ප්‍රේමකරන්නන්ටම [පමණක්] නුඹලා ප්‍රේම කරනවා නම්, නුඹලාට කවර විපාකයක්ද? සුංගම් අයකරන්නෝ පවා එසේ නොකරද්ද? නුඹලාගේ සහෝදරයන්ට පමණක් ආචාර කරනවා නම් නුඹලා අනුන්ට වඩා කුමක් කරන්නහුද? අන්‍ය ජාතීහු පවා එසේ නොකරද්ද?”—මතෙව් 5:46, 47; 24:14; ගලාති 6:10.

‘යෙහෝවාගේ නාමයෙන් ගමන් කරන්න’

12. දෙවිගේ නාමය ඔහුට පමණක්ම උචිත වන්නේ මන්ද?

12 සැබෑ දෙවිව වර්ණනා කළ හැකි තවත් වැදගත් විදිහක් නම්, යෙහෝවා යන ඔහුගේ අද්විතීය නාමය දැනගැනීම, පාවිච්චි කිරීම සහ අන් අයට ඉගැන්වීමයි. ගීතිකාකරුවා තම අවංක ආශාව මෙසේ ප්‍රකාශ කළේය. ‘යෙහෝවා නම් වූ ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයාණන් බව ජනයා දැනගනිත්වා!’ (ගීතාවලිය 83:17) යෙහෝවා යන නාමයේ අර්ථය නම්, “ඔහු සිදුවීමට සලස්වයි” යන්නය. තම අරමුණු සෑමවිටම සාර්ථක ලෙස ඉටු කරගන්නාවූ උතුම් අරමුණුකරුවා ඔහුයි. තම වෑයම් මල්පල ගැන්වෙයි යන විශ්වාසය තබාගැනීමට මිනිසාට කිසිදා නොහැකි බැවින් එම නාමය උචිත වන්නේ සැබෑ දෙවිට පමණි. (යාකොබ් 4:13, 14) තමා අරමුණු කළ දෙය “සඵල කරනවා” කියා තම වචනය ගැන ස්ථිරවම පැවසිය හැක්කේ යෙහෝවාට පමණි. (යෙසායා 55:11) සමහරු තමන්ගේම බයිබලයෙන් දෙවිගේ නාමය මුල් වතාවට දුටු විටත් එහි තේරුම ඉගෙනගත් විටත් අමන්දානන්දයට පත් වෙති. (නික්මයාම 6:3) එහෙත් ඔවුන් මේ දැනුමෙන් ප්‍රයෝජන ලබන්නේ ඔවුන් ‘යෙහෝවාගේ නාමයෙන් සදාකාලයටම ගමන් කළහොත්’ පමණයි.—මීකා 4:5, NW.

13. යෙහෝවාගේ නාමය දැනගෙන සිටීමටත්, ඔහුගේ නාමයෙන් ගමන් කිරීමටත් අයත් වන්නේ කුමක්ද?

13 දෙවිගේ නාමය ගැන ගීතාවලිය 9:10 මෙසේ කියයි. “ඔබගේ නාමය දන්නෝ ඔබ කෙරෙහි විශ්වාස කරන්නහුය.” මෙහිදී යෙහෝවාගේ නාමය නිකම්ම දැන සිටීමට වඩා යමක් අදහස් වේ. එවන් දැනුමක් ලැබූ පමණින් යෙහෝවා කෙරෙහි විශ්වාසයක් ජනිත වන්නේ නැත. යෙහෝවා කුමනාකාරයේ දෙවි කෙනෙක්ද යන්න තේරුම්ගෙන ඔහුව අගය කිරීමත්, ඔහුගේ අධිකාරයට ගරු කිරීමත්, ඔහුගේ ආඥාවලට කීකරු වීමත්, සෑම කාරණයකදීම ඔහු කෙරෙහි විශ්වාසය තැබීමත් දෙවිගේ නාමය දැන සිටීම කීමෙන් අදහස් කරයි. (හිතෝපදේශ 3:5, 6) ඒ හා සමානව, යෙහෝවාගේ නාමයෙන් ගමන් කිරීම කීමෙන් අඟවන්නේ, ඔහුට කැප වී, ඔහුගේ නමස්කාරකයෙකු ලෙස පෙනී සිටීමත්, අපේ ජීවිත සැබවින්ම දෙවිගේ කැමැත්තට එකඟව මෙහෙයවීමත්ය. (ලූක් 10:27) ඔබ එය කරමින් සිටීද?

14. සදාකාලයටම යෙහෝවාට සේවය කිරීමට අප අදිටන් කරනවා නම්, නිකම්ම යම් වගකීමක් ඉටු කරන්නාක් මෙන් ක්‍රියා කිරීමට වඩා අවශ්‍ය කරන්නේ කුමක්ද?

14 යෙහෝවාට සදාකාලයටම සේවය කිරීමට අප අදිටන් කරනවා නම්, ඒ සඳහා අප පෙලඹිය යුත්තේ නිකම්ම වගකීමක් ඉටු කිරීමේ හැඟීමෙන් නොවේ. ඊට වඩා වැඩි යමක් අප තුළ තිබිය යුතුය. බොහෝ කාලයක් පුරා යෙහෝවාට සේවය කරමින් සිටි තිමෝතිගෙන් ප්‍රේරිත පාවුල් උදක්ම ඉල්ලා සිටියේ මෙසේය. “භක්තිවන්තකම [දේවභක්තිය, NW] පිණිස ව්‍යායාම පවත්වන්න.” (1 තිමෝති 4:7) භක්තියක් උපදින්නේ, එය පුදන තැනැත්තා කෙරෙහි කෘතඥතාවෙන් පිරි හදකිනි. “දේවභක්තිය” යනු යෙහෝවා සඳහා පෞද්ගලිකව ඇති ගැඹුරු ගෞරවයකි. තවද ඔහු කෙරෙහිත් ඔහුගේ මාර්ග කෙරෙහිත් ඇති අධිකතර ගෞරවාදරය නිසා ඔහුට ප්‍රේමයෙන් ඇලී සිටීමටද එය හේතු වෙයි. ඔහුගේ නාමය සියලුදෙනා විසින් ඉහළින් සලකනවා දැකීමට ආශාවක්ද එය අප තුළ ජනිත කරවයි. එකම සැබෑ දෙවි වන යෙහෝවාගේ නාමයෙන් අප සදාකාලයටම ගමන් කරන්ට නම්, අපි අපේ ජීවිත තුළ දේවභක්තිය වගා කරගත යුත්තෙමු.—ගීතාවලිය 37:4; 2 පේතෘස් 3:11.

15. දෙවිට අපේ තනි භක්තිය පිදිය හැක්කේ කෙසේද?

15 දෙවිට පිළිගත හැකි ආකාරයෙන් සේවය කිරීමට නම්, ඔහු “තනි භක්තිය ඉල්ලා සිටින්නාවූ දෙවිකෙනෙකු” බැවින්, නොබෙදුණු නමස්කාරයක් අප ඔහුට පිරිනැමිය යුතුය. (නික්මයාම 20:5, NW) දෙවිට ප්‍රේම කරන අතරතුර මෙම ලෝකයේ දෙවියා වන සාතන්ගේ මේ දුෂ්ට ලෝකයට ප්‍රේම කරන්ට අපට පුළුවන්කමක් නැත. (යාකොබ් 4:4; 1 යොහන් 2:15-17) අප එක් එක්කෙනා උත්සාහ කරන්නේ මොන වගේ අය වීමටද කියා යෙහෝවා හරියටම දනී. (යෙරෙමියා 17:10) අප ඇත්තටම ධර්මිෂ්ඨකමට ප්‍රේම කරනවා නම්, දිනපතා අපට පැමිණෙන පරීක්ෂා දකින යෙහෝවා, ඒවා විඳදරාගැනීමට අපට උපකාර කරන්නේය. ඔහුගේ ප්‍රබල ශුද්ධාත්මයෙන් අපට අනුබල දී, මේ ලෝකයේ ව්‍යාප්තව තිබෙන දුෂ්ටකමෙන් ජයගැනීමට හැකියාව ලබා දෙන්නේය. (2 කොරින්ති 4:7, NW) පාරාදීස පොළොවක සදාකාල ජීවනය නමැති අප සතු ප්‍රබල බලාපොරොත්තුව දිගටම තබාගැනීමටත් ඔහු අපට උදව් වෙයි. එය මොනතරම් තේජාන්විත අපේක්ෂාවක්ද! අප එය ගැඹුරින් අගය කළ යුතු අතර, එය යථාර්ථයක් කරවන සැබෑ දෙවි වන යෙහෝවාට කැමැත්තෙන් සේවය කළ යුතුය.

16. දශලක්ෂ සංඛ්‍යාත සෙනඟක් සමඟ ඔබත් කරන්ට කැමැත්තෙන් සිටිය යුත්තේ කුමක්ද?

16 ලොව පුරා සිටින දශලක්ෂ සංඛ්‍යාත ජනයා ‘මා සමඟ යෙහෝවා වර්ණනා කරන්න. අපි එක්ව ඔහුගේ නාමය උසස් කරමු’ යන ගීතිකාකරුගේ ආරාධනාව පිළිගෙන ඇත. (ගීතාවලිය 34:3) මේ ආරාධනය පිළිගෙන තිබෙන සංඛ්‍යාවෙන් වැඩෙන විවිධ ජාතීන්ට අයත් මේ විශාල සෙනඟට එක් වන ලෙස යෙහෝවා ඔබටද ඇරයුම් කරයි.

පුනරීක්ෂණ සාකච්ඡාව

• යෙහෝවා කුමනාකාරයේ පුද්ගලයෙක්ද? ඔහුගේ ගුණාංග ගැන පැහැදිලි අවබෝධයක් ලබාගැනීමෙන් අප ප්‍රයෝජන ලබන්නේ කෙසේද?

• දෙවි පිළිබඳ සත්‍යය ඉගෙනගැනීමට අනිත් අයට උපකාර කිරීමට අපට හැක්කේ කෙසේද?

• යෙහෝවාගේ නාමය දැන සිටීම සහ ඔහුගේ නාමයෙන් ගමන් කිරීම යන්නට අයත් වන්නේ කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[14වන පිටුවේ පින්තූර]

යෙහෝවා තමන්ගේ අධිකතර ප්‍රේමය නිසා “ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරන්නේය”