Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

1 පේතෘස් 5:6, 7 - ‘දෙවියන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න. නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න’

1 පේතෘස් 5:6, 7 - ‘දෙවියන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න. නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න’

 “එහෙයින් මහත් බලයක් ඇති දෙවිට යටත් වී නිහතමානී වන්න. එවිට සුදුසු කාලයේදී ඔහු ඔබව උසස් කරනු ඇත. ඇත්තටම ඔහු ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.”—1 පේතෘස් 5:6, 7, ‘නව ලොව පරිවර්තනය.’

 “දෙවියන්වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස්කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න; උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න.”—1 පේතෘස් 5:6, 7, ‘පැරණි අනුවාදය.’

1 පේතෘස් 5:6, 7 අදහස

 ඒ වචනවලින් පේතෘස් ක්‍රිස්තියානීන්ට සහතික කරනවා යාච්ඤාවෙන් එයාලාගේ හැම ප්‍රශ්නයක්ම දෙවියන්ට කියන්න පුළුවන් කියලා. ඒ වගේම නිහතමානී අයට දෙවියන්ගේ අනුමැතිය තියෙන නිසා දෙවියන් එයාලට හිතාගන්න බැරි තරමට ආශීර්වාද කරනවා.

 “මහත් බලයක් ඇති දෙවිට යටත් වී නිහතමානී වන්න.” සමහර බයිබල්වල ඒක පරිවර්තනය කරලා තියෙන්නේ දෙවියන්ගේ “බලවත් හස්තයට යටත් වෙන්න” කියලා. එතන “හස්තය” කියන්නේ තමන්ගේ සෙනඟව ආරක්ෂා කරන්න, ගලවගන්න දෙවියන්ට තියෙන බලයට. (නික්මයාම 3:19, පාදසටහන; ගීතාවලිය 18:16, 17; 74:11) ක්‍රිස්තියානියෙක් නිහතමානී වෙලා දෙවියන් මත රඳා ඉන්නවා නම් ඒකෙන් එයා පෙන්නනවා එයා දෙවියන්ගේ බලවත් හස්තයට යටත් කියලා. ඒ වගේ කෙනෙක් තේරුම්ගන්නවා තමන්ට සීමාවක් තියෙනවා සහ තමන්ගේ තනි උත්සාහයෙන් ප්‍රශ්නවලින් ගොඩ එන්න බැහැ කියලා. (හිතෝපදේශ 3:5, 6; ෆිලිප්පි 4:13) ඒ වගේම ඒ වගේ කෙනෙක්ට ලොකු විශ්වාසයක් තියෙනවා හරිම වෙලාවේදී, හරිම විදිහට එයාට උදව් කරන්න දෙවියන්ට බලය තියෙනවා කියලා.—යෙසායා 41:10.

 “එවිට සුදුසු කාලයේදී ඔහු ඔබව උසස් කරනු ඇත.” ඉවසීමෙන් පීඩා විඳදරාගන්න අයව අන්තිමේදී දෙවියන් උසස් කරනවා. ඒ කියන්නේ එයාලට ආශීර්වාද කරනවා. ඔහු කවදාවත් තමන්ගේ සෙනඟට දරාගන්න බැරි තරමට පීඩා විඳින්න ඉඩ හරින්නේවත් හැමදාම පීඩාවලට මුහුණ දෙන්න ඉඩ දෙන්නේවත් නැහැ. (1 කොරින්ති 10:13) කෙනෙක් දිගටම හරි දේ කරන්න මහන්සි වෙද්දී “නියමිත කාලයේදී” දෙවියන් එයාට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා.—ගලාති 6:9.

 “ඔහු ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න.” ක්‍රිස්තියානියෙක්ට පුළුවන් නිහතමානීව දෙවියන්ට යාච්ඤා කරලා එයාගේ හිතේ තියෙන බර, කනස්සල්ල දෙවියන් පිට තියන්න. ඒ ගැන එක පොතක කියන දේ බලන්න. “දෙවියන් ‘පිට තබන්න’ කියන ක්‍රියා පදයෙන් යම් මහන්සියක් ගන්න ඕනෙ කියන එක අදහස් වෙනවා. මොකද ඒ වගේ දෙයක් ඉබේටම වෙන්නේ නැහැ.” ඉතින් ක්‍රිස්තියානියෙක් තමන්ගේ හිතේ තියෙන කනස්සල්ල දෙවියන් පිට තියනවා නම් “දෙවි ලබා දෙන සමාදානය” අද්දැකලා කනස්සල්ල අඩු කරගන්න එයාට පුළුවන්. (ෆිලිප්පි 4:6, 7) ඒ වගේම එයා දන්නවා දෙවියන් එයා ගැන ගොඩක් සැලකිලිමත් කියලා. ඒ නිසා දෙවියන් ඔහුගේ බලය දීලා එයාව ශක්තිමත් කරන්න, එයාට උදව් කරන්න ආසාවෙන් ඉන්නවා කියලා එයාට කිසිම සැකයක් නැහැ.—ගීතාවලිය 37:5; 55:22.

1 පේතෘස් 5:6, 7 අවට පද

 5වෙනි පරිච්ඡේදයෙන් පේතෘස් ක්‍රිස්තියානීන්ට ලියපු පළවෙනි ලිපිය අවසන් වෙනවා. (1 පේතෘස් 1:1) එදා හිටපු යේසුස්ගේ අනුගාමිකයනුත් අපි වගේම ගොඩක් ප්‍රශ්නවලට, පීඩාවලට මුහුණ දුන්න නිසා එයාලා හිටියේ ගොඩක් කනස්සල්ලෙන්. (1 පේතෘස් 1:6, 7) ඉතින් ක්‍රි.ව. 62ත් 64ත් අතර කාලේදී පේතෘස් ලියපු මේ ලිපිය එයාලට ලොකු දිරිගැන්වීමක් වෙන්න ඇති.—1 පේතෘස් 5:12.

 එක පිට එක ආපු පීඩා නිසා එදා හිටපු ක්‍රිස්තියානීන්ගෙත් විශ්වාසය සෝදිසියට ලක් වුණා. ඉතින් පේතෘස් ලියපු මේ ලිපිය එයාලට ලොකු ශක්තියක් වෙන්න ඇති. එයාලා දිගටම නිහතමානී වෙලා දෙවියන් මත රඳා හිටියා නම් එයාලට එක දෙයක් ගැන සහතික වෙන්න පුළුවන් වුණා. ඒ තමයි ස්ථිර විශ්වාසයකින් ඕනෙම පීඩාවකට මුහුණ දෙන්න දෙවියන් එයාලට උදව් කරනවා කියන එක. (1 පේතෘස් 5:5-10) එදා හිටපු ක්‍රිස්තියානීන්ට විතරක් නෙවෙයි අද පීඩා, විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන අයටත් පේතෘස් ලියපු මේ ලිපිය ලොකු හයියක්!

 1 පේතෘස් පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.