Skip to content

පටුනට යන්න

දෙවිගේ බලය ලැබූ රජුගෙන් ආශීර්වාද ලබාගන්න

දෙවිගේ බලය ලැබූ රජුගෙන් ආශීර්වාද ලබාගන්න

දෙවිගේ බලය ලැබූ රජුගෙන් ආශීර්වාද ලබාගන්න

“ඔහුට යෙහෝවා දෙවිගේ බලය නොඅඩුව ලැබෙයි.”—යෙසා. 11:2.

1. ලෝකයේ පවතින තත්වය ගැන සමහර අය පවසා තිබෙන්නේ මොනවාද?

“දේශපාලනික, සමාජීය හා පාරිසරික වශයෙන් අවුල් ජාලයක් වී තිබෙන මේ ලෝකය තව අවුරුදු 100ක්වත් පවතීද?” කියා විද්‍යාඥයෙක් වන ස්ටීවන් හෝකිං 2006දී පැවසුවා. එමෙන්ම එක් සඟරාවක මෙසේ සඳහන් වී තිබුණා. “දිලිඳුකම නැති කරන්නත් සාමය ඇති කරන්නත් අපි ගත් සෑම උත්සාහයක්ම අසාර්ථක වී තිබෙනවා. එය හරියට අපි කිසිම උත්සාහයක් නොගත්තා හා සමානයි. විවිධ ආර්ථික ක්‍රම අත්හදා බලා තිබුණත් දිලිඳුකම නැති කිරීමට අපට හැකි වී නැහැ. යුද්ධ නතර කිරීමට ජාතීන්ගේ සංගමය පිහිටෙව්වත් න්‍යෂ්ටික අවි රැස් කළත් සාමය ඇති කිරීමට හැකි වී නැහැ. ඒ වගේම යුද්ධ නතර කිරීමට යුද්ධ කර තිබුණත් එයින්ද පලක් වී නැහැ.”

2. පාලනය කිරීමට අයිතිය ඇත්තේ තමන්ට පමණක් බව දෙවි ඔප්පු කරන්නේ කොහොමද?

2 ඉහත සඳහන් ප්‍රකාශ ගැන දෙවිගේ සෙනඟ නම් පුදුම වන්නේ නැහැ. ඊට හේතුව වන්නේ මිනිසාව පාලනය කිරීමට මිනිසාට හැකියාවක් නැති බව බයිබලයේ පවසා තිබීමයි. (යෙරෙ. 10:23) මිනිසුන්ව පාලනය කිරීමට අයිතිය ඇති එකම තැනැත්තා වන්නේ යෙහෝවා දෙවියි. ඒ නිසා අප වෙනුවෙන් ප්‍රමිති ඇති කිරීමටත් ජීවිතයේ අරමුණ කුමක්ද කියා පැහැදිලි කිරීමටත් එම අරමුණ ඉටු කරගැනීමට අපට අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීමටත් අයිතිය තිබෙන්නේ යෙහෝවා දෙවිට පමණයි. දෙවි ඉතා ඉක්මනින් ඔහුගේ බලය පාවිච්චි කරමින් මනුෂ්‍ය ආණ්ඩු සියල්ල මේ පොළොවෙන් ඉවත් කරනවා. ඒ සමඟම ඔහුගේ ධර්මිෂ්ඨ පාලනයට විරුද්ධ වන අයවත් ඔහු විනාශ කර දමනවා. මන්ද ඒවා පවතින තාක් කල් මිනිසාට පාපයෙන් නිදහස් වීමටවත් “මේ සමාජයේ දෙවියා” වන සාතන්ගේ ග්‍රහණයෙන් මිදීමටවත් හැකි වන්නේ නැහැ.—2 කොරි. 4:4.

3. දේවරාජ්‍යයේ රජු ගැන යෙසායා පැවසූ අනාවැකිය කුමක්ද?

3 යෙහෝවා දෙවිගේ පාලනය මොන තරම් ප්‍රේමණීයද කියා යේසුස්ගේ දහස් අවුරුදු පාලන කාලය තුළදී දැකගත හැකියි. (දානි. 7:13, 14) දේවරාජ්‍යයේ රජු ගැන යෙසායා මෙවැනි අනාවැකියක් පැවසුවා. “යෙස්සේගේ කඳෙන් අංකුරයක් හටගන්නේය. ඔහුගේ මුල්වලින් පැළෑටියක් හටගෙන පල දරන්නේය. ඔහුට යෙහෝවා දෙවිගේ බලය නොඅඩුව ලැබෙයි. එමගින් ඔහුට ප්‍රඥාවද දැනුමද තේරුම්ගැනීමේ හැකියාවද නැණවත් උපදෙස් දීමේ හැකියාවද ශක්තියද ලැබෙන්නේය. ඔහු යෙහෝවා දෙවිට ගරුබිය ඇතුව ජීවත් වෙයි.” (යෙසා. 11:1, 2) ‘යෙස්සේගේ කඳෙන් හටගන්නා අංකුරය’ වන යේසුස් ක්‍රිස්තුස්ට මිනිස් වර්ගයාව පාලනය කිරීමට අවශ්‍ය සුදුසුකම් අත් කරගන්න යෙහෝවා දෙවි ඔහුගේ බලය ලබා දෙන්නේ කොහොමද? ඔහුගේ පාලන කාලයේදී ලැබෙන ආශීර්වාද මොනවාද? එම ආශීර්වාද අත් කරගැනීමට අප කළ යුත්තේ කුමක්ද?

පාලනය කිරීමට සුදුසුකම් ලැබුණා

4-6. යේසුස්ට ප්‍රඥාවන්ත හා කාරුණික රජෙක්, උත්තම පූජකයෙක් හා විනිශ්චයකරුවෙක් ලෙස සේවය කිරීමට ඔහු සතු කුමන දැනුම ප්‍රයෝජනවත් වෙනවාද?

4 ප්‍රඥාවන්ත, කාරුණික රජෙකුගේ හා උත්තම පූජකයෙකු මෙන්ම විනිශ්චයකරුවෙකුගේ මඟ පෙන්වීම යටතේ මිනිසුන් පරිපූර්ණ තත්වයට පත් වෙනවා දැකීම යෙහෝවා දෙවිගේ ආශාවයි. ඔහු යේසුස්ව තෝරාගත්තේ ඒ නිසයි. එම වගකීම් දැරීම සඳහා අවශ්‍ය සුදුසුකම් අත් කරගැනීමට දෙවි තම බලය මගින් ඔහුට උපකාර කළා. දෙවි ලබා දුන් පැවරුම යේසුස් අංග සම්පූර්ණව ඉටු කරයි කියා අපට නිසැක වීමට තිබෙන හේතු කිහිපයක් සලකා බලමු.

5 යේසුස් තරම් යෙහෝවා දෙවි ගැන දන්න වෙන කිසිවෙක් නැහැ. වසර බිලියන ගණනක සිට යෙහෝවා දෙවි හා යේසුස් අතර කිට්ටු බැඳීමක් තිබුණා. ඒ කාලය තුළ යේසුස්ට දෙවි ගැන කොතරම් දැනුමක් ලැබුණාද කියනවා නම් “නොපෙනෙන දෙවිගේ සැබෑ ස්වභාවය” කියා ඔහුව හඳුන්වා තිබෙනවා. (කොලො. 1:15) වරක් යේසුස් තමා ගැනම පැවසුවේ “මාව දැක ඇති තැනැත්තා පියාණන්වත් දැක තිබෙනවා” කියායි.—යොහ. 14:9.

6 යෙහෝවා දෙවිට අමතරව මිනිසුන් ඇතුළුව අන් සියලු නිර්මාණ ගැන පූර්ණ අවබෝධයක් තිබෙන්නේ යේසුස්ට පමණයි. කොලොස්සි 1:16, 17හි යේසුස් ගැන මෙවැනි දෙයක් සඳහන් වෙනවා. ‘ස්වර්ගයෙහි හා පොළොවෙහි ඇති පෙනෙන හා නොපෙනෙන අන් සියලු දේ සෑදීමට ප්‍රථමයෙන් සිටියේ දෙවිගේ පුත්‍රයාය. අන් සෑම දෙයක්ම නිර්මාණය කිරීමට දෙවි හවුල් කරගත්තේ ඔහුවය.’ දෙවිගේ “ප්‍රධාන සේවකයා” ලෙස යේසුස් අන් සියලු දේ නිර්මාණය කිරීමට දෙවි සමඟ හවුල් වුණා. ඒ නිසා විශ්වයේ ඇති සෑම දෙයක්ම එනම්, කුඩාම අණුව සෑදී ඇති ආකාරයේ සිට සංකීර්ණ මොළය සෑදී ඇති ආකාරය දක්වා සෑම දෙයක් ගැනම යේසුස්ට හොඳ අවබෝධයක් තිබෙනවා. ඇත්තෙන්ම යේසුස්ව ප්‍රඥාව කියා හඳුන්වන්න පුළුවන්.—හිතෝ. 8:12, 22, 30, 31.

7, 8. දේවසේවය කිරීම සඳහා යේසුස්ට දෙවිගේ බලයේ උපකාරය ලැබුණේ කොහොමද?

7 යේසුස් අභිෂේක ලැබුවේ දෙවිගේ බලයෙන්. ඔහුම ඒ ගැන පැවසුවේ මෙසේයි. “යෙහෝවා දෙවිගේ බලය මට ලැබී ඇත. මන්ද ඔහු දිලිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශ කරන්න මාව අභිෂේක කළේය. ඔහු මාව එවා තිබෙන්නේ වහලුන්ට නිදහස ලැබෙන බවත් අන්ධයන්ට නැවත පෙනීම ලැබෙන බවත් දේශනා කිරීමට සහ තැළී පීඩිතව සිටින අයව නිදහස් කිරීමටයි. එමෙන්ම යෙහෝවා දෙවිගේ කරුණාවේ අවුරුද්ද ගැන දේශනා කිරීමටයි.” (ලූක් 4:18, 19) යේසුස් බව්තීස්ම වූ අවස්ථාවේදී ඔහුට දෙවිගේ බලය ලැබුණා. එවිට ස්වර්ගයේ සිටි කාලයේ ඉගෙනගත් දේවල් මෙන්ම ගැලවුම්කරු ලෙස පොළොවේදී ඉටු කළ යුතු බවට දෙවි පැවසූ දේවල්ද ඔහුට මතක් වෙන්න ඇති.යෙසායා 42:1; ලූක් 3:21, 22; යොහන් 12:50 කියවන්න.

8 යේසුස්ට දෙවිගේ බලය ලැබුණු නිසාත් ඔහුට පරිපූර්ණ ශරීරයක් හා මනසක් තිබුණු නිසාත් ඔහුව මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා ලෙස පමණක් නොව උතුම්ම ගුරුවරයා කියාද හැඳින්විය හැකියි. යේසුස් “උගන්වන ආකාරය ගැන” මිනිසුන් “මවිත වූ” බව බයිබලයේ සඳහන් වෙනවා. (මතෙ. 7:28) ඊට එක් හේතුවක් නම් මිනිස් වර්ගයාගේ ගැටලුවලට මුල් වුණේ උරුම කරගත් පව්කාර ස්වභාවය හා දෙවිගෙන් ඈත් වීම බව යේසුස් පෙන්වා දීමයි. ඒ වගේම මිනිසුන්ගේ හදවතේ ඇති දේ දකින්නත් ඒ අනුව ඔවුන් සමඟ ක්‍රියා කරන්නත් යේසුස්ට හැකි වීම තවත් හේතුවක්.—මතෙ. 9:4; යොහ. 1:47.

