Skip to content

පටුනට යන්න

ඡායාරූපයේ සුල මුල

ඡායාරූපයේ සුල මුල

ඡායාරූපයේ සුල මුල

ස්වීඩනයේ පිබිදෙව්! ලේඛක විසින්

ඉතාලි ජාතික චිත්‍ර ශිල්පියෙකු වූ ජ්‍යාම්බාතීස්තා ඩෙල්ලා පෝර්ටාගේ (1535?-1615) අමුත්තන් බිය වූ අවස්ථාවක් ගැන කතා පුවතක් තිබෙනවා. ඔවුන් බලාගෙන සිටියදී එකපාරටම බිත්තියේ රූප පෙළක් දිස් වෙලා. මිනිස්සු කට්ටියක් ඔළුවෙන් එහාට මෙහාට යනවා දැක්ක අමුත්තන් බය වෙලා කාමරයෙන් එළියට පැනලා. අද්භූත වැඩක් කිරීමේ වරදට ඩෙල්ලා පෝර්ටාට විරුද්ධව නඩු දාලා!

තම අමුත්තන්ව විනෝද කරන්න ගිය ඔහුට ලැබුණු ත්‍යාගය එයයි. ලතින් බසින් “අඳුරු කාමරය” යන අර්ථය ඇති ඔබ්ස්කියුරා කැමරාව හඳුන්වා දීමටයි ඔහු උත්සාහ කළේ. එහෙත් මේ කතාවයි නවීන දින ඡායාරූපයයි අතර තිබෙන සම්බන්ධය මොකක්ද? කැමරාවක් ක්‍රියාත්මක වන ආකාරය ඉතා සරල වුවත් එයින් ලැබෙන දේට කවුරුත් කැමතියි. එය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

අඳුරු පෙට්ටියකට හෝ අඳුරු කාමරයකට කුඩා සිදුරකින් ආලෝකය පතිත වූ විට පිටත තිබෙන දෙයක් කාමරය හෝ පෙට්ටිය ඇතුළේ ඇති මතුපිටක දිස් වන්නේ උඩු යටිකුරුවයි. ඩෙල්ලා පෝර්ටාගේ අමුත්තන් දැක්කේ අද්භූත දෙයක් නෙවෙයි නමුත් කාමරයෙන් පිටත සිටි නළු නිළියන්වයි. කැමරාවක් කියන දේ අද දින අමුතු දෙයක් නොවෙයි. අඩු මිලකට පවා ඒවා ගත හැකියි. එහෙත් නවීන දින කැමරාවේ ආදි පියා එදා තිබූ ඔබ්ස්කියුරා කැමරාවයි.

ඔබ්ස්කියුරා කැමරාව, ඩෙල්ලා පෝර්ටාගේ කාලයේ සොයාගත් අලුත් දෙයක් නොවෙයි. ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් (ක්‍රි.පූ. 384-322) ඒ වන විටත් අඳුරු කාමරයක පුංචි සිදුරකින් මැවෙන රූ සටහන් නිරීක්ෂණය කර තිබුණා. පසු කලෙක කැමරාවේ ක්‍රියාකාරිත්වයට දායක වුණේ එයයි. දහවන සියවසේ විසූ අරාබි ජාතික විශාරද අල්හසේන් එය ක්‍රියාත්මක වන ආකාරය ගැන පැහැදිලි විස්තරයක් කළ අතර 15වන සියවසේ සිටි ලියනාඩෝ ඩා වින්චි ඒ ගැන ඔහුගේ පොත්වල සඳහන් කර තිබුණා. දාසයවන සියවසේදී කාච භාවිතය පටන්ගැනීමත් සමඟම කැමරාවේ තත්වය තවත් දියුණු වූ නිසා දුරින් තිබෙන දේවල් ලොකු කර හෝ කුඩා කර බැලීමෙන් එම දේවල අනුපාතවල සමානත්වයට අනුව චිත්‍ර ඇඳීමට බොහෝ චිත්‍ර ශිල්පීන්ට හැකි වුණා. කෙසේවෙතත් 19වන සියවස තෙක්ම කැමරාවෙන්ම ගත හැකි කල්පවතින ඡායාරූප ගැනීමේ ක්‍රමය සොයාගෙන තිබුණේ නැහැ.

