අකුරු ශාස්ත්‍රය හඳුන්වා දුන් රජෙක්
අකුරු ශාස්ත්‍රය හඳුන්වා දුන් රජෙක්
කැමරූන්හි පිබිදෙව්! ලේඛක විසින්
බටහිර කැමරූන් රටේ බේමම් නම් ජාතියේ 17වෙනි රජ වූයේ ඉබ්‍රාහිම් නයෝයා නම් රජයි. ඔහුගේ පාලන සමය 1889 සිට 1933දී ඔහු මිය යන තෙක්ම පැවතුණා. ඒ කාල වකවානුවේදී ප්‍රංශ හා ජර්මානු ජාතිකයන් ඔහු පාලනය කළ දේශය අත්පත් කරගැනීමට වෙර දරමින් සිටියා. දහහතර වන සියවසේ සිට මෙම දේශය පාලනය කළ අයගේ නම් ලැයිස්තුවක් ඊළඟ පිටුවේ දැක්වෙනවා.
නයෝයා රජ ඔහුගේ තරුණ කාලයේ පටන්ම ඉතා දක්ෂ පුද්ගලයෙක්. මේ නිසාම ඔහු වැඩියෙන්ම ආශ්‍රය කිරීමට කැමති වුණේද දැන උගත් අයවයි. ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳවද ඔහුට තිබුණේ මානා දැනුමක්. මෙහි දක්වා ඇති ඔහුගේ රජ මාලිගාවේ පින්තූරය එයට කදිම සාක්ෂියක් සපයනවා. මෙහි ඇති ඊළඟ පින්තූරයේ දක්නට තිබෙන තිරිඟු ඇඹරුම් යන්ත්‍රය නිර්මාණය කරනු ලැබුවේද මෙම රජ විසිනුයි. ඔහුගේ දක්ෂකම වඩාත් කැපී පෙනෙන්නේ ඔහු බේමම් භාෂාව ලිවීම සඳහා සොයාගත් අක්ෂර ක්‍රමය නිසයි.
ලිඛිතව වාර්තා කර තැබීමට ක්‍රමයක්
දහනවවන සියවසේ අගභාගය වන තුරුම බේමම් ජාතියේ ඉතිහාසය රැකුණේ පරම්පරාවෙන් පරම්පරාවට පැමිණි තොරතුරු මතයි. මෙමගින් යම් වටිනා අදහස් ගිලිහී යාමේ මෙන්ම වැඩිපුර අදහස් එකතු වීමේ අවදානම රජ තේරුම්ගත්තා. ඔහුට මේ සඳහා යම් පිළියමක් යොදන්න අවශ්‍ය වුණා. දේශය හරහා ගමන් ගත් අරාබි වෙළඳුන්ගෙන් ඔහු පොත් පත් ලබාගෙන තිබූ නිසා ඔහුට අරාබි භාෂාව ගැන යම් දැනුමක් තිබුණා. එමෙන්ම අතීතයේ ලයිබීරියාවේ භාවිත කළ වයි අක්ෂර ගැනත් යම් දැනුමක් ඔහුට තිබෙන්න ඇති. මේ සියලු දැනුම තමන්ගේ භාෂාව ලිවීමට ක්‍රමයක් සොයාගැනීම සඳහා ඔහුට රුකුලක් වුණා.
ඔහු ආරම්භයක් ලෙස භාෂාව ලිඛිතව දැක්වීම සඳහා රූපාක්ෂර සිය ගණනක් හඳුන්වා දුන්නා. නමුත් රූපාක්ෂර මතක තබාගැනීම එහි වැසියන්ට මහත් අභියෝගයක් වුණා. මේ හේතුව නිසා කාලයත් සමඟ ඔහුගේ සහයකයන්ගේද උපකාරය ඇතුව ඔහු මේ ක්‍රමය සරල කළා. ඔවුන් රූපාක්ෂර භාවිතය අඩු කර අක්ෂර හඳුන්වා දුන්නා. මෙම අක්ෂර එකතු කිරීමෙන් වචන සාදාගැනීමට ඔවුන්ට හැකි වුණා. මෙම ක්‍රමය ඉගෙනගන්නා කෙනෙකුට අවශ්‍ය වුණේ අකුරු ටික හා ඒවා ශබ්ද කරන ආකාරය ගැන ඉගෙනගැනීම පමණයි. නයෝයා රජ මෙම ලිවීමේ ශෛලිය ආකැයුකු කියා හැඳින්වූවා. මෙයට අක්ෂර 70ක් ඇතුළත් වුණා.
නයෝයා රජ මෙම ලිවීමේ ක්‍රමය සියලුම පාසැල්වල මෙන්ම රජයේ කාර්යාලවලද භාවිත කිරීමට උනන්දු කළා. ඔහුගේ අධීක්ෂණය යටතේ ඔහුගේ රාජ වංශය මෙන්ම රටේ ඉතිහාසයද ලියා තැබීමට ඔහු කටයුතු කළා. මෙම ක්‍රමය භාවිත කර බෙහෙත් වට්ටෝරු පවා ඔහු විසින් ලියා තැබුවා. මාලිගාවේ එවැනි ලියවිලි 8,000කට වඩා වැඩි ප්‍රමාණයක් අද දක්වා සුරක්ෂිතව තිබෙනවා. බේමම් ජනයාට පළමුවෙනි වතාවට තම රටේ නීති හා චාරිත්‍ර වාරිත්‍ර වැනි දේ ගැන කියවා දැනගැනීමට හැකි වුණේද මෙම ලිවීමේ ක්‍රමය ආරම්භ වුණාට පසුවයි.
මෙම ලිවීමේ ක්‍රමය වඩාත් ප්‍රයෝජනවත් වූයේ ජර්මානු ජාතිකයන් 1902දී එම ප්‍රදේශය අත්පත් කරගැනීමෙන් ටික කලකට පසුවයි. ජර්මානු ජාතිකයින්ගේ පැමිණීම නිසා රටේ ආර්ථිකයට සිදු වන වාසි ගැන රජ සතුටට පත් වූවද ඔවුන්ගේ සෑම අදහසකටම ඔහු එකඟ වුණේ නැහැ. ඒ කාලයේදී ජර්මානු ජාතිකයින්ට හුරු නැති මෙම ලිවීමේ ක්‍රමය ඔහු බෙහෙවින් ප්‍රයෝජනයට ගත්තා. නමුත් මෙම ලිවීමේ ක්‍රමය පැවතුණේ කොතරම් කාලයකටද?
පළමුවෙනි ලෝක මහා යුධ සමයේදී (1914- 1918) ජර්මානුවන්ට නයෝයා රජගේ පාලනය යටතේ තිබුණු දේශය අහිමි වුණා. ඉන්පසු අලුතින් පිහිටුවන ලද ජාතීන්ගේ සංගමය මගින් බේමම් දේශය ප්‍රංශයට භාර දුන්නා. නයෝයා රජ ඔවුන්ගේ අලුත් අදහස්වලට කැමති වුණා. ඒත් තමන්ගේ ජාතියේ උරුමයන් හා සංස්කෘතිය කෙරෙහි ලොකු ඇල්මක් දැක්වූ නිසා කාලයත් සමඟ ඔහු ප්‍රංශයේ අධිකාරියට විරුද්ධ වුණා. පාලකයන්ට පක්ෂපාත නොවන අයට අත් වන දේම නයෝයා රජටත් අත් වුණා. එනම් 1931දී ප්‍රංශ අධිකාරිය මගින් ඔහුව තනතුරෙන් ඉවත් කරනු ලැබූ අතර ඉන් වසර දෙකකට පසු ඔහු මිය ගියා.
ප්‍රංශ අධිකාරීන් විසින් බේමම් භාෂාව ලිවීමේ ක්‍රමය තහනම් කිරීමත් එය දිගටම පවත්වාගෙන යෑමට නයෝයා රජගේ අනුබලය නොලැබීම නිසාත් වැඩි කල් නොගොස් එය බොහෝදෙනාගේ මතකයෙන් ගිලිහී ගියා. කෙසේවෙතත් එම ප්‍රදේශයට වෙනත් රටවලින් පැමිණි ආගමික කණ්ඩායම් යම් වෙනසක් සිදු කළා. ඔවුන් බේමම් ජනයාගේ භාෂාව ඉගෙනගත් අතර ව්‍යාකරණ ඇතුළත් අලුත් ලිවීමේ ක්‍රමයක් පාසැල්වලට හඳුන්වා දුන්නා. නයෝයා රජ මෙන් නොව මොවුන් මෙම ලිවීමේ ක්‍රමය සඳහා ඉලක්කම් මෙන්ම අක්ෂර ශබ්ද කිරීමේ ක්‍රමය රෝම භාෂාවෙන් ලබාගත්තා.
නවීන දින සුල්තාන්වරයා වන ඉබ්‍රාහිම් බොම්බෝ නයෝයා මෑතකදී බේමම් භාෂාව ලිවීමේ ක්‍රමය කෙරෙහි තවත් උනන්දුව වැඩි කිරීම සඳහා යම් පිළියමක් යොදා තිබෙනවා. එනම් තමාගේ සීයා සෑදූ මාලිගාවේ පාසැලක් ආරම්භ කිරීමයි. එම දේශයේ දරුවන් එහි අකුරු ශාස්ත්‍රය ඉගෙනගනිමින් සිටිනවා. මෙමගින් බේමම් භාෂාවේ අකුරු ශාස්ත්‍රය කිසිදා අමතක නොවෙනු ඇති.
[27වන පිටුවේ පින්තූරය]
වම් පැත්තේ රෝම අක්ෂරවලින්ද දකුණු පැත්තේ බේමම් අක්ෂරවලින්ද දක්වා ඇත්තේ 14වන සියවසේ සිට අද දක්වා පැවත එන බේමම් රජ පෙළපතයි
[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
All photos: Courtesy and permission of Sultan Ibrahim Mbombo Njoya, Foumban, Cameroon