ඇමසන් වැසි වනාන්තරයේ අලුත් සමුළු ශාලාවක්!
ඇමසන් වැසි වනාන්තරය මැද්දේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අලුතෙන් හැදුව විශාල සමුළු ශාලාවක් තියෙනවා. ඒ සමුළු ශාලාව තියෙන්නේ බ්‍රසීලයේ මනවුස් නගරයේ උතුරට වෙන්න තියෙන අක්කර 128ක ප්‍රදේශයකයි. ඒකේ වැඩි කොටසක් තියෙන්නේ ඒ වනාන්තරයයි. ඒකේ තියෙන කුපුවාසු, බ්‍රසීල් නට් සහ ඇන්ජලිම් පෙඩ්‍රා වගේ දැවැන්ත ගස්වල වහලා ඉන්න මැකෝ ගිරවුන්ගේ, ටව්කාවා කුරුල්ලන්ගේ සහ තවත් ලස්සන ලස්සන කුරුල්ලන්ගේ කිචි බිචි හඬ නිතර ඇහෙනවා. මේ වගේ තැනක සමුළු ශාලාවක් හැදුවේ ඇයි?
මනවුස් නගරය තියෙන්නේ ඇමසන් ගඟේ මෝය කටේ ඉඳලා කිලෝමීටර් 1,450ක දුරින්. ඒකේ මිලියන දෙකක විතර සෙනඟක් ඉන්නවා. මනවුස් නගරයෙත් ඇමසන් ගඟ සහ ඒකේ අතු ගංගා අවට පදිංචි වෙලා ඉන්න අය ඇතුළු අවට නගරවලත් ඉන්න සාක්ෂිකරුවන් 7,000ක විතර පිරිසකට මේ අලුත් සමුළු ශාලාවේ එක්රැස් වෙන්න ඉඩ තියෙනවා. ඈතින්ම තියෙන නගරය පිහිටලා තියෙන්නේ මනවුස් නගරයට බටහිරෙන් කිලෝමීටර් 800කටත් වඩා එහායින්. සමුළු ශාලාවේ තියෙන එක්දින හෝ තුන්දින සමුළුවකට බෝට්ටුවෙන් එන්න සමහර සාක්ෂිකරුවන්ට දවස් තුනක් ගත වෙනවා.
ඇමසන් ගඟ ආශ්‍රිත ප්‍රදේශයේ සමුළු ශාලාවක් හදන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ගොඩනැඟිලි ද්‍රව්‍ය පුරවපු කන්ටේනර් 13ක් විතර සාඕ පවුලෝ, සැන්ටොස් වරායේ ඉඳලා බ්‍රසීල මුහුදු තීරය දිගෙත් ඊටපස්සේ ඇමසන් ගඟ දිගෙත් ඉදි කරන භූමියට ගේන්න සිද්ධ වුණා.
මේ අලුත් ශාලාව බ්‍රසීලයේ හදපු 27වෙනි ශාලාවයි. 2014 මැයි 4වෙනි ඉරිදා මේ ශාලාව කැප කිරීමේ අවස්ථාවට 1,956දෙනෙක් සහභාගි වුණා. පළමු වතාවට සමුළු ශාලාවක රැස් වෙන්න ලැබුණු නිසා හුඟදෙනෙක් සතුටු වුණා.
ඒ අවස්ථාවේ කථිකයා කියන දේ අහගෙන ඉන්න විතරක් නෙමෙයි කථිකයාව දැකගන්නත් සබයේ හිටිය අයට පුළුවන් වුණා. කලින් නම් ඒ අවස්ථාව ලැබුණේ නැහැ. මොකද හුඟක් වෙලාවට සමුළු පැවැත්තුවේ පොදු ස්ථානවල. හුඟදෙනෙකුට වේදිකාවේ දේශනය දෙන කෙනාව පෙනුණේ නැහැ. සාක්ෂිකරුවෙක් මෙහෙම කිව්වා. “මං අවුරුදු ගාණක් සමුළුවලට ගිහින් තියෙනවා. ඒත් බයිබල් නාට්‍යයක් දැකලා නැහැ. මට අවස්ථාව ලැබුණේ ඒක අහගෙන ඉන්න විතරයි.” දැන් හැමෝටම වේදිකාව පේනවා.