යොවුන් සිතේ ගැටලු
බව්තීස්ම වෙන්නම ඕනෙද? – 2වෙනි කොටස: බව්තීස්මයට සූදානම් වෙන්න
ඔයාට යෙහෝවා දෙවියන් එක්ක හොඳ බැඳීමක් තියෙනවා නම්, බයිබලේ තියෙන ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙනවා නම් ඔයාත් බව්තීස්මය ගැන හිතනවා ඇති. බව්තීස්මයට ඔයා සූදානම් කියලා දැනගන්න පුළුවන් කොහොමද? a
මේ ලිපියෙන්
බයිබලේ තියෙන හැම දේම මං දැනගෙන ඉන්න ඕනෙද?
විභාගෙකට ලෑස්ති වෙනවා වගේ බව්තීස්ම වෙන්න බයිබලේ තියෙන හැම දෙයක්ම කටපාඩම් කරන්න ඕනෙ නැහැ. ඒ වෙනුවට බයිබලේ තියෙන තොරතුරු ගැන හොඳට හිතලා, ඒ දේවල් ඇත්ත කියලා ඔයා ඔයාටම තහවුරු කරගන්න ඕනේ. (රෝම 12:1) උදාහරණෙකට:
දෙවි කෙනෙක් ඉන්නවා කියලත් ඔහු අපේ නමස්කාරය ලබන්න වටිනවා කියලත් ඔයාට විශ්වාසද?
බයිබලයේ මෙහෙම කියනවා: “දෙවිට නමස්කාර කිරීම සඳහා ඔහු වෙතට ළඟා වන කෙනෙක් ඔහු ජීවමාන බවත් දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට ඔහු ආශීර්වාද කරන බවත් විශ්වාස කළ යුතුයි.”—හෙබ්‍රෙව් 11:6.
මේ ගැන හිතන්න: ‘දෙවි කෙනෙක් ඉන්නවා කියලා මං විශ්වාස කරන්නේ ඇයි?’ (හෙබ්‍රෙව් 3:4) ‘මං ඔහුට නමස්කාර කරන්න ඕනෙ ඇයි?’—එළිදරව් 4:11.
උදව්වක් ඕනෙද? “නිර්මාණය කළාද? පරිණාමය වුණාද? - 1වෙනි කොටස: දෙවියන්ව විශ්වාස කරන්න තියෙන හේතු මොනවාද?” කියන ලිපිය බලන්න.
බයිබලේ තියෙන්නේ දෙවියන්ගේ අදහස් කියලා ඔයාට හොඳටම විශ්වාසද?
බයිබලයේ මෙහෙම කියනවා: “මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි. එය ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත් ප්රයෝජනවත්ය.”—2 තිමෝති 3:16.
මේ ගැන හිතන්න: ‘බයිබලේ තියෙන්නේ මිනිසුන්ගේ අදහස් නෙවෙයි කියලා මං විශ්වාස කරන්නේ ඇයි?’—යෙසායා 46:10; 1 තෙසලෝනික 2:13.
උදව්වක් ඕනෙද? “මගේ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවාද? - 1වෙනි කොටස: බයිබලයේ තියෙන්නේ මොනවද කියලා හොයලා බලමු” කියන ලිපිය බලන්න.
යෙහෝවා දෙවියන් ඔහුගේ අරමුණ ඉටු කරන්න ක්‍රිස්තියානි සභාව පාවිච්චි කරනවා කියලා ඔයාට විශ්වාසද?
බයිබලයේ මෙහෙම කියනවා: “සභාව මගින්ද ක්‍රිස්තුස් යේසුස් මගින්ද සියලු ප්‍රශංසාවත් ගෞරවයත් [දෙවියන්ට] ලබා දීම කොතරම් යෝග්‍යද! ජීවත් වන සෑම පරම්පරාවක් පුරාම සදහටම එසේ සිදු වේවා!”—එෆීස 3:21.
මේ ගැන හිතන්න: ‘රැස්වීම්වලින් ඉගෙනගන්න තොරතුරු මං සලකන්නේ මිනිසුන්ගෙන් ලැබෙන දේවල් විදිහටද නැත්නම් යෙහෝවා දෙවියන්ගෙන් ලැබෙන දේවල් විදිහටද?’ (මතෙව් 24:45) ‘අම්මායි, තාත්තායි අවසර දීලා තියෙනවා නම් එයාලා රැස්වීම් යන්නේ නැති දවස්වලත් මං රැස්වීම් යනවාද?’—හෙබ්‍රෙව් 10:24, 25.
උදව්වක් ඕනෙද? “රැස්වීම්වලට යන්න ඕනෙ ඇයි?” කියන ලිපිය බලන්න.
මං මොනවාද කරන්න ඕනේ?