9. යේසුස් මිනිසෙකු ලෙස ක්‍රියා කළ ආකාරයෙන් ඔහු යහපත් පාලකයෙක් කියා අපට නිසැක වෙන්න පුළුවන් ඇයි?

9 යේසුස් මිනිසෙකු ලෙස ජීවත් වුණා. ඔහු මිනිසෙකු ලෙස ලැබූ අද්දැකීමත් පව්කාර මිනිසුන් සමඟ ඇසුරු කිරීමෙන් ඔවුන්ගේ තත්වය තේරුම්ගැනීමත් යහපත් රජ කෙනෙකු වීමට දායක වුණා. පාවුල් ඒ ගැන මෙවැනි දෙයක් සඳහන් කළා. “තම ‘සහෝදරයන්ට’ සෑම ආකාරයකින්ම සමාන වීමට [යේසුස්ට] සිදු විය. ඔහු එසේ කළේ දයාවන්ත මෙන්ම විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වී මිනිසුන්ගේ පාප වෙනුවෙන් දෙවි ඉදිරියේ පෙනී සිට දෙවි සමඟ නැවතත් සමාදාන වීමට මඟ පාදන පූජාවක් ඔප්පු කිරීමටය. එසේ ඔහු බොහෝ පීඩාවලට මුහුණ දෙමින් දුක් විඳ ඇති නිසා දැන් බොහෝ දුක් පීඩාවලට මුහුණ දෙන අයට උපකාර කිරීමටද ඔහුට පුළුවන.” (හෙබ්‍රෙ. 2:17, 18) යේසුස් “බොහෝ පීඩාවලට” මුහුණ දුන් නිසා පීඩාවලට මුහුණ දෙන අය ගැන ඔහුට අනුකම්පාවක් දැනෙනවා. එමෙන්ම යේසුස්ගේ දයාව ඔහු කළ සේවය තුළින් දැකගත හැකි වුණා. අසනීප, විවිධ ආබාධ සහ තැළී පීඩිතව සිටි අයට මෙන්ම කුඩා දරුවන්ට පවා යේසුස් ළඟට පැමිණීමට බියක් දැනුණේ නැහැ. (මාක් 5:22-24, 38-42; 10:14-16) මෘදු ගුණැති අය හා දෙවි ගැන ඉගෙනගැනීමට ආශාවක් දැක්වූ අයද යේසුස් වෙතට ඇදී ආවා. නමුත් උඩඟු, අහංකාර සහ “දෙවි සඳහා ප්‍රේමයක් නැති” අය යේසුස්ව ප්‍රතික්ෂේප කළා. එමෙන්ම ඔහුට වෛර කළා.—යොහ. 5:40-42; 11:47-53.

10. යේසුස්, අප කෙරෙහි තිබූ ප්‍රේමය පෙන්වූ විශිෂ්ටතම ආකාරය කුමක්ද?

10 යේසුස් අප වෙනුවෙන් තම ජීවිතය පූජා කළා. රජ කෙනෙකු වීමට යේසුස්ට තිබෙන විශිෂ්ටතම සුදුසුකම වන්නේ ඔහු අප වෙනුවෙන් මිය යෑමට කැමති වීමයි. (ගීතාවලිය 40:6-10 කියවන්න.) “කෙනෙක් තම මිත්‍රයන් උදෙසා තම ජීවිතය දෙනවා නම් ඊට වඩා උතුම් ප්‍රේමයක් තවත් නැහැ” කියා යේසුස්ම පැවසුවා. (යොහ. 15:13) තම යටත්වැසියන්ගේ වියදමින් සුඛෝපභෝගී ජීවිත ගත කරන පාලකයන් මෙන් නොව යේසුස් මිනිස් වර්ගයා වෙනුවෙන් තම ජීවිතය පූජා කළා.—මතෙ. 20:28.

