පාඨකයන්ගෙන් ප්‍රශ්න
පාඨකයන්ගෙන් ප්‍රශ්න
යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් අතින් යම් රිය අනතුරක් සිදුවීමේ ප්‍රතිඵලයක් හැටියට යම් කෙනෙක් මිය ගියොත් ඒ සම්බන්ධයෙන් ක්‍රිස්තියානි සභාවට තිබෙන වගකීම කුමක්ද?
ක්‍රිස්තියානි සභාව, අනතුරට සම්බන්ධ සහෝදරයා එම මරණයට වග කිව යුතුද නැද්ද යන්න තහවුරු කරගැනීම සඳහා ඒ ගැන සොයා බැලිය යුතුයි. ඒ ගැන සොයා නොබැලුවොත් දෙවි ඉදිරියේ එම මරණයට වග කියන්න සභාවට සිදු වෙයි. (ද්විතීය කතාව 21:1-9; 22:8) රියදුරෙක් නොසැලකිලිමත් ලෙස රිය පැදවීම නිසා හෝ වුවමනාවෙන්ම රටේ මාර්ග නීති උල්ලංගනය කිරීම නිසා ඔහු අතින් කෙනෙක් මරණයට පත් වුණා නම් ලේ වරදට ගණන් දීමට ඔහුට සිදු වෙයි. (මාක් 12:14) ඒත් මේ සම්බන්ධයෙන් තව කරුණු සලකා බැලිය යුතුයි.
පුරාණයේ විසූ ඊශ්‍රායෙල්වරුන්ගේ කාලයේදී යම් කෙනෙක් අතින් මිනී මැරුමක් සිදු වුණොත් ඔහුට ඊශ්‍රායෙලයේ පිහිටි ආරක්ෂක නුවරකට පලා යෑමට හැකි වුණා. එහිදී ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලැබුවා. ඔහුගේ අතින් එම මරණය සිදු වුණේ අත් වැරැද්දකින් නම් ඔහුට එම නුවරේ දිගටම සිටීමට අවසර ලැබුණු අතර එමගින් ඔහුට පළිගන්නන්ගෙන් ආරක්ෂා වීමට හැකි වුණා. (ගණන් කතාව 35:6-25) ඒ හා සමානව යම් ක්‍රිස්තියානියෙක් අතින් සිදු වූ රිය අනතුරකින් යම් කෙනෙක් මිය ගියොත් සභාවේ වැඩිමහල්ලන් එම මරණයට ඔහු යම් ආකාරයකින් වග කිව යුතුද කියා සොයා බැලිය යුතුයි. වැඩිමහල්ලන් ඒ කාරණය සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ ආණ්ඩුවේ නිලධාරීන්ගේ තීරණය මත හෝ නඩු තීන්දුව මත නෙවෙයි.
උදාහරණයක් හැටියට යම් මාර්ග නීතියක් උල්ලංගනය කළ නිසා එම රියදුරා වැරදිකරුවෙක් බවට උසාවියෙන් තීන්දුවක් දෙන්න පුළුවන්. නමුත් මේ කාරණය සම්බන්ධයෙන් සොයා බලන වැඩිමහල්ලන් තීරණය කරන්න පුළුවන් මේ රියදුරුට ඒ අවස්ථාවේදී එම මරණය සිදුවීම වැළැක්වීමට කිසිම හැකියාවක් නොතිබුණු නිසා ඔහු ඒ මරණයට වග කිව යුතු නැති බව. අනිත් අතට සමහර අවස්ථාවලදී උසාවිය ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම වැනි යම් හේතු නිසා එම නඩුව ඉවතට දැම්මත් වැඩිමහල්ලන් කරුණු සොයා බැලීමෙන් අනතුරුව සිදු වූ මරණයට ඔහු වග කිව යුතු බව තීරණය කරන්න පුළුවන්.
මෙම කාරණය සොයා බලන වැඩිමහල්ලන් ගන්නා තීරණය ශුද්ධ ලියවිල්ල මත මෙන්ම සොයාගත් නිවැරදි තොරතුරු මත පදනම් විය යුතුයි. මෙම තොරතුරුවලට රියදුරු වරද පිළිගැනීමත් ඇසින් දුටු විශ්වාසවන්ත සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ සාක්ෂිත් අඩංගු විය යුතුයි. (ද්විතීය කතාව 17:6; මතෙව් 18:15, 16) එම මිය ගිය තැනැත්තාගේ මරණයට රියදුරු වග කිව යුතු නම් විනිශ්චය කමිටුවක් පත් කිරීම අවශ්‍ය වෙනවා. එම වරද කර තිබෙන කෙනා අවංකව පසුතැවිලි වන බව එම කමිටුව තීරණය කළොත් ඔහුට ශුද්ධ ලියවිල්ල යොදාගනිමින් අවවාද කරනු ලබනවා. ඔහුට සභාවේ ඉසිලිය හැකි වගකීම් සම්බන්ධයෙන් සීමා දැමීමට සිදු වෙයි. ඔහු තවදුරටත් සභාවේ වැඩිමහල්ලෙක් හෝ සභා සේවකයෙක් ලෙස සේවය කරන්නේ නැහැ. මීට අමතරව වෙනත් සීමාවන්ද ඔහුට දමනු ලබනවා. ඔහුගේ නොසැලකිල්ල නිසා සිදු වූ අනතුර ගැනත් ජීවිත අහිමි වීම ගැනත් ඔහු යෙහෝවා දෙවිට ගණන් දිය යුතුයි.—ගලාති 6:5, 7.
මේ ගැන සිතා බලන්න. එම අනතුර සිදු වූ අවස්ථාවේදී අයහපත් කාලගුණයක් තිබුණා නම් ඔහු ඒ ගැන සැලකිලිමත් විය යුතුව තිබුණා. ඔහුට රිය පදවන විට නිදිමතක් හෝ වෙහෙසක් දැනුණා නම් ඔහුට වාහනය නවතා මදකට කෙටි විවේකයක් ගන්න හෝ වෙනත් කෙනෙකුට රිය පදවන මෙන් ඉල්ලා සිටින්න තිබුණා.
රියදුරා වේග සීමාව ඉක්මවා රිය පැදෙව්වා නම් තත්වය කුමක්ද? ඔහු ක්‍රිස්තියානියෙක් හැටියට “සීසර්ගේ දේ සීසර්ට” දීමට අපොහොසත් වී තිබෙනවා. අධික වේගයෙන් රිය ධාවනය කිරීමෙන් ජීවිතවලට අනතුරු විය හැකි නිසා ඔහු ජීවිතය පරිශුද්ධ දෙයක් ලෙස සලකා නැති බව ඉන් පැහැදිලි වෙනවා. (මතෙව් 22:21) මේ කාරණය සම්බන්ධයෙන් තවත් තොරතුරු සලකා බැලිය යුතුයි. වැඩිමහල්ලෙක් මාර්ග නීති ගැන වැඩි සැලකිල්ලක් දක්වා තිබුණේ නැත්නම් හා ඒවා හිතාමතා උල්ලංගනය කර තිබුණා නම් සභාවට හොඳ ආදර්ශයක් වීමට ඔහුට හැකිද?—1 පේතෘස් 5:3.
ක්‍රිස්තියානියෙක් යම් කෙනෙකුට යම් ස්ථානයකට වාහනයකින් පැමිණීමට කියා පවසන විට ඒ තැනැත්තාට නියමිත වේග සීමාව කඩ කරන්නේ නැතිව එම ස්ථානයට පැමිණීමට අවශ්‍ය තරම් වේලාවක් තිබෙනවාද කියා සොයා බැලිය යුතුයි. ගමනක් යන විට කල් වේලා ඇතුව ගමන පිටත් වීමත් වාහනය ධාවනය කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලැබෙන විදිහට අනෙක් වැඩකටයුතු සූදානම් කරගැනීමත් ඥානවන්ත දෙයක්. යම් ක්‍රිස්තියානියෙක් එසේ කරනවා නම් පමණට වඩා වේගයෙන් රිය පැදවීමට අවශ්‍ය නොවන අතර රජයේ “උසස් බලධාරීන්” පනවා තිබෙන මාර්ග නීතිවලට අවනත වීමටද හැකි වෙනවා. (රෝම 13:1, 5) මෙලෙස ක්‍රියා කරනවා නම් මාරාන්තික මාර්ග අනතුරුවලට භාජන නොවන අතර ලේ වරදට හසු වන්නේද නැහැ. මෙයාකාරයෙන් කල්පනාකාරීව රිය පදවන කෙනෙක් අන් අයට ආදර්ශයක් වන අතර ඔහුට දෙවි ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටින්නත් හැකි වෙනවා.—1 පේතෘස් 3:16.