බව්තීස්ම වෙන්න කලින් ඔයා හැම දේම සීයට සීයක් හරියටම කරන කෙනෙක් වෙන්න ඕනෙ නැහැ. හැබැයි ‘නපුරට පිටු පාලා යහපත කරන්න’ ඔයාට ලොකු ඕනෙකමක් තියෙනවා කියලා ඔයා කරන කියන දේවල්වලින් පැහැදිලිවම පේන්න ඕනේ. (ගීතාවලිය 34:14) උදාහරණ කීපයක් බලන්න:
ඔයා ජීවත් වෙන්නේ යෙහෝවා දීලා තියෙන ප්‍රමිතිවලට එකඟවද?
බයිබලයේ මෙහෙම කියනවා: “නිදොස් හෘදය සාක්ෂියක් පවත්වාගැනීමට උත්සාහ කරන්න.”—1 පේතෘස් 3:16.
මේ ගැන හිතන්න: ‘“වටහාගැනීමේ හැකියාව” පාවිච්චි කරලා “හරි වැරැද්ද නිවැරදිව හඳුනාගන්න” මට පුළුවන් කියලා මං පෙන්නලා තියෙන්නේ කොහොමද?’ (හෙබ්‍රෙව් 5:14) ‘වැරදි දෙයක් කරන්න යාළුවන්ගෙන් එන පීඩනයට අහු වෙන්නේ නැතුව හිටපු අවස්ථා මගේ ජීවිතේ තියෙනවාද? මං යාළුවන් විදිහට තෝරගෙන ඉන්නේ හරි දේ කරන්න මට උදව් කරන අයවද?’—හිතෝපදේශ 13:20.
උදව්වක් ඕනෙද? “මගේ හෘදය සාක්ෂිය පුහුණු කරන්න පුළුවන් කොහොමද?” කියන ලිපිය බලන්න.
ඔයා කරන දේවල් ගැන යෙහෝවාට ගණන් දෙන්න ඕනෙ කියලා ඔයා තේරුම් අරන් ඉන්නවාද?
බයිබලයේ මෙහෙම කියනවා: “අප කරන කියන දේවල් ගැන අප සියලුදෙනාවම දෙවි විසින් විනිශ්චය කරනු ලැබේ.”—රෝම 14:12.
මේ ගැන හිතන්න: ‘මං අවංකද?’ (හෙබ්‍රෙව් 13:18) ‘මං අතින් වරදක් වුණාම මං ඒක පිළිගන්නවාද, ඒක හංගනවාද නැත්නම් වරද අනිත් අය පිට පටවනවාද?’—හිතෝපදේශ 28:13.
උදව්වක් ඕනෙද? “මගේ අතින් වැරැද්දක් වුණොත් මොකද කරන්නේ?” කියන ලිපිය බලන්න.
යෙහෝවා එක්ක තියෙන බැඳීම දිගටම ශක්තිමත් කරගන්න ඔයා උත්සාහ කරනවාද?
බයිබලයේ මෙහෙම කියනවා: “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.”—යාකොබ් 4:8.
මේ ගැන හිතන්න: ‘යෙහෝවාට ළං වෙන්න මං මොනවාද කරන්නේ?’ උදාහරණෙකට, ‘මං නිතරම බයිබලේ කියවනවාද?’ (ගීතාවලිය 1:1, 2) ‘නිතරම යාච්ඤා කරනවාද?’ (1 තෙසලෝනික 5:17) ‘මං යාළුවන් විදිහට තෝරගෙන ඉන්නේ යෙහෝවාට ආදරේ කරන අයවද?’—ගීතාවලිය 15:1, 4.
උදව්වක් ඕනෙද? “මගේ ප්‍රශ්නවලට උත්තර බයිබලයේ තියෙනවාද? - 2වෙනි කොටස: බයිබලය කියවන එකෙන් සතුටක් ලබමු” සහ “යාච්ඤා කරන්න ඕනෙ ඇයි?” කියන ලිපි බලන්න.
යෝජනාවක්: ‘යොවුන් සිතේ ගැටලු - ඊට විසඳුම්’ 2වන පොතේ 37වෙනි පරිච්ඡේදය කියවන්න. විශේෂයෙන්ම 308 සහ 309 පිටුවල තියෙන ඔබේ සටහන් කියන කොටස බලන්න. බව්තීස්මයට සූදානම් වෙන්න ඒ තොරතුරු ඔයාට උදව් වෙයි.
a දෙවියන්ට ඔයාගේ ජීවිතේ කැප කරලා බව්තීස්ම වෙන එකෙන් අදහස් වෙන දේ සහ ඒකේ වැදගත්කම තේරුම්ගන්න “බව්තීස්ම වෙන්නම ඕනෙද? - 1වෙනි කොටස” කියන ලිපිය බලන්න.