ඇත්තටම පාතාලයක් තියෙනවාද? බයිබලේ ඒ ගැන කියන්නේ මොනවාද?
බයිබලයේ ඒ ගැන කියන දේ
“කිං ජේම්ස් වර්ෂන්” වගේ හුඟක් බයිබල් පරිවර්තනවල සමහර තැන්වල “පාතාලය,” “නිරය” වගේ යෙදුම් තියෙනවා. (ගීතාවලිය 16:10; ක්‍රියා 2:27) මේ පින්තූරයෙන් පෙන්නන්නේ ආගමික ස්ථානයක ඒක චිත්‍රයට නඟලා තියෙන විදිහ. හුඟක් අය විශ්වාස කරන විදිහට පාතාලය කියන්නේ දුෂ්ටයන් සදහටම පිච්චි පිච්චි දුක් විඳින තැනක්. ඒත් ඒ ගැන බයිබලේ කියන්නේ මොනවාද?
මේ ලිපියෙන්
අපාය කියන්නේ සදහටම දුක් විඳින තැනක්ද?
නැහැ. “පාතාලය,” “නිරය” විදිහට පරිවර්තනය කරලා තියෙන මුල් හෙබ්‍රෙව් සහ ග්‍රීක වචනවලින් අදහස් කරන්නේ “මිනී වළ” කියන එකයි. (හෙබ්‍රෙව් භාෂාවෙන් “ෂෙයෝලය” සහ ග්‍රීක භාෂාවෙන් “හේදීසිය”) ඒ යෙදුම් පාවිච්චි කරලා තියෙන්නේ කෙනෙක් මැරුණාට පස්සේ ඉන්න තත්වය විස්තර කරන්නයි. බයිබලේ කියන විදිහට මිනී වළට ගිය කෙනෙක්ට එතනින් එහාට කිසිම පැවැත්මක් නැහැ.
මැරුණ කෙනෙක්ට කිසිම හැඟීමක් දැනීමක් නැහැ. ඒ නිසා එයාට වේදනාව දැනෙන්නේ නැහැ. “නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.” (දේශනාකාරයා 9:10, ‘පැරණි අනුවාදය’) පාතාලය කියන්නේ මිනිස්සු දුක් විඳින, කෑ මොර ගහන තැනක් නෙවෙයි. ඒ වෙනුවට බයිබලේ කියන්නේ “දුෂ්ටයෝ ලැජ්ජාවෙත්වා, ෂෙයෝලෙහි නිශ්ශබ්දවෙත්වා.”—ගීතාවලිය 31:17, ‘පැරණි අනුවාදය’; ගීතාවලිය 115:17
පාපයට දඬුවම විදිහට දෙවියන් නියම කළේ මරණය මිසක් පාතාලයක දුක් විඳින එක නෙවෙයි. මුල් මිනිසා වන ආදම්ට දෙවියන් කිව්වා දෙවියන්ගේ නීතියක් කැඩුවොත් එයාට මරණය උරුම වෙනවා කියලා. (උත්පත්ති 2:17) හැබැයි සදහටම අපායක දුක් විඳින්න වෙනවා කියලා දෙවියන් ආදම්ට කිව්වේ නැහැ. ආදම් පව් කළාට පස්සෙත් දඬුවම විදිහට ඔහු කිව්වේ “ඔබ දූවිලිය, දූවිල්ලටම හැරී යන්නෙහිය” කියලයි. (උත්පත්ති 3:19) ඒ කියන්නේ එතනින් එහාට එයාට පැවැත්මක් නැහැ. දෙවියන් ඒ වෙලාවේ ආදම්ට අපායක දුක් විඳින්න නියම කළා නම් අනිවාර්යයෙන්ම ඒ ගැන කියනවා. ඒකෙන් පැහැදිලියි මිනිස්සු පාපයට වැටුණාට පස්සෙත් වැරදි කරන අයට දෙන දඬුවම දෙවියන් වෙනස් කළේ නැහැ කියලා. ඒ සිද්ධිය වෙලා අවුරුදු ගාණක් ගියාට පස්සෙත් දෙවිගේ බලයේ උදව්වෙන් එක බයිබල් ලේඛකයෙක් මෙහෙම ලිව්වා. “අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණයයි.” (රෝම 6:23) ඇත්තටම ඊට වඩා දඬුවමක් දෙන එක සාධාරණ නැහැ. මොකද බයිබලේ කියන්නේ “මිය ගිය පුද්ගලයා තම පාපයෙන් නිදහස් වී ඇත” කියලා.—රෝම 6:7.
කෙනෙක් සදහටම වධ විඳිනවා කියන අදහස පවා දෙවියන්ට පිළිකුලක්. (යෙරෙමියා 32:35) බයිබලේ කියන්නේ “දෙවි ප්‍රේමයයි” කියලා. (1 යොහන් 4:8) අපායක දුක් විඳින්න තියෙන බය නිසා අපි ඔහුට නමස්කාර කරනවා දකින්න දෙවියන් කැමති නැහැ. ඒ වෙනුවට ඔහු කැමති ඔහුට තියෙන ආදරේ නිසා අපි ඔහුට නමස්කාර කරනවා දකින්න. (මතෙව් 22:36-38) එහෙම බලද්දී පාතාලයක දුක් විඳිනවා කියන ඉගැන්වීම කොහොමටවත් බයිබලේට එකඟ නැහැ කියලා පැහැදිලියි.
හොඳ මිනිස්සු පවා “පාතාලයට” ගියා. “පාතාලය” කියන වචනය පාවිච්චි කරලා තියෙන බයිබල්වල යාකොබ්, යෝබ් වගේ දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයනුත් පාතාලයට යන්න බලාගෙන ඉන්නවා කියලා සඳහන් වෙනවා. (උත්පත්ති 37:35; යෝබ් 14:13) ඒ විතරක් නෙවෙයි යේසුස් මිය ගිහින් තුන්වෙනි දවසේ නැවත නැඟිටින කල් “පාතාලයේ” හිටියා කියලත් ඒ පරිවර්තනවල තියෙනවා. (ක්‍රියා 2:31, 32) ඒකෙන් පැහැදිලියි ඒ හැම තැනකම වගේ “පාතාලය” විදිහට පරිවර්තනය කරලා තියෙන්නේ “මිනී වළ” කියන අදහස කියලා. a
ධනවතා සහ ලාසරුස්ගේ උපමාවෙන් අදහස් වෙන්නේ මොකක්ද?
යේසුස් කිව්ව ඒ උපමාව සඳහන් වෙන්නේ ලූක් 16:19-31. සාමාන්‍යයෙන් උපමා කියන්නේ යම් කරුණක් හිතට කාවදින විදිහට උගන්වන්න පාවිච්චි කරන ප්‍රබල ඉගැන්වීමේ කලාවක්. මේ උපමාවත් යේසුස් කිව්වේ යම් කරුණක් කාවද්දන්න. එහෙම නැතුව ඒක ඇත්තටම වුණ සිද්ධියක් නෙවෙයි. (මතෙව් 13:34) ඒ ගැන තව විස්තර දැනගන්න “ධනවතා සහ ලාසරුස් කවුද?” කියන ලිපිය බලන්න.
“පාතාලය” කියන්නේ දෙවියන්ගෙන් ඈත් වෙන එකටද?
නැහැ. මැරුණ කෙනෙක්ට එයා දෙවියන්ගෙන් ඈත් වෙලා කියලා දැනෙනවා කියන ඉගැන්වීම බයිබලේට එකඟ නැහැ. මොකද බයිබලේ කියන්නේ මැරුණ කෙනෙක්ට කිසිම දෙයක් දැනෙන්නේ නැහැ කියලා.—ගීතාවලිය 146:3, 4; දේශනාකාරයා 9:5.
පාතාලයෙන් නිදහස් වුණ කවුරු හරි ඉන්නවාද?
ඔව්. මිනී වළට (සමහර බයිබල් පරිවර්තනවල “පාතාලය” කියලා පරිවර්තනය කරලා තියෙනවා.) ගිහිල්ලා නැවත නැඟිටපු නවදෙනෙක් ගැන බයිබලේ සඳහන් වෙලා තියෙනවා. b මැරුණාට පස්සේ සිද්ධ වුණ දේවල් ගැන එයාලා දන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ ගැන කියනවා. හැබැයි පාතාලයේ දුක් වින්දා කියලවත් පිච්චි පිච්චි හිටියා කියලවත් එයාලා කවදාවත් කිව්වේ නැහැ. ඒකෙන් පැහැදිලි වෙනවා මැරුණාට පස්සේ එයාලට කිසිම දෙයක් දැනුණේ නැහැ කියලා. එයාලා හිටියේ හරියට ගැඹුරු “නින්දක” වගේ.—යොහන් 11:11-14; 1 කොරින්ති 15:3-6.
a “ මුල් භාෂාවල පාවිච්චි කරපු විදිහ” කියන කොටුව බලන්න.