ප්‍රථම ඡායාරූප ශිල්පියා

වර්ෂ 1816 මුල් කාලයේදී ප්‍රංශ ජාතිකයෙකු වූ භෞතික විද්‍යාඥ ෂෝසෙෆ් නීසේෆො නියෙප්ස් ඡායාරූප ගැනීමේ ක්‍රමය සොයාගැනීමට වෙහෙසක් දරමින් සිටියා. එහෙත් ඔහු සාර්ථක වුණේ මුද්‍රණය කිරීම සඳහා භාවිත කළ ද්‍රව්‍යයකින් අත්හදා බැලීමක් කිරීම තුළිනුයි. බිටුමන් නමැති එම ද්‍රව්‍ය මත ආලෝකය පතිත වෙද්දී එහි වෙනසක් සිදු වන බව ඔහු දැක්කා. තව පියවරක් ඉදිරියට තබමින් ඊයම් මිශ්‍ර ලෝහ තහඩුවක බිටුමන් තවරා එය ඔබ්ස්කියුරා කැමරාවක සවි කර, පැය අටක් ආලෝකයට නිරාවරණය වන සේ ජනේලය අසල තැබුවා. ඔහු එම ක්‍රමයෙන් සේයා රූ මැව්වේ 1820 ගණන්වල මැදභාගයේදීයි. ඔහු ලැබූ ප්‍රතිඵලය නවීනදින ඡායාරූපයකට කොහෙත්ම සමාන කළ නොහැකි වුවත් ප්‍රථම ඡායාරූපය එයයි.

තවදුරටත් ඔහුගේ නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට 1829දී ඔහු බලවත් ව්‍යාපාරිකයෙකු වූ ලුවී ඩැගේයර් සමඟ හවුල් වුණා. නියෙප්ස් 1833දී මියගියත් ඩැගේයර් දිගටම එහි නිපුණයෙක් වෙමින් සිටියා. තඹ තහඩුව මත බිටුමන් ආලේප කරනවාට වඩා රිදී ලවණ ආලේප කළ විට එය ආලෝකයට ඉක්මනින් ප්‍රතික්‍රියා කරන බව ඔහු සොයාගත් අතර එම තහඩුව මත රසදිය තැවරුණ විට පින්තූරය ඊටත් වඩා පැහැදිලි බව අහම්බෙන් සිදු වුණ දෙයකින් ඔහු සොයාගත්තා. මේනිසා ඡායාරූපයක් ගන්නා විට වැඩි වේලාවක් ආලෝකයට නිරාවරණය කිරීමට අවශ්‍ය වුණේ නැහැ. ඊට අමතරව තහඩුව ලවණ ද්‍රාවණයකින් සේදීමෙන් කල් යද්දී පින්තූරය අඳුරු වීමෙන් වළක්වාගත හැකි බවත් ඔහුට සොයාගන්න හැකි වුණා. මේ සියල්ල ඡායාරූප ශිල්පයට ලොකු වාසියක් වන නිසා ඔහු සූදානම් වුණේ මුළු ලෝකයටම එය හඳුන්වා දීමටයි.

ලොවට හඳුන්වා දී

ඩැගේයර් සොයාගත් නිසා එය නම් කළේ ඩැගේයරියෝටයිප් ලෙසයි. වර්ෂ 1839දී එය මහජනයාට ඉදිරිපත් කළ විට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ප්‍රවීණයෙකු වූ හෙල්මූට් ගර්න්ෂයිම් ලියූ පොතක මෙසේ සඳහන් වුණා. “ක්ෂණිකව ජනතාවගේ සිත ඇදගත් ඩැගේයරියෝටයිප් කැමරාවට ලැබුණ ප්‍රතිචාරය තරම් විශාල ප්‍රතිචාරයක් වෙන කිසිම සොයාගැනීමකට ලැබී නැහැ.” (එම පොත The History of Photography) මෙය හඳුන්වා දුන් ආකාරය සියැසින් දුටු තැනැත්තෙක් මෙසේ ලිව්වා. “පැයක් යද්දී මේ අලුත් ක්‍රමයට ඡායාරූප ගැනීම සඳහා අවශ්‍ය උපකරණ ලබාගැනීමට සෙනඟ ඇස් කණ්ණාඩි සාප්පුවලට ඇදී ආවත් ඉල්ලුම තරමට සැපයීමට ප්‍රමාණවත් උපකරණ එහි තිබුණේ නැහැ. දවස් කීපයකට පසු පැරිසියේ පල්ලි හා මාළිගා ඉදිරිපිට මෙන්ම බොහෝ තැන්වල කකුල් තුනේ ආධාරක මත රඳවා තිබුණ මේ කැමරාව දක්නට ලැබුණා. පැරිසියේ භෞතික හා රසායනික විද්‍යාඥයන් මෙන්ම වෙනත් උගතුන්ද වෙළඳ ව්‍යාපාරිකයන්ද ඡායාරූප ශිල්පීන් වීමට මුදල් විසි කළා.” මෙය පිස්සුවක් බවට පත් වුණා.

මෙම අනර්ඝ කැමරාව ගැන බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයෙකු වූ ජෝන් හර්ෂල් පෙලඹුණේ මෙවැන්නක් ලිවීමටයි. “ඩැගේයරියෝටයිප් කැමරාවලට විජ්ජාකාරයන් කිව්වත් එහි වරදක් නැහැ.”

මේ සොයාගැනීම කරන්න ඇත්තේ අද්භූත බලයකින් කියාත් සමහරු පවසනවා. එහෙත් මෙම අලුත් සොයාගැනීම හැමදෙනාගේම ප්‍රසාදයට ලක් වුණේ නැහැ. ඉතාලියේ නේපල්ස්හි රජ 1856දී ඡායාරූප ශිල්පය තහනම් කළේ “ඇස්වහ” වදින්නක් කියා කල්පනා කළ නිසා විය හැකියි. ඩැගේයරියෝටයිප් කැමරාව ගැන ප්‍රංශ චිත්‍ර ශිල්පියෙකු වූ පෝල් ඩෙලරෝෂ් “අදින් පස්සේ තෙළිතුඩෙන් මැවෙන සිත්තම්වලට කන කොකා හඬයි” කියා සිත්තැවුලෙන් පැවසුවා. මෙම අලුත් සොයාගැනීම තමන්ගේ ජීවන මාර්ගයට පහරක් වෙයි කියාත් වෙනත් චිත්‍රශිල්පීන් කනස්සලු වුණා. එක් විස්තර විචාරකයෙක් ඔවුන්ගෙන් සමහරු බිය වන දේ ගැන මෙසේ පැවසුවා. “කෙනෙකුගේ රූපයක් අඳින විට එය ලස්සන කරන්න චිත්‍රශිල්පියෙකුට හැකියාව තිබුණත් ඡායාරූපයකින් කෙනෙකුගේ නියම රූපය දිස් වෙන එක ප්‍රශ්නයක්.” ඡායාරූපවලින් කෙනෙකුගේ සැබෑ රූපය දක්වන නිසා සුන්දර යොවුන් පෙනුමක් මැවීමට තිබෙන ඉඩ කඩ අඩු වෙන බවටත් විවේචනය කරනු ලබනවා.

ඩැගේයර්ට වඩා වෙනස් ටෝල්බට්

භෞතික විද්‍යාඥයෙකු වන ඉංග්‍රීසි ජාතික විලියම් හෙන්රි ෆොක්ස් ටෝල්බට් විශ්වාස කළේ තමන් ඡායාරූප ශිල්පය සොයාගත් බවයි. එමනිසා ඩැගේයර්ගේ සොයාගැනීම ගැන නිවේදනය කළ විට ඔහු පුදුමයට පත් වුණා. ටෝල්බට් පින්තූර ගත්තේ ඩැගේයර්ගේ ක්‍රමයට වඩා ටිකක් වෙනස් ක්‍රමයකටයි. ඔහු රිදී ලවණ ආලේප කළ කඩදාසි කොළ ඔබ්ස්කියුරා කැමරාවට දමා ඡායාරූප ගත්තා. ඉන්පසු ඡායාරූපය මත ඉටි ගා එයට උඩින් රිදී ලවණ ආලේප කළ තවත් කොළයක් තබා එය හිරුඑළියට නිරාවරණය කළා. මේ ආකාරයෙන් ඔහුට හැකි වුණා පැහැදිලි ඡායාරූපයක් ගන්න.

මුලදී එතරම් ජනප්‍රිය නොවී, ගුණයෙන් පහත් මට්ටමක තිබුණත් ටෝල්බට්ගේ ප්‍රයත්නයට රිදී රේඛාවක් පායන ලකුණු තිබුණා. එක නෙගටිව් ඡායාවකින් පින්තූර කීපයක් ගත හැකි වූ අතර කොළවලින් ලබාගන්නා පිටපත්වලට වැය වුණේ සුළු මුදලක්. ඩැගේයර්ගේ ක්‍රමයට වඩා මෙය පහසු වුණා. නවීන දින ඡායාරූප ශිල්පයේ මව් ශිල්පය ටෝල්බට්ගේ ශිල්පය ලෙස හැඳින්විය හැකියි. ඩැගේයරියෝටයිප් කැමරාවට මුලින් ජනප්‍රියත්වයක් ලැබුණත් පසු කලෙක එම වර්ගයට තැනක් නැති වුණා.

ඡායාරූප ශිල්පයේ පියා ලෙස විරුදාවලිය ලබන්නේ නියෙප්ස්, ඩැගේයර් සහ ටෝල්බට් පමණක් නෙවෙයි. වර්ෂ 1839දී ඩැගේයර්ගේ නිවේදනයෙන් පසු උතුරේ නෝර්වේ සිට දකුණේ බ්‍රසීලය දක්වා රටවල විසූ අයගෙන් අඩුම තරමින් 24දෙනෙකුවත් තමන් ඡායාරූපය සොයාගත් බව පැවසුවා.

ඡායාරූප ශිල්පයෙන් සිදු කළ විශාල වෙනසක්

දිලිඳුකම හා දුක් වේදනා ජනතාවගේ අවධානයට යොමු කිරීමට මහඟු ප්‍රස්තාවක් ඡායාරූප ශිල්පයෙන් උදා වන බව සමාජ සුබසාධනය තකා වැඩ කළ ජේකබ් ඕගස්ට් රීස්ට වැටහුණා. වර්ෂ 1880දී ඔහු අලුත් වැඩක් ආරම්භ කළා. අඳුර වැටුණු පසු නිව් යෝර්ක් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශවල පින්තූර ගත්තා. ඒ සඳහා පැතලි භාජනයක මැග්නීසියම් කුඩු දහනය කර එයින් ආලෝකය විහිදෙව්වා. එය අවදානම් සහිත දෙයක්. ඔහු එම අත්හදා බැලීම් කරද්දී දෙවරක්ම ඔහුගේ නිවස ගිනි ගත් අතර වරක් ඔහුගේ ඇඳුම් පවා පිළිස්සී ගියා. එහෙත් ඔහු ගත් ඡායාරූප සාර්ථකයි. තියඩෝර් රූස්වෙල්ට් ජනාධිපති වී ධවලමන්දිරයට ගිය විට සමාජ ප්‍රතිසංස්කරණයන් කීපයකටම අතගැසීමට එක් හේතුවක් වුණේ ඔහු ගත් පින්තූර දැකීමයි. විලියම් හෙන්රි ජැක්සන් ගත් අලංකාර ඡායාරූප කීපයක් දුටු එ.ජ. කොන්ග්‍රසය 1872දී ලෝකයේ මුල්ම ජාතික උද්‍යානය වන යෙලෝස්ටෝන් උද්‍යානය පිහිටුවන්න පෙලඹුණා.

හැමෝටම විවෘත වුණා

ඡායාරූප ශිල්පීන් වීමට කැමැත්තක් තිබූ බොහෝදෙනෙක් 1880 ගණන්වල අග භාගය වන විටත් පියවරක් ඉදිරියට තබන්න අදිමදි කළේ එය අධික වියදමකින් යුත් සංකීර්ණ ශිල්පයක් නිසයි. එහෙත් 1888දී ජෝර්ජ් ඊස්ට්මන් කොඩැක් කැමරාව නිපදෙව්වා. එය පහසුවෙන් එහාට මෙහාට ගෙන යා හැකි කැමරාවක් වූ අතර එයට යොදාගත්තේ චලනය කළ හැකි දළ සේයා පටයක්. මෙයින් ඡායාරූප ශිල්පීන්ට මං එළිපෙහෙළි කළා.

පින්තූර ගන්නා තැනැත්තා දළ සේයා පටය සම්පූර්ණ වන තුරු පින්තූර ගත් පසු දළ සේයා පටය සහිත කැමරාව කර්මාන්ත ශාලාවට යවනවා. පින්තූර සුද්ද කරන්නෙත් කැමරාවට යළි අලුත් පටයක් දමන්නෙත් එහිදීයි. පසුව සුද්ද කළ පින්තූර සහ කැමරාව අයිතිකරුට යවනවා. මේ සියල්ල ඉතා සුළු වියදමකින් කරගත හැකි වූ නිසා “ඔබ බොත්තම ඔබන්න. අපි ඉතිරි ටික කර දෙන්නම්” යන උද්‍යෝග පාඨයත් ඊට කදිමෙට ගැළපුණා.

දැන් ඕන කෙනෙකුට ඡායාරූප ගන්න පුළුවන්. අද දින වාර්ෂිකව බිලියන ගණන් ඡායාරූප ගැනීමෙන් ඇඟවෙන්නේ ඡායාරූප ශිල්පය කාගෙත් සිත් ගෙන ඇති බවයි. දැන් ඡායාරූප ශිල්පීන්ට තවත් පහසු කරවමින් ඩිජිටල් කැමරාව නිපදවා තිබෙනවා. ඒවාවල දළ සේයා පටයක් වෙනුවට තිබෙන්නේ පින්තූර සියගණනක් ගැනීමට හැකි කරවන දත්ත කැවූ පුංචි චිප් එකක්. මෙයින් ගන්නාවූ ඡායාරූප පරිගණකයක් හා මුද්‍රණ යන්ත්‍රයක් භාවිතයෙන් නිවසේදීම උසස් ගණයේ පින්තූර මුද්‍රණය කළ හැකියි. මෙම දියුණුවෙන් පෙනී යන්නේ, ඡායාරූප ශිල්පය දුර කතර ගෙවා දිගු ගමනක් ඇවිත් තිබෙන බවයි.

[20වන පිටුවේ පින්තූරය]

ඩැගේයරියෝටයිප් කැමරාවෙන් ගත් පැරිසියේ දර්ශනයක්, 1845දී පමණ

[20වන පිටුවේ පින්තූරය]

මෙම පිටපත මුල්ම ඡායාරූපයෙන් විය හැකියි, 1826දී පමණ

[20වන පිටුවේ පින්තූරය]

බොහෝ චිත්‍රශිල්පීන්ට උපකාරවත් වූ ඔබ්ස්කියුරා කැමරාවේ චිත්‍රයක්

[21වන පිටුවේ පින්තූරය]

නියෙප්ස්

[23වන පිටුවේ පින්තූර]

ඩැගේයරියෝටයිප් කැමරාව නිපදවූ ලුවී ඩැගේයර් සහ එම කැමරාව 1844දී

[23වන පිටුවේ පින්තූර]

විලියම් ටෝල්බට්ගේ ස්ටුඩියෝව සහ ඔහුගේ කැමරා, 1845දී පමණ

[23වන පිටුවේ පින්තූර]

ජෝර්ජ් ඊස්ට්මන් තම කොඩැක් අංක 2 කැමරාව අතැතිව, දළ සේයා පට සහිත අංක 1 කැමරාව පසෙකින්, 1890දී

[23වන පිටුවේ පින්තූර]

යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය ලෙස නම් කිරීමට පෙර ගත් සුන්දර ඡායාරූපය ඩබ්ලියු. එච්. ජැක්සන් විසින්,1871දී

[23වන පිටුවේ පින්තූර]

චිපයක් සහිත නවීන පන්නයේ ඩිජිටල් කැමරාවක්

[20වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Panoramic of Paris: Photo by Bