Skip to content

එරිත්‍රියාව

විශ්වාසය නිසා සිරදඬුවම් විඳියි - එරිත්‍රියාව

විශ්වාසය නිසා සිරදඬුවම් විඳියි - එරිත්‍රියාව

එරිත්‍රියාවේ ආණ්ඩුව කාන්තාවන් සහ මහලු අය ඇතුළුව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව අත්අඩංගුවට අරගෙන සිරගත කරන්නේ කාලයක් තිස්සේ. ඒ නඩු විභාගයක්වත් චෝදනාව මොකක්ද කියලවත් දැනුම් දීමක් නොකර. එරිත්‍රියාවේ ජනාධිපති එෆර්කි 1994 ඔක්තෝබර් 25වෙනිදා ජනාධිපති නියෝගයක් මගින් සාක්ෂිකරුවන්ගේ පුරවැසිභාවය අහෝසි කළා. 1993දී නිදහස ලබාගැනීම සම්බන්ධයෙන් කළ ජනමත විමසුමේදී සාක්ෂිකරුවන් ඡන්දය පාවිච්චි නොකිරීම සහ හෘදය සාක්ෂිය ඉඩ නොදෙන නිසා හමුදා සේවයට බැඳෙන්නේ නැතුව ඉන්න තීරණය කිරීම වගේ දේවල් ඒකට හේතු විදිහට දක්වලා තිබුණා. බලෙන් හමුදා සේවයට බඳවාගන්න නීතිය ක්‍රියාත්මක කරන්න කලින් හමුදා සේවය වෙනුවට කරන්න පුළුවන් වෙනත් පොදු සේවයක් එරිත්‍රියානු බලධාරීන් සැලසුම් කරලා තිබුණා. විවිධ රාජ්‍ය ආයතන යටතේ සැලසුම් කර තිබූ එම පොදු සේවාවන්ට සාක්ෂිකරුවන් හුඟදෙනෙක් සහභාගි වුණා. නිලධාරීන් විසින් “රජයේ අනිවාර්යය සේවය අවසන් කිරීමේ සහතික” ඔවුන්ට ප්‍රධානය කරමින් බොහෝ විට ඔවුන් ඉටු කළ සේවයට ඔවුන්ට ප්‍රශංසාත් කළා. ඒත් දැන් ජනාධිපති නියෝගය පදනම් කරමින් එරිත්‍රියානු ආරක්ෂක හමුදා යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ව සිරගත කර, ඔවුන්ට වධ දී, කෙනෙහිලිකම් කරනවා. එහෙම කරන්නේ සාක්ෂිකරුවන්ට ඔවුන්ගේ විශ්වාසය අත්හරින්න බල කරන්නයි.

සාක්ෂිකරුවන් 67දෙනෙක් (සහෝදරයන් 37දෙනෙක් සහ සහෝදරියන් 30දෙනෙක්) තවමත් සිරගතව සිටිනවා. ඒ ගාණ තවත් ඉහළ යන්න මේ සිදුවීම හේතු වුණා. 2024 සැප්තැම්බර්වලදී සාක්ෂිකරුවෙක්ට අයිති නිවසක ආගමික රැස්වීමක් පවත්වන අතරතුරේ ආරක්ෂක නිලධාරීන් බලෙන් එතනට ඇතුල් වෙලා සාක්ෂිකරුවන් 24දෙනෙක්ව අත්අඩංගුවට ගත්තා. එයාලා අතර හිටපු බාල වයස්කරුවන් දෙන්නෙක්ව පස්සේ නිදහස් කළා. ඒත් දවස් කීපයකට පස්සේ වයස අවුරුදු 85ක කාන්තාවක්ව අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගත්ත 23දෙනාව මායි සර්වා බන්ධනාගාරයට යැව්වා. 2024 දෙසැම්බර් 7වෙනිදා පළවෙනි දරු උපතට සූදානමින් හිටපු මාස නමයක ගැබිනියක් වුණ සාරොන් ගේබෘව නිදහස් කරා. ඒ වගේම 2025 ජනවාරි 15වෙනිදා වයස අවුරුදු 81ක් වුණ මිසෑන් ගෙබ්‍රේයාසුවත් හිරෙන් නිදහස් කරා.

2024 නොවැම්බර් 1වෙනිදා ජාතික ආරක්ෂක නිලධාරීන් සාක්ෂිකරුවන්ව ආයෙත් එයාලාගේ ඉලක්කය කරගත්තා. එයාලා වයස අවුරුදු 16ත් 18ත් අතර පාසැල් යන වයසේ ඉන්න සාක්ෂිකරුවන් හතරදෙනෙක්ව අත්අඩංගුවට ගත්තා. ඒ හතරදෙනාගෙන් ප්‍රශ්න කරලා එයාලව වහාම මායි සර්වා සිරගෙදරට අරන් ගියා. නොවැම්බර් 22වෙනිදා නිලධාරීන් කීපදෙනෙක් අල්මාස් ගේබ්‍රිහොවොට්ගේ දුවව ඉස්කෝලෙන් පොලිසියට අරගෙන ගියා. අල්මාස් එයාගේ දුවව ගන්න පොලිසියට ගියාම පොලිස් නිලධාරීන් දුවව නිදහස් කරලා එයාව රඳවලා තියාගත්තා. එයාව තාමත් අස්මාරාවල තියෙන පොලිස් ස්ථානයක රඳවලා තියාගෙන ඉන්නවා.

හිරගෙවල්වල තියෙන කටුක තත්වය

මායි සර්වා සහ අනිත් සිරකඳවුරුවල ඉන්න සාක්ෂිකරුවන් මුහුණ දෙන්නේ හරිම කටුක තත්වයන්වලට. හිරකරුවන්ව දාලා තියෙන්නේ හරිම පුංචි කුටිවලට. එයාලට හැරෙන්නවත් ඉඩ නැහැ. එක කුටියකට කොච්චර දෙනෙක්ව දාලා තියෙනවාද කියනවා නම් දිගා වෙලා නිදාගන්නවත් ඉඩක් නැහැ. එයාලා නිදාගන්නේ පැත්තට හැරිලා එක ළඟ හිර වෙලා. පිරිසිදුව ඉන්න එයාලට කිසිම පහසුකමක් නැහැ. ගැහැනු, පිරිමි හැමෝටම වැසිකිළියට යන්න දවසට දෙපාරක් නියමිත වෙලාවක් වෙන් කරලා තියෙනවා. එහෙම යද්දීත් සොල්දාදුවන් බලාගෙන ඉන්නවා. එයාලට වෛද්‍ය පහසුකම්වත් කෑම බීමවත් හරියට ලැබෙන්නේ නැහැ.

හිරකඳවුරේ තියෙන කටුක තත්වය නිසා මේ වෙද්දී සාක්ෂිකරුවන් හතරදෙනෙක්ගේ ජීවිත නැති වෙලා තියෙනවා. ඒ වගේම සිරගතව ඉද්දී විඳින්න වුණ දරුණු තත්වයන් නිසා මහලු සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සිරෙන් නිදහස් වුණාට පස්සේ මිය ගියා.

  • මෙයිට කියන ප්‍රදේශයේ තියෙන සිරකඳවුරේ 2011 සහ 2012 වසරවලදී සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිදු කළ අමානුෂික වද හිංසා නිසා ඔවුන් මිය ගියා. ඒ කඳවුරේ “භූගත කුටිය” කියලා තැනක් තියෙනවා. එහි සිර කරලා හිටපු 62 හැවිරිදි මිස්ගිනා ගෙබ්‍රෙටින්සෙ ඒ කුටියේ අධික රස්නය දරාගන්න බැරුව 2011 ජූලි මාසේදී මිය ගියා. ඒ හා සමාන තත්වයන් යටතේ අවුරුදු 4ක විතර කාලයක් හුඟක් දුක් විඳපු 68 හැවිරිදි යොහානස් හයිලෙ 2012 අගෝස්තු 16වෙනිදා කඳවුරේදීම මිය ගියා.

  • තව මහලු සාක්ෂිකරුවන් 3දෙනෙක් මෙයිතිර් කඳවුරේදී විඳපු දුක් ගැහැටවල ප්‍රතිඵලයක් විදිහට සිරෙන් නිදහස් වුණාට පස්සේ මිය ගියා. කාසායි මෙකොන්නන්, ගොයිටොම් ගෙබ්‍රෙක්‍රිස්ත්‍රොස් සහ ට්සෙහායේ ටෙස්ෆාමරියම් ඒ අයයි.

  • මායි සර්වා බන්ධනාගාරයට යැව්වාට පස්සේ 2018දී සාක්ෂිකරුවන් දෙදෙනෙක් මිය ගියා. 2018 ජනවාරි 3වෙනිදා හබ්ටමිකායෙල් ටෙස්ෆමාරියම් මිය ගියා. එතකොට එයාට වයස 76යි. හබ්ටමිකායෙල් මෙකෝනන් මිය ගියේ 2018 මාර්තු 6වෙනිදා. ඒ වෙද්දී එයාට වයස 77යි. කිසිම නඩු විභාගයක් නැතුව එරිත්‍රියානු බලධාරීන් මේ දෙන්නාව සිරගත කළේ 2008දී.

දින නියමයක් නැතුව සිරගතව

දින නියමයක් නැතුව සිරගත කරලා තියෙන සාක්ෂිකරුවන් හුඟදෙනෙක්ට මැරෙන තුරු හෝ මරණාසන්න වෙන තුරු නිදහස ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි. රටේ නිසි නීතික ක්‍රියා පරිපාටියක් නැති නිසා නඩු මඟට බසින්න හරි හැටි ක්‍රමයක් නැහැ. ඒකේ අවසන් ප්‍රතිඵලය විදිහට එයාලට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින්න සිදු වෙලා තියෙනවා.

කාල රේඛාව

  1. 2025 ජනවාරි 20

    සිරගත කරලා තියෙන සාක්ෂිකරුවන්ගේ මුළු ගණන 67යි.

  2. 2024 නොවැම්බර් 22

    දේශපාලන පක්ෂයට බැඳෙන්න අකමැති වුණ නිසා අල්මාස් ගේබ්‍රිහොවොට්ව අත්අඩංගුවට ගත්තා.

  3. 2024 නොවැම්බර් 1

    පාසැල් යන වයසේ ඉන්න සාක්ෂිකරුවන් හතරදෙනෙක්ව අත්අඩංගුවට අරන් මායි සර්වා බන්ධනාගාරයට අරන් ගියා.

  4. 2024 සැප්තැම්බර් 27

    සාක්ෂිකරුවන් 23දෙනෙක්ව අත්අඩංගුවට අරන් මායි සර්වා බන්ධනාගාරයට අරන් ගියා. එයාලාගෙන් දෙන්නෙක්ව නිදහස් කළා.

  5. 2021 පෙබරවාරි 1

    සාක්ෂිකරුවන් තුන්දෙනෙක්ව නිදහස් කරයි.

  6. 2021 ජනවාරි 29

    එක සාක්ෂිකරුවෙක්ව නිදහස් කරයි.

  7. 2020 දෙසැම්බර් 4

    සාක්ෂිකරුවන් 28දෙනෙක්ව නිදහස් කරයි.

  8. 2018 මාර්තු 6

    මායි සර්වා සිරගෙට මාරු කළාට පස්සේ 77 හැවිරිදි හබ්ටමයිකල් මෙකොනෙන් මරණයට පත් වුණා.

  9. 2018 ජනවාරි 3

    මායි සර්වා සිරගෙට මාරු කළාට පස්සේ 76 හැවිරිදි හබ්ටමයිකල් ටෙස්ෆමාරියම් මරණයට පත් වුණා.

  10. 2017 ජූලි

    මෙයිට සිරකඳවුරේ සිටි සියලුම සාක්ෂිකරුවන්ව අස්මාරා නගරයට එපිටින් තියෙන මායි සර්වා සිරකඳවුරට මාරු කළා.

  11. 2014 ජූලි 25

    අප්‍රියෙල් 14වෙනිදා අත්අඩංගුවට ගත්ත අයගෙන් හුඟදෙනෙක්ව නිදහස් කළත් අප්‍රියෙල් 27වෙනිදා අත්අඩංගුවට ගත්ත 20දෙනා තවම ඉන්නේ සිරභාරයේ. සිරගත කළ මුළු සාක්ෂිකරුවන් ගණන 73යි.

  12. 2014 අප්‍රියෙල් 27

    බයිබල් තොරතුරු සාකච්ඡා කරන රැස්වීමකදී සාක්ෂිකරුවන් 31දෙනෙක්ව අත්අඩංගුවට ගත්තා.

  13. 2014 අප්‍රියෙල් 14

    අවුරුදු පතා පවත්වන යේසුස්ගේ මරණය සිහි කිරීම අතරතුරේ සාක්ෂිකරුවන් 90කට වඩා වැඩිදෙනෙක්ව අත්අඩංගුවට ගත්තා.

  14. 2012 අගෝස්තු 16

    සිරභාරයේදී ඉතාම දරුණු තත්වයන්ට මුහුණ දීලා 68 හැවිරිදි යොහානස් හයිලෙ මිය ගියා.

  15. 2011 ජූලි

    සිරභාරයේදී ඉතාම දරුණු තත්වයන්ට මුහුණ දීලා 62 හැවිරිදි මිස්ගිනා ගෙබ්‍රෙටින්සෙ මිය ගියා.

  16. 2009 ජූනි 28

    සාක්ෂිකරුවෙක්ගේ නිවසේ පවත්වමින් තිබුණ ආගමික රැස්වීමක් අතරතුර එතන රැස් වෙලා හිටපු අවුරුදු 2 සිට 80 දක්වා වයස්වල සාක්ෂිකරුවන් 23දෙනාවම බලධාරීන් අත්අඩංගුවට ගත්තා.

  17. 2009 අප්‍රියෙල් 28

    පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටි සාක්ෂිකරුවෙක් හැර අනිත් හැම සාක්ෂිකරුවෙක්වම මෙයිට සිරකඳවුර වෙත යැව්වා.

  18. 2008 ජූලි 8

    සාක්ෂිකරුවන් 24දෙනෙක්ව අල්ලාගන්න බලධාරීන් නිවාස සහ රැකියා ස්ථාන වැටලුවා. ඒ අතරින් වැඩිදෙනෙක් පවුලේ අයව බලාගන්න රස්සාවල් කළ අය.

  19. 2002 මැයි

    ආණ්ඩුවෙන් අවසර දීලා තිබුණ ආගම් 4ට අයිති නැති සියලුම ආගම් රට තුළ ක්‍රියාත්මක වීම තහනම් කරයි.

  20. 1994 ඔක්තෝබර් 25

    ජනාධිපති නියෝගය මගින් යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ගේ පුරවැසිභාවය සහ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් නැති කරයි.

  21. 1994 සැප්තැම්බර් 17

    පාවුලොස් එයාසු, ඉසාක් මොගොස් සහ නෙගේඩේ ටෙක්ලමාරියම් යන අයව චෝදනාවක් හෝ නඩු පැවරීමක් නැතුව සිරගත කරයි.

  22. 1950 ගණන්වල

    එරිත්‍රියාවේ යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන් තමන්ගේ නමස්කාර කටයුතු පටන්ගනියි.