ආශීර්වාද කිරීමට බලය ලැබුණා

11. අපට සහනයක් ලබා දීමට යේසුස් ක්‍රියා කරන බවට නිසැක වෙන්න පුළුවන් ඇයි?

11 තම ජීවිත පූජාවෙන් අන් අයට ප්‍රයෝජන ගැනීම සඳහා උත්තම පූජකයා ලෙස යේසුස්ම පියවර ගැනීම මොන තරම් වටිනවාද! තමන් දහස් අවුරුදු පාලන කාලයේදී කරන්නේ කුමක්ද කියා යේසුස් පොළොවේ සිටියදී ඔප්පු කර පෙන්නුවා. දෙවිට විශ්වාසවන්තව සිටිනවා නම් එම ආශීර්වාද භූක්ති විඳීමට අපටත් හැකියි. ඔහු විවිධ අසනීප හා ආබාධවලින් සිටි අයව සුව කළා. මළවුන්ව නැවත නැඟිටෙව්වා. දහස් ගණනකට ආහාර ලබා දුන් අතර කාලගුණය පාලනය කිරීමට පවා ඔහුට හැකියාව තිබුණා. (මතෙ. 8:26; 14:14-21; ලූක් 7:14, 15) ඔහු එවැනි දේවල් කළේ ඔහුට තිබෙන අධිකාරිය හා බලය පෙන්වීමට නොව ජනයා කෙරෙහි ඔහුට තිබූ අනුකම්පාව හා ප්‍රේමය පෙන්වීම සඳහායි. ලාදුරු රෝගියෙක් තමන්ව සුව කරන්න කැමතිද කියා යේසුස්ගෙන් ඇසූ විට “මා කැමතියි” කියා පිළිතුරු දීමෙන් ඒ බව පැහැදිලියි. (මාක් 1:40, 41) යේසුස් තුළ තිබුණු අනුකම්පාව හා දයාව දහස් අවුරුදු පාලන කාලය තුළදීත් ඔහු ඒ අයුරින්ම විදහාපෙන්වනවා.

12. යෙසායා 11:9හි ඇති අනාවැකිය ඉෂ්ට වන්නේ කොහොමද?

12 යේසුස් මීට වසර 2,000කට පමණ පෙර දෙවි ගැන දැනුම ලබා දීමේ අධ්‍යාපනික වැඩසටහන ආරම්භ කළා. එය ඔහු සහ ඔහුගේ හවුල් පාලකයන් විසින් දිගටම කරගෙන යන අතර යෙසායා 11:9හි ඇති මේ අනාවැකිය එවිට ඉෂ්ට වෙනවා. “ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා දෙවි වන මා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන්නේය.” පොළොව සහ අසංඛ්‍යාත ජීවීන් රැකබලා ගන්නා ආකාරය ගැන උපදෙස් ඊට ඇතුළත් වන බව අපට නිසැකයි. ආදම්ට දෙවි දුන් වගකීම වූයේද එයයි. උත්පත්ති 1:28හි සඳහන් දෙවිගේ මුල් අරමුණ ඉටු වන්නේ දහස් අවුරුදු පාලන කාලය අවසානයේදීයි. යේසුස්ගේ ජීවිත පූජාවේ පූර්ණ ප්‍රයෝජන ලැබෙන්නේද ඒ කාලයේයි.

විනිශ්චය කිරීමට බලය ලැබුණා

13. තමන් ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන බව යේසුස් පෙන්වූයේ කොහොමද?

13 “ජීවත් වන අයගේ හා මිය ගිය අයගේ විනිශ්චයකරු ලෙස දෙවි පත් කර” තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස්වයි. (ක්‍රියා 10:42) ඔහු කිසිම අසාධාරණ දෙයක් නොකරන බව දැන සිටීම මොන තරම් සහනයක්ද! ධර්මිෂ්ඨකම ඔහුගේ ඉඟපටියද විශ්වාසවන්තකම ඔහුගේ බඳපටියද වෙයි කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි. (යෙසා. 11:5) ඔහු කෑදර, කුහක, දුෂ්ට හා අන් අය විඳින දුක් වේදනා ගැන කිසිම තැකීමක් නොකරන අයව හෙළාදැක්කා. (මතෙ. 23:1-8, 25-28; මාක් 3:5) යේසුස්ට “මිනිසුන්ගේ සිත්වල තිබෙන දේ තේරුම්ගත හැකි වූ නිසා” ඔහුව රැවටීමටද කිසිම කෙනෙකුට හැකි වුණේ නැහැ.—යොහ. 2:25.

14. යේසුස් ධර්මිෂ්ඨකමට හා යුක්තියට ප්‍රේම කරන බව වර්තමානයේදී පෙන්වන්නේ කොහොමද? අප සලකා බැලිය යුතු ප්‍රශ්න මොනවාද?

14 ඉතිහාසයේ කිසිම දිනක සිදු නොවූ ආකාරයෙන් වර්තමානයේ සිදු වන ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ හා ඉගැන්වීමේ කාර්යය යේසුස් අධීක්ෂණය කිරීමෙන් පැහැදිලි වන්නේ ඔහු දිගටම ධර්මිෂ්ඨකමට හා යුක්තියට ප්‍රේම කරන බවයි. යෙහෝවා දෙවි සෑහීමට පත් වන තුරු සිදු කරන එම කාර්යය නතර කිරීමට කිසිම මිනිසෙකුටවත් කිසිම ආණ්ඩුවකටවත් කිසිම දුෂ්ට බලවේගයකටවත් හැකි වන්නේ නැහැ. හර්–මගෙදොන් යුද්ධය අවසන් වූ විට පොළොව පුරාම දෙවිගේ යුක්තිය ඉටු වන බවට අපට පූර්ණ නිසැකකමක් තිබෙනවා. (යෙසායා 11:4; මතෙව් 16:27 කියවන්න.) එසේනම් ඔබත් මෙවැනි ප්‍රශ්න ගැන කල්පනා කිරීම මොන තරම් වැදගත්ද! ‘යේසුස්ට ජනයා කෙරෙහි තිබූ ආකල්පය මටත් දේවසේවයේදී හමු වන අය කෙරෙහි තිබෙනවාද? මගේ සෞඛ්‍යය හෝ වෙනත් තත්වයන් නිසා දෙවිට සේවය කළ හැකි ප්‍රමාණය සීමා වුණත් මම මගේ උපරිමය කරනවාද?’

15. අපගේ උපරිමය කිරීමට අප කුමක් මතකයේ තබාගැනීම ප්‍රයෝජනවත් වෙනවාද?

15 ශුභාරංචිය ප්‍රකාශ කරන්න කියා ආඥා කළේ දෙවි බව අප මතකයේ තබාගන්නවා නම් පූර්ණ හදවතකින් ඔහුට සේවය කිරීමට අප පෙලඹෙනවා. එහි හවුල් වීමට අවශ්‍ය මඟ පෙන්වීම් ඔහු තම පුත්‍රයා මාර්ගයෙන් ලබා දෙනවා. එමෙන්ම එම සේවයේ යෙදෙන අයට ඔහු තම බලය ලබා දෙනවා. දෙවිගේ හවුල් සේවකයෙක් ලෙස ඔහුගේ බලයෙන් අභිෂේක ලැබූ ඔහුගේ පුත්‍රයා සමඟ සේවය කිරීමට ලැබී තිබෙන වරප්‍රසාදය ඔබ අගය කරනවාද? මිලියන හතකට වඩා වැඩි පිරිසක් රටවල් 236ක ශුභාරංචිය ප්‍රකාශ කරන්නේ යෙහෝවා දෙවි ඔවුන්ව පොලඹවන නිසයි. එවැනි පෙලඹීමක් ඇති කිරීමට යෙහෝවා දෙවිට හැර වෙන කිසිවෙකුට හැකිද? එම සේවයේ නියැලෙන බහුතරයක් “වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ, සාමාන්‍ය මිනිසුන්” වීම විශේෂයි.—ක්‍රියා 4:13.

ක්‍රිස්තුස්ගෙන් ආශීර්වාද

16. උත්පත්ති 22:18හි පවසා ඇති දෙයින් පැහැදිලි වන්නේ කුමක්ද?

16 යෙහෝවා දෙවි එක් අවස්ථාවක ආබ්‍රහම්ට මෙසේ පැවසුවා. “ඔබ මගේ හඬට සවන් දුන් නිසා ඔබෙන් පැවත එන තැනැත්තා මාර්ගයෙන් පොළොවේ සියලු ජාතීහු ආශීර්වාද ලබාගන්නෝය.” (උත්. 22:18) ඉන් පැහැදිලි වන්නේ දෙවි දී තිබෙන සේවය ගෞරවයක් ලෙස සලකා එය ඉටු කරන අයට පැවත එන තැනැත්තා මාර්ගයෙන් ආශීර්වාද ලබාගැනීමට හැකි වන බවයි. එම ආශීර්වාද ඔවුන්ගේ මනසේ තිබෙන නිසා වඩා කඩිසරව දේවසේවයේ නියැලීමට ඔවුන්ට හැකි වී තිබෙනවා.

17, 18. ද්විතීය කතාව 28:2හි යෙහෝවා දෙවි දුන් පොරොන්දුව කුමක්ද? එය අපට අදාළ වන්නේ කොහොමද?

17 ආබ්‍රහම්ගෙන් පැවත ආ ඊශ්‍රායෙල් ජාතියට වරක් දෙවි මෙසේ පැවසුවා. “ඔබ දිගටම යෙහෝවා දෙවිගේ හඬට සවන් දුන්නොත් ඔබ යන යන තැන [නීතියේ සඳහන්] ආශීර්වාද අද්දකින බව ස්ථිරයි.” (ද්වි. 28:2) වර්තමානයේ සිටින දෙවිගේ සේවකයන්ටත් එය අදාළයි. ඔබට යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලබාගැනීමට අවශ්‍ය නම් ඔහුගේ “හඬට සවන්” දිය යුතුයි. එවිට දෙවි ‘ඔබ යන යන තැන ආශීර්වාද’ කරන බව ස්ථිරයි. කෙසේවෙතත් දෙවිගේ “හඬට සවන්” දෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

18 ඊට දෙවිගේ වචනයේ සඳහන් දේවල් හා විශ්වාසවන්ත දාසයා මාර්ගයෙන් ඔහු පවසන දේවල් සිතට ගැනීම ඇතුළත් වෙනවා. (මතෙ. 24:45) එමෙන්ම දෙවි සහ ඔහුගේ පුත්‍රයාට කීකරු වීමත් ඊට අයත්. “ස්වර්ගයෙහි සිටින මගේ පියාණන්ගේ කැමැත්ත කරන්නා මිස මට ‘ස්වාමීනි, ස්වාමීනි’ කියන සියලුදෙනාටම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න ලැබෙන්නේ නැහැ” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (මතෙ. 7:21) ඊට අමතරව දෙවිගේ හඬට සවන් දෙනවා කීමට දෙවි පිහිටුවා තිබෙන ක්‍රිස්තියානි සභාවේ සැලැස්මට කැමැත්තෙන්ම යටත් වීමද අයත්. ‘තෑගි වශයෙන් දුන් පුරුෂයන්ට’ එනම්, වැඩිමහල්ලන්ට යටත් වීමත් ඊට ඇතුළත්.—එෆී. 4:8.

19. අපට ආශීර්වාද ලබාගත හැකි එක් ආකාරයක් කුමක්ද?

19 ‘තෑගි වශයෙන් දුන් පුරුෂයන්ට’ ක්‍රිස්තියානි සභාව නියෝජනය කරන පාලක මණ්ඩලයේ සාමාජිකයන්ද අයත් වෙනවා. (ක්‍රියා 15:2, 6) යේසුස්ගේ සහෝදරයන් කෙරෙහි අපට තිබෙන ආකල්පය පැමිණෙන මහත් පීඩාව අතරතුර කාලයේදී අප ලබන විනිශ්චයට බලපාන ප්‍රධාන සාධකයක් වෙනවා. (මතෙ. 25:34-40) ඒ නිසා අපට ආශීර්වාද ලබාගත හැකි එක් ආකාරයක් වන්නේ දෙවි අභිෂේක කළ අයට පූර්ණ සහයෝගය දැක්වීමයි.

20. (අ) ‘තෑගි වශයෙන් දුන් පුරුෂයන්ගේ’ මූලික වගකීම වන්නේ කුමක්ද? (ආ) ඔවුන්ව අගය කරන බව අපට පෙන්වන්න පුළුවන් කොහොමද?

20 ‘තෑගි වශයෙන් දුන් පුරුෂයන්ට’ ශාඛා කාර්යාලයේ කමිටු සාමාජිකයන්, සංචාරක සේවකයන් හා සභාවේ වැඩිමහල්ලන්ද අයත් වෙනවා. ඒ සියල්ලන්ව පත් කර තිබෙන්නේ දෙවිගේ බලයෙන්. (ක්‍රියා 20:28) මෙම සහෝදරයන්ගේ මූලික වගකීම වන්නේ “අප විශ්වාස කරන දේ සම්බන්ධයෙන්ද දෙවිගේ පුත්‍රයා ගැන අපට තිබෙන නිවැරදි දැනුම සම්බන්ධයෙන්ද අප සියලුදෙනාටම එක්සත්ව සිටීමට” උපකාර කිරීමයි. එවිට අපට “ක්‍රිස්තුස්ගේ පරිපූර්ණ පෞද්ගලිකත්වයට ළඟා වන, හොඳින් වැඩුණු අවබෝධයෙන් ක්‍රියා කරන” අය වීමට හැකි වෙනවා. (එෆී. 4:13) අප සියලුදෙනා මෙන් ඔවුන්ද පාපය උරුම කරගෙන සිටින අයයි. ඒ වුණත් ඔවුන්ගේ ප්‍රේමණීය අධීක්ෂණයට කීකරු වෙනවා නම් අපට ආශීර්වාද ලබාගත හැකියි.—හෙබ්‍රෙ. 13:7, 17.

21. දෙවිගේ පුත්‍රයාට කීකරු වීම හදිසි කාරණයක් වන්නේ ඇයි?

21 ක්‍රිස්තුස් ඉතා ඉක්මනින් සාතන්ගේ දුෂ්ට ලෝකය විනාශ කරනවා. එය සිදු වන විට අපගේ ජීවිත රඳා පවතින්නේ යේසුස් මතයි. ඊට හේතුව ‘මහත් සමූහයව ජීවන වතුර ඇති උල්පත්වලට’ මඟ පෙන්වීමට දෙවි පත් කර තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වීමයි. (එළි. 7:9, 16, 17) ඒ නිසා අපි දෙවිගේ බලය ලැබූ රජුව මුළු හදවතින්ම අගය කරමින් ඔහුට කැමැත්තෙන්ම කීකරු වෙමු.

පහත සඳහන් බයිබල් පදවලින් ඔබ ඉගෙනගත්තේ කුමක්ද?

යෙසායා 11:1-5

මාක් 1:40, 41

ක්‍රියා 10:42

උත්පත්ති 22:18

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17වන පිටුවේ පින්තූරය]

යායිරස්ගේ දියණියව නැවත නැඟිටුවීමෙන් යේසුස්ගේ දයානුකම්පාව දැකගත හැකි වුණා

[18වන පිටුවේ පින්තූර]

මහා පරිමාණයෙන් සිදු වන ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ කාර්යය යේසුස් අධීක්ෂණය කරයි