යේසුස්ගේ ක්‍රියාකලාපය අනුකරණය කිරීම—ඔබේ පෙලඹීම ඒකද?
යේසුස්ගේ ක්‍රියාකලාපය අනුකරණය කිරීම—ඔබේ පෙලඹීම ඒකද?
‘ඔහු මහත් සමූහයක් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පා කොට, ඔවුන්ට බොහෝ කාරණා උගන්වන්ට පටන්ගත්තේය.’—මාර්ක් 6:34.
1. ඇතැම් පුද්ගලයන් විසින් පැසසිය යුතු ගුණාංග විදහාපෙන්වීම පුදුමයට හේතුවක් නොවන්නේ මන්ද?
මිනිස් ඉතිහාසය දෙස හැරී බලද්දී, පැසසිය යුතු ගුණාංග විදහාපෙන්වූ බොහෝදෙනෙකු අපගේ මතකයට නැඟෙනවා ඇති. ඊට හේතුව පැහැදිලිය. මිනිසාව මවා ඇත්තේ දෙවිගේ ස්වරූපයෙනි. යෙහෝවා දෙවි ප්‍රේමය, කරුණාව, ත්‍යාගශීලිත්වය සහ අප අගය කරන වෙනත් ගුණාංග සතු දෙවි කෙනෙකි. එමනිසා, ප්‍රේමය, කරුණාව, අනුකම්පාව සහ දිව්‍යමය වූ වෙනත් ගුණාංග මෙන්ම හෘදය සාක්ෂියක් බොහෝදෙනෙකු තුළ දක්නට ලැබෙන්නේ මන්දැයි අපට තේරුම්ගත හැකිය. (උත්පත්ති 1:26; රෝම 2:15, 16) නමුත් සමහරුන් වෙනත් අයට වඩා හොඳින් මෙම ගුණාංග පිළිබිඹු කරනවා ඔබ දැක ඇති බවට සැකයක්ද නැත.
2. සමහරවිට ක්‍රිස්තුස්ව අනුකරණය කරනවා කියා සිතමින්, ඇතැම් පුද්ගලයන් විසින් කරනු ලබන යහපත් ක්‍රියා කිහිපයක් නම් කරන්න.
2 ඇතැම් පුරුෂයෝ සහ ස්ත්‍රීහු රෝගාතුර වූ අය බැහැදැකීමට හෝ උපස්ථාන කිරීමට සෑහෙන උත්සාහයක් දරති. තවත් සමහරු ආබාධිතයන්ට තම අත හිත දෙති. එසේ නැතහොත් දුප්පතුන්ට උපකාර කරති. මීට අමතරව, ලාදුරු කොලනිවල, අනාථ ළමා නිවාසවල වැඩ කිරීමට තම මුළු දිවියම ගෙවන අයත්, රෝහල් හෝ පුණ්‍යායතනවල ස්වේච්ඡාවෙන් වැඩ කරන අයත්, අවතැන්වූවන්ට හෝ සරණාගතයන්ට උපකාර කරන්න වෙර දරන අයත් අප සමාජයේ සිටිත්. මින් සමහරෙකු, ක්‍රිස්තියානීන් සඳහා ආදර්ශයක් තැබූ යේසුස්ව අනුකරණය කරනවා කියා සිතනවා ඇති. මන්ද සුවිශේෂ වාර්තා කියවද්දී, ක්‍රිස්තුස් රෝගීන් සුව කළ බවත්, කුසගින්නෙන් පෙළුණු අයට කන්න දුන් බවත් අපට පෙනී යයි. (මාර්ක් 1:34; 8:1-9; ලූක් 4:40) යේසුස් මෙලෙස ප්‍රේමය, මුදු මොළොක් සැලකිල්ල සහ අනුකම්පාව පෙන්වද්දී, එය “ක්‍රිස්තුස්ගේ මනස” පිළිබිඹු කිරීමක් විය. ඇත්තෙන්ම එසේ කිරීමෙන් යේසුස් තම ස්වර්ගික පියාව අනුකරණය කළ බව පැහැදිලිය.—1 කොරින්ති 2:16, NW.
3. යේසුස් කළ යහපත් ක්‍රියා ගැන සමබර දෘෂ්ටියක් වර්ධනය කරගැනීමට නම්, අප සලකා බැලිය යුත්තේ කුමක්ද?
3 කෙසේවෙතත්, යේසුස් දැක්වූ ප්‍රේමය සහ අනුකම්පාව සිතට ගෙන ඇති බොහෝදෙනෙක් ක්‍රිස්තුස්ගේ මනස හා සම්බන්ධ වැදගත් අංගයක් අතපසු කරන බව ඔබ දැක ඇද්ද? මෙය තේරුම්ගැනීමට, මාර්ක් 6වන පරිච්ඡේදය හොඳින් කියවා බැලීම උපකාරවත් වේ. සුවය සඳහා ජනයා රෝගීන්ව යේසුස් ළඟට ගෙනා බව එහි අපට කියවීමට ඇත. අවට පාඨ සම්බන්ධය බලද්දී, යේසුස් වෙතට පැමිණි මහත් සමූහයා කුසගින්නෙන් පෙළෙන බව දුටු වහාම, ඔහු ඔවුන්ට ආශ්චර්යවත් ලෙස කන්න දුන් බවත් අපට පෙනී යයි. (මාර්ක් 6:35-44, 54-56) යේසුස් තම ප්‍රේමනීය අනුකම්පාව පෙන්වූ කැපීපෙනෙන අවස්ථාවන් ලෙස රෝගාතුරයන්ව සුව කිරීම සහ කුසගින්නෙන් පෙළුණු අයට කන්න දීම දැක්විය හැක. එනමුත් යේසුස් අන්‍යයන්ට උපකාර කළ ප්‍රධානම ක්‍රමය මෙය වීද? යේසුස් යෙහෝවාව අනුකරණය කළාක් මෙන්, ප්‍රේමය, කරුණාව සහ අනුකම්පාවෙන් පූර්ණ වූ ඔහුගේ පරිපූර්ණ ආදර්ශය අපට අනුකරණය කළ හැක්කේ කෙසේද?
ආත්මික අවශ්‍යතාවලට මුල් තැන
4. මාර්ක් 6:30-34හි සඳහන් වාර්තාවෙහි පසුබිම කුමක්ද?
4 තමා අවට සිටි අය සඳහා යේසුස්ට අනුකම්පාවක් දැනුණේ ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ ආත්මික අවශ්‍යතා නිසාය. ශාරීරික අවශ්‍යතාවලට වඩා, වැදගත් වූයේ එම අවශ්‍යතාය. මේ සම්බන්ධයෙන් මාර්ක් 6:30-34හි සඳහන් වාර්තාව සලකා බලන්න. එහි සඳහන් සිද්ධිය පො.යු. 32 පාස්කු මංගල්‍යයට මදකට කලින් ගලීල මුහුද අසබඩදී සිදු විය. ප්‍රේරිතයන් සිටියේ ඉතා උනන්දුමත් ස්වභාවයකිනි. එයට හොඳ හේතු තිබිණ. ඔවුන් සෑහෙන දිග සංචාරයකින් පසු යේසුස් වෙතට පැමිණියේ ඔවුන්ගේ අද්දැකීම් විස්තර කිරීමට මහත් උනන්දුවක් දක්වමිනි. කෙසේවෙතත්, ඒ අවස්ථාවේදීම විශාල ජන සමූහයක් එක්රොක් විය. ඒ ජන සමූහය කොතරම් විශාලද කිවහොත්, යේසුස්ටවත් ඔහුගේ ප්රේරිතයන්ටවත් ආහාර ගැනීමට හෝ වෙහෙස නිවාගැනීමට කාලයක් නොතිබිණ. එමනිසා යේසුස් තම ප්‍රේරිතයන්ට මෙසේ පැවසීය. “නුඹලා පමණක් වනාන්තර ස්ථානයකට ඇවිත් ටිකක් පහසු ගන්න.” (මාර්ක් 6:31) කපර්ණවුම අසල ඔරුවකට නැඟ ඔවුහු ගලීල මුහුද හරහා වෙහෙස නිවාගැනීමට නිස්කලංක ස්ථානයකට යාත්‍රා කළහ. එනමුත් වෙරළ දිගේ ඔවුන් පසුපස දිවගිය සමූහයා, ඔවුන්ට කලින් එම ස්ථානයට පැමිණියහ. යේසුස් මෙම තත්වයට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? විවේක ගැනීමට තමා ගත් උත්සාහය මෙලෙස බාධාවට පත්වීම ගැන ඔහු කෝප වූවාද? කිසිසේත් නැත!
5. තමා වෙතට පැමිණි සමූහයන් ගැන යේසුස්ට ඇති වූයේ මොන වගේ හැඟීමක්ද? ඊට එකඟව ඔහු කළේ කුමක්ද?
5 තමාගේ පැමිණීම ඉතා උනන්දුවෙන් බලා සිටි, රෝගාතුරයන් ඇතුළු දහස් ගණනින් යුත් මෙම සමූහයා කෙරෙහි යේසුස්ට ඉමහත් අනුකම්පාවක් ඇති විය. (මතෙව් 14:14; මාර්ක් 6:44) යේසුස්ගේ අනුකම්පාවට හේතුව සහ ඔහු ප්‍රතිචාරය දැක්වූ ආකාරය අවධාරණය කරමින් මාර්ක් ලීවේ මෙසේය. ‘ඔහු ගොඩ බැස්ස කල මහත් සමූහයක් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පා කොට, ඔවුන්ට බොහෝ කාරණා උගන්වන්ට පටන්ගත්තේය.’ (මාර්ක් 6:34) යේසුස් දුටුවේ විශාල ජන සමූහයක්ව නොව, නමුත් ආත්මික අවශ්‍යතා ඇති තනි තනි පුද්ගලයන්වය. ඔවුන් මංමුළා වූ කිසිදු හව්හරණයක් නොමැති එඬේරෙකු නැති බැටළුවන් හා සමාන විය. සැලකිලිමත් එඬේරුන් ලෙස කටයුතු කළ යුතුව තිබූ සිත් පිත් නොමැති ආගමික නායකයන් පොදු ජනයාව පිළිකුල් කළ බවත්, ඔවුන්ගේ ආත්මික අවශ්‍යතා නොසලකා හැරිය බවත් යේසුස් දැන සිටියේය. (එසකියෙල් 34:2-4; යොහන් 7:47-49) නමුත් යේසුස් ඔවුන්ව සැලකුවේ වෙනස් ආකාරයකටය. ඔවුන් වෙනුවෙන් හැකි තරම් උපරිමයෙන් යහපත් දේවල් කළේය. දෙවිගේ රාජ්‍යය ගැනත් ඔවුන්ට ඉගැන්වීය.
6, 7. (අ) ජනයාගේ අවශ්‍යතාවලට යේසුස් ප්‍රතිචාරයක් දැක්වූ විට, සුවිශේෂවලට අනුව ඔහු මුල් තැන දුන්නේ කුමකටද? (ආ) යේසුස් දේශනා කළේත්, ඉගැන්වූයෙත් කුමන චේතනාවෙන්ද?
6 මාර්ක්ගේ වාර්තාවට සමව දිවෙන ලූක්ගේ වාර්තාවෙහි යේසුස් කළ දේවල් යම් අනුපිළිවෙළකට පෙළගස්වා ඇත. එයින් මුලින්ම කළේ කුමක්ද යන්න පිළිබඳව යම් අදහසක් ලැබේ. ලූක් වෛද්‍යවරයෙකි. එමනිසා අන්‍යයන්ගේ ශාරීරික සෞඛ්‍යය ගැන ඔහුට සැබෑ උනන්දුවක් තිබිණ. ලූක්ගේ වාර්තාව මෙසේය: ‘සමූහයෝ [යේසුස්] අනුව ගියෝය. ඔහු ඔවුන් පිළිගෙන, දෙවිගේ රාජ්‍යය ගැන ඔවුන්ට කතා කොට, සුවය ඕනෑ අයව සුව කළේය.’ (ලූක් 9:11, ඇල අකුරු අපගේය; කොලොස්සි 4:14) ප්රාතිහාර්යයක් විස්තර කරන සෑම වාර්තාවකදීම මෙය දක්නට ලැබෙන ලක්ෂණයක් නොවුවද, මෙම අවස්ථාවේදී, ලූක්ගේ දේවානුභාවය ලත් වාර්තාවෙහි මුලින්ම සඳහන් වූයේ කුමක්ද? යේසුස් ජනයාට ඉගැන්වූ බවය.
7 මාර්ක් 6:34හි අවධාරණය කරන දෙයට මෙම වාර්තාවද එකඟ වන බව පැහැදිලිය. යේසුස්ට ඇති වූ අනුකම්පාව තම ක්‍රියාවෙන් පෙන්වද්දී, ප්‍රධාන වශයෙන් කුමන පැත්තට නැඹුරු වී එය කළාද යන්න එම පදයෙන් පැහැදිලි වේ. ජනයාගේ ආත්මික අවශ්‍යතාවට ප්‍රතිචාරය දක්වමින්, ඔහු ඔවුන්ට ඉගැන්වීය. තම සේවයේ මුල් අවදියේදී, යේසුස් මෙසේ පවසා තිබිණ. “මා විසින් අනික් නුවරවලත් [දෙවිගේ] රාජ්‍යයේ යහපත් ආරංචිය දේශනාකරන්ට ඕනෑය. මක්නිසාද ඒ පිණිස එවනලද්දෙමි.” (ලූක් 4:43) කෙසේවෙතත්, යේසුස් රාජ්‍ය පණිවිඩය ප්‍රචාරය කළේ යුතුකමක් ඉටු කරන්නාක් මෙන් හෝ දේශනා වැඩයෙහි යාන්ත්‍රිකව යෙදී සිටියාක් මෙන් කියා නිගමනය කිරීම වැරදිය. අන්‍යයන්ට ශුභාරංචිය බෙදා දීමට පෙලඹුණු ප්‍රධාන හේතුව වූයේ ඔවුන් සඳහා ඔහුට තිබූ ප්‍රේමාන්විත අනුකම්පාවයි. අසනීප වූ, භූතයන් ආවේශ වූ, දුප්පත් හෝ කුසගින්නෙන් පෙළුණු අය සඳහා යේසුස්ට කළ හැකි හොඳම දේ වූයේ, දෙවිගේ රාජ්‍යය පිළිබඳ සත්‍යය ඔවුන්ට දැනුම් දී, එය පිළිගැනීමට සහ ඊට ඇලුම් කිරීමට ඔවුන්ට උපකාර කිරීමය. යෙහෝවාගේ පරමාධිපත්‍යය නිදොස් කිරීමේදී සහ මනුෂ්‍යයන් සඳහා සදාකාලික ආශීර්වාද ලබා දීමේදී රාජ්‍යයෙන් ඉතා වැදගත් කාර්යයක් ඉටු වන නිසා ඒ හා සම්බන්ධ සත්‍යය අතිශයින් වැදගත් විය.
8. තම දේශනා කිරීම සහ ඉගැන්වීම ගැන යේසුස්ට හැඟුණේ කෙසේද?
8 යේසුස් රාජ්‍යය ගැන දේශනා කිරීමෙහි එතරම් ක්‍රියාශීලීව නිරත වීමෙන් පැහැදිලි වන්නේ පොළොවට පැමිණි මූලික හේතුව වූයේ එය බවය. තම භූමික සේවයේ අවසානයේදී පමණ, යේසුස් පිලාත්ට පැවසුවේ මෙසේය. “ඒ පිණිස මම ඉපද සිටිමි, මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂිදෙන පිණිසය. සත්‍යයෙන්වූ සියල්ලෝ මාගේ හඬ අසති.” (යොහන් 18:37) යේසුස් සැලකිලිමත්, එළඹිය හැකි, කාරුණික, අන්‍යයන්ව විශ්වාස කළ සහ විශේෂයෙන්ම ප්‍රේමනීය පුද්ගලයෙක් වූ බව කලින් ලිපි දෙකෙන්ම අපට පැහැදිලි විය. ඔව්, යේසුස් මුදු මොළොක් සැලකිල්ලක් දැක්වූ පුද්ගලයෙක් විය. ක්‍රිස්තුස්ගේ මනස තේරුම්ගැනීමට ඕනෑ නම්, ඔහුගේ පෞද්ගලිකත්වයේ එම අංගයන් අප ඒත්තුගත යුතුය. ක්‍රිස්තුස්ගේ මනස කියා පවසද්දී, යේසුස් දේශනා කිරීමෙහි සහ ඉගැන්වීමේ වැඩයට දුන් ප්‍රමුඛත්වයද ඊට ඇතුළත් බව අප තේරුම්ගත යුතුය.
සාක්ෂි දැරීමට ඔහුගෙන් දිරිගැන්වීමක්
9. දේශනා කිරීම සහ ඉගැන්වීමට මුල් තැන දිය යුත්තේ කවුද?
9 ප්‍රේමයේ සහ අනුකම්පාවේ විදහාපෑමක් වශයෙන්, දේශනා කිරීම සහ ඉගැන්වීමට ප්රමුඛ තැනක් දිය යුතු වූයේ යේසුස් පමණක්ම නොවේ. තම චේතනා, ප්‍රමුඛතා සහ ක්‍රියාවන් අනුකරණය කිරීමට ඔහු තම අනුගාමිකයන්ගෙන් උදක්ම ඉල්ලා සිටියේ එමනිසාය. යේසුස් තම ප්‍රේරිතයන් 12දෙනාව තෝරාගත්තායින් පසු, ඔවුන්ට දුන් වැඩය කුමක්ද කියා බලමු. මාර්ක් 3:14, 15හි අපට මෙසේ කියා තිබේ. ‘ඔහුද තමන් සමඟ සිටින පිණිසත්, දේශනා කරන්ට පිටත් කර අරින පිණිසත්, යක්ෂයන් දුරු කිරීමේ බලය දරන පිණිසත්, දොළොස්දෙනෙකු නියම කළේය.’ (ඇල අකුරු අපගේය.) ප්‍රේරිතයන් මුල් තැන දිය යුත්තේ කුමකටද කියා ඔබට පෙනෙනවාද?
10, 11. (අ) ප්‍රේරිතයන්ව පිටත් කර යැවූ විට, යේසුස් ඔවුන්ට කිව්වේ කුමක් කරන්නද? (ආ) ප්‍රේරිතයන්ව පිටත් කර යැවූ අවස්ථාව සම්බන්ධයෙන් බලද්දී, ඔවුන් මුල් තැන දුන්නේ කුමකටද?
10 කල් යත්ම, අන්‍යයන්ව සුව කිරීමට සහ භූතයන් දුරු කිරීමට යේසුස් 12දෙනාට බලය ලබා දුන්නේය. (මතෙව් 10:1; ලූක් 9:1) ඊළඟට, “ඉශ්රායෙල් වංශයේ නැතිවූ බැටළුවන් වෙතට” යන්න කියා ඔවුන්ව පිටත් කර යැවීය. කුමක් සඳහාද? යේසුස් ඔවුන්ට උපදෙස් දුන්නේ මෙසේය. “නුඹලා යමින්—ස්වර්ගරාජ්‍යය ළංවී තිබේය කියා දේශනාකරන්න. රෝගීන් සුවකරන්න. මළවුන් නැගුටුවන්න. කුෂ්ඨ රෝගීන් පවිත්‍රකරන්න. යක්ෂයන් දුරුකරන්න.” (මතෙව් 10:5-8; ලූක් 9:2) ඔවුන් ඊට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? “ඔව්හු පිටත්ව ගොස්: [1] පසුතැවිලිවෙන්නැයි දේශනාකළෝය. [2] ඔව්හු බොහෝ යක්ෂයන්ද දුරුකොට, බොහෝ ලෙඩුන් තෙලින් ආලේපකොට, සුවකළෝය.”—මාර්ක් 6:12, 13.
11 මෙවැනි විස්තරයක් තිබෙන සෑම අවස්ථාවකදීම, ඉගැන්වීම මුලින්ම සඳහන් වී නැති නිසා, ඉහත සඳහන් අනුපිළිවෙළ මෙලෙස කාවැද්දීම සුදුසුද? මුල් තැන දුන්නේ කුමකටද, නැතහොත් ඒ හා සම්බන්ධ චේතනා මොනවාද යන්න ගැන අප අනවශ්‍ය නිගමනයකට එළඹෙනවා විය හැකිද? (ලූක් 10:1-8) කෙසේවෙතත්, සුව කිරීමට කලින් ඉගැන්වීම මුලින් සඳහන් කොට ඇති අවස්ථා වැඩි බවත් මෙහිදී සඳහන් කළ යුතුය. මෙහිදී අවට පාඨ සම්බන්ධයද සැලකිල්ලට ගත යුතුය. ප්‍රේරිතයන් 12දෙනාව පිටත් කර යැවීමට කලින්, සමූහයා සිටි තත්වය සම්බන්ධයෙන් යේසුස්ට අනුකම්පාවක් දැනිණ. ‘යේසුස් ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරමින්ද සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුව කරමින්ද සියලු නුවරවලද ගම්වලද ඇවිද්දේය. ඔහු සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පා කළේය. එවිට ඔහු තමන් ගෝලයන්ට කතා කොට: ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්පදෙනෙක්ය. එබැවින් තමන් ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාච්ඤා කරන්නැයි කීවේය.’—මතෙව් 9:35-38.
12. යේසුස් සහ ප්‍රේරිතයන් විසින් සිදු කළ ප්‍රාතිහාර්යයන්වලින් ඉටු වූ අමතර අරමුණ කුමක්ද?
12 යේසුස් සමඟ සිටීමෙන් ප්‍රේරිතයන්ට ක්‍රිස්තුස්ගේ මනස යම් දුරකට හෝ තේරුම්ගත හැකි විය. ජනයා කෙරෙහි සැබෑ ප්‍රේමයක් සහ අනුකම්පාවක් පෙන්වීමට නම්, ඔවුන්ට රාජ්‍යය ගැන දේශනා කිරීමට සහ ඉගැන්වීමට අවශ්‍ය බව ඔවුන්ට පැහැදිලි විය. ඔවුන්ගේ යහපත් ක්‍රියාවල ප්‍රධාන අංගයක් වූයේ එම වැඩයයි. ඇත්තෙන්ම රෝගියෙකු සුව කිරීම වැනි යහපත් ක්‍රියාවකින් ඉටු වූ සේවය භෞතික පැත්තට සීමා වූයේ නැත. සුවයක් හෝ ආශ්චර්යවත් ආකාරයකින් ආහාර ලැබෙනවා නම්, ඇතැම් පුද්ගලයන් එවැනි දෙයකට ආකර්ෂණය වන බව අප කවුරුත් දන්නා දෙයකි. (මතෙව් 4:24, 25; 8:16; 9:32, 33; 14:35, 36; යොහන් 6:26) එනමුත් අත් වූ භෞතික ප්‍රයෝජනයට වඩා යේසුස් දෙවිගේ පුත්‍රයා බවත්, මෝසෙස් පුරෝකථනය කළ “අනාගතවක්තෘ” බවත් තේරුම්ගන්න ඒවා උපකාරවත් විය.—යොහන් 6:14; ද්විතීය කථාව 18:15.
13. ද්විතීය කථාව 18:18හි සඳහන් අනාවැකියට අනුව, ඉදිරියේදී පැමිණෙන්න සිටි “අනාගතවක්තෘ” කවර කාර්යභාරයක් ඉටු කරනු ඇද්ද?
13 යේසුස්ට “අනාගතවක්තෘ” යන නම දීමේ වැදගත්කම කුමක්ද? ඔහුගෙන් ඉටු විය යුතු ප්‍රධාන කාර්යභාරය කුමක්ද? මෙම “අනාගතවක්තෘ” සුප්‍රසිද්ධ වන්නේ, ආශ්චර්යවත් සුව කිරීම් සිදු කිරීමෙන්ද? කුසගින්නෙන් පෙළුණු අයට අනුකම්පාසහගතව ආහාර ලබා දීමෙන්ද? ද්විතීය කථාව 18:18 ඔහු ගැන කළ පුරෝකථනය සලකා බලන්න. “මම ඔවුන්ගේ සහෝදරයන්ගෙන් නුඹ [මෝසෙස්ට] සමාන අනාගතවක්තෘ කෙනෙකු ඔවුන්ට නැගුටුවා දී මාගේ වචන ඔහුගේ මුඛයෙහි තබන්නෙමි, මා ඔහුට අණකරන සියල්ල ඔහු ඔවුන්ට කියන්නේය.” එමනිසා, මුදු මොළොක් සැලකිල්ලක් දැක්වීමට ඉගෙනගත්තද, ක්‍රිස්තුස්ගේ මනස ඔවුන්ගේ දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ වැඩයෙහිදිත් පිළිබිඹු විය යුතු බව නිගමනය කිරීමට ප්‍රේරිතයන්ට හැකි විය. ජනයා සඳහා උපරිමයෙන් යහපත කළ හැක්කේ එමගිනුයි කියා ඔවුන්ට පැහැදිලි විය. මේ අනුව, රෝගාතුරයන් සහ දුප්පතුන්ට කෙටි කාලයකට හෝ කෑම වේල් දෙක තුනකට සීමා වූ ප්‍රයෝජන නොව සදාකාලික ප්‍රයෝජන අත් කරගැනීමට මං විවෘත විය.—යොහන් 6:26-30.
අදදින ක්‍රිස්තුස්ගේ මනස වර්ධනය කිරීම
14. ක්‍රිස්තුස්ගේ මනස තිබීම අපගේ දේශනා සේවයට සම්බන්ධ වන්නේ කෙසේද?
14 ක්‍රිස්තුස්ගේ මනස මුල් සියවසේ යේසුස් සහ මුල් ගෝලයන්ට පමණක් සීමා වූ දෙයක් ලෙස අපගෙන් කිසිවෙකු නොසැලකිය යුතුය. ප්‍රේරිත පාවුල් ලීවේ මෙසේය. “අපට ක්‍රිස්තුස්ගේ මනස ඇත.” (1 කොරින්ති 2:16, NW) ශුභාරංචිය දේශනා කර ගෝලයන් සෑදීමට අප බැඳී සිටින බව අප කවුරුත් පිළිගන්නවාට සැකයක් නැත. (මතෙව් 24:14; 28:19, 20) එනමුත්, එම වැඩය ඉටු කරද්දී අප කෙබඳු චේතනාවකින්ද එය කරන්නේ කියා සලකා බැලීම වැදගත්ය. එය නිකම්ම යුතුකමක් ඉටු කරන්නාක් මෙන් සිදු කළ යුත්තක් නොවේ. අප දේවසේවයෙහි හවුල් වීමට ප්‍රධාන හේතුවක් නම්, දෙවි සඳහා අපට තිබෙන ප්‍රේමයයි. තවද යේසුස්ට සමාන කෙනෙකු වීමට නම් දේශනා කිරීමට සහ ඉගැන්වීමට අප අනුකම්පාවෙන් පෙලඹිය යුතුය.—මතෙව් 22:37-39.
15. අපගේ ප්‍රසිද්ධ දේවසේවයේදී අනුකම්පාව විදහාපෙන්වීම උචිත වන්නේ මන්ද?
15 අපට උදාසීනකමක් දක්වන අය, අපව ප්‍රතික්ෂේප කරන අය හෝ අපට විරුද්ධවාදිකම් දක්වන අය හමු වෙද්දී, ඔවුන් ගැන අනුකම්පාවක් දැනීම පහසු දෙයක් නොවන බව අප පිළිගත යුතුය. නමුත් ජනයා සඳහා අපගේ ප්‍රේමය සහ අනුකම්පාව හීන වී ගියොත්, ක්‍රිස්තියානි දේවසේවයෙහි සහභාගි වීමට තිබෙන ඉතා වැදගත් පෙලඹවීමක් අපට අහිමිව ඇතැයි පැවසිය හැක. එසේ නම්, අනුකම්පාව යන ගුණාංගය අප වර්ධනය කරගන්නේ කෙසේද? යේසුස් ජනයා දෙස බැලූ ආකාරයට බැලීමට අප උත්සාහ කළ යුතුය. ඔහු ඔවුන්ව “එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය” අය වශයෙන් සැලකීය. (මතෙව් 9:36) අදදින බොහෝදෙනාගේ තත්වය මෙම විස්තරයට සමාන නොවේද? බොරු ආගමික එඬේරුන්ගේ ගොදුරු බවට පත් වී සිටින ඔවුහු, ආත්මික ලෙස අසරණව සහ අන්ධව සිටිත්. එමනිසා, බයිබලයෙහි තිබෙන ස්ථිරසාර උපදෙස්වත්, දෙවිගේ රාජ්‍යය තුළින් පොළොවෙහි ඇති වන පාරාදීසය ගැනවත් ඔවුන් දන්නේ නැත. ඔවුන්ට රාජ්‍යය පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් නොමැතිව දෛනික ජීවිතයේ ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීමට සිදු වේ. දුගීකම, පවුලේ ආරවුල්, අසනීප සහ මරණය ඉන් සමහරෙකි. එසේ නම්, ඔවුන්ට අවශ්‍යම දෙයක් අප සතුය. එය නම් ස්වර්ගයෙහි දැන් පිහිටුවා ඇති දෙවිගේ රාජ්‍යය පිළිබඳ ජීවිත-ගළවන ශුභාරංචියයි!
16. අප අන්‍යයන් සමඟ ශුභාරංචිය බෙදාගැනීමට ආශා විය යුත්තේ මන්ද?
16 අප වටා සිටින ජනයාගේ ආත්මික අවශ්‍යතාව ගැන මෙලෙස මෙනෙහි කරද්දී, දෙවිගේ ප්‍රේමනීය අරමුණ ගැන කියා දෙන්න ඔබට හැකි සෑම දෙයක්ම කිරීමට ඔබගේ හද පත්ලෙන්ම පෙලඹීමක් එන්නේ නැද්ද? ඔව්, අපි මේ සේවය කරන්නේ අනුකම්පාවෙන් පෙලඹෙන නිසාය. යේසුස්ට මෙන් අපටත් ජනයා කෙරෙහි අනුකම්පාවක් ඇත්නම්, අපගේ කටහඬින්, මුහුණේ ඉරියව්වෙන් සහ උගන්වන ආකාරයෙන් එය දැකගත හැකි වෙයි. එසේ නම්, “සදාකාල ජීවනය සඳහා නිසි නැඹුරුවාවක් ඇති” අය සඳහා අපගේ පණිවිඩය වඩාත් සිත්ගන්නා එකක් කිරීමට අප සැමෝම උත්සාහ කළ යුතුය.—ක්‍රියා 13:48, NW.
17. (අ) අන්‍යයන් සඳහා අපගේ ප්‍රේමය සහ අනුකම්පාව විදහාපෙන්විය හැකි ඇතැම් ක්‍රම මොනවාද? (ආ) යහපත් ක්‍රියා හා ප්‍රසිද්ධ දේවසේවයෙහි සහභාගි වීම අතුරින් එකක් පමණක් තෝරාගැනීම අපට කළ නොහැක්කේ මන්ද?
17 කෙසේවෙතත්, අපගේ ප්‍රේමය සහ අනුකම්පාව අපගේ ජීවිතයේ සෑම අංගයක් තුළම විදහාපෙන්විය යුතුය. එමනිසා, අගහිඟකම් ඇති අයට, රෝගාතුරයන් සහ දුප්පතුන්ට කරුණාව පෑම අවශ්‍ය වේ. ඇත්තෙන්ම ඔවුන් විඳින දුක තුනී කිරීමට අපට කළ හැකි දේ අප කළ යුතුය. වියෝ දුකින් පෙළෙන්නන්ගේ දුක තුනී කිරීමට කතාවෙන් සහ ක්‍රියාවෙන් අප දරන වෑයමද මීට ඇතුළත්ය. (ලූක් 7:11-15; යොහන් 11:33-35) එනමුත්, ඇතැම් මානව හිතවාදීහු පෙන්නුම් කරන ප්‍රේමය, කරුණාව සහ අනුකම්පාව එවැනි යහපත් ක්‍රියාවලට පමණක් සීමා කරති. එය අපගේ පරමාර්ථය නොවිය යුතුය. වඩා වැදගත් වන්නේ, ඒ හා සමාන දිව්‍ය ගුණාංගවලින් පෙලඹී, ක්‍රිස්තියානි දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ වැඩයෙහි සහභාගි වීමය. මෙහිදී, යේසුස් යුදෙව් ආගමික නායකයන්ට කියූ දේ සැලකිල්ලට ගැනීම වටී. “නුඹලා සුවඳතලාය, ශතපුෂ්පය, සුදුදුරුය යන මෙයින් දසයෙන් කොටසක් දෙන්නහුය. නුමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා නුඹලා විසින් අත්හැර තිබේ. ඒ දේවලුත් නෑර මේවාත් කටයුතුව තිබුණේය.” (මතෙව් 23:23) යේසුස් මෙයින් එක් දෙයක් කර අනික් දෙය අතපසු කළේ නැත. යේසුස් ජනයාට භෞතික උපකාර ලබා දීම හා ජීවනය ගෙන දෙන ආත්මික කාරණා ඔවුන්ට ඉගැන්වීම යන දෙකෙන් එකක් පමණක් තෝරාගත්තේ නැත. ඔහු ඒ දෙකම කළේය. එනමුත් මුල් තැන දුන්නේ සදාකාලික යහපතක් ගෙන දුන් ඔහුගේ ඉගැන්වීමේ කර්තව්‍යයට බව පැහැදිලිය.—යොහන් 20:16.
18. ක්‍රිස්තුස්ගේ මනස මෙලෙස සලකා බැලීම අප තුළ කුමන පෙලඹීමක් ඇති කළ යුතුද?
18 යෙහෝවා අපට ක්‍රිස්තුස්ගේ මනස එළිදරව් කිරීම ගැන අපට කොතරම් කෘතඥපූර්වක විය හැකිද! සුවිශේෂ වාර්තා ඇසුරෙන්, මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයාගේ සිතුවිලි, හැඟීම්, ගුණාංග, ක්‍රියාවන් සහ ඔහුගේ ප්‍රමුඛතාවන් මොනවාදැයි තවත් හොඳින් දැනගැනීමට අපට හැකි වී තිබේ. එසේ නම්, බයිබලය යේසුස් ගැන හෙළි කරන දේ කියවා, ඒ ගැන මෙනෙහි කර ක්‍රියාවට නැංවීම අපගේ යුතුකමයි. යේසුස් මෙන් ක්‍රියා කිරීමට නම්, අසම්පූර්ණ මනුෂ්‍යයන් වන අපගේ උපරිම හැකියාවෙන්, ඔහු මෙන් කල්පනා කිරීමට, හැඟීම් ඇතුව සිටීමට සහ කාරණා කිරා මැන බැලීමට අප උත්සාහ කළ යුතුය. ඔව්, ක්‍රිස්තුස්ගේ මනස වර්ධනය කර විදහාපෙන්වීමට අපි අදිටන් කරගනිමු. යේසුස් ජීවත් වූ අයුරින්ම ජීවත් වීම හා ඔහු අන්‍යයන්ව සැලකූ ආකාරයට සැලකීම තරම් තවත් හොඳ ක්‍රමයක් නැත. අපගේ දයාබර දෙවි වූ යෙහෝවාට කිට්ටු වීමට අපටත් අන්‍යයන්ටත් තිබෙන හොඳම ක්‍රමය එයයි.—2 කොරින්ති 1:3; හෙබ්‍රෙව් 1:3.
ඔබේ අදහස් මොනවාද?
• අවශ්‍යතාවලින් පෙළුණු අයව දකිද්දී යේසුස් බොහෝවිට ප්‍රතිචාරය දැක්වූ ආකාරය ගැන බයිබලය අපට හෙළි කරන්නේ කුමක්ද?
• යේසුස් තම අනුගාමිකයන්ට මඟ පෙන්වද්දී, ඔහු වැඩියෙන් අවධාරණය කළේ කුමක්ද?
• අපගේ ක්‍රියාකාරකම්වලදී අපට “ක්‍රිස්තුස්ගේ මනස” විදහාපෙන්විය හැක්කේ කෙසේද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[23වන පිටුවේ මුළු පිටුවේම පින්තූරය]
[24වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානීන්ට අන්‍යයන් උදෙසා කළ හැකි උපරිම යහපත කුමක්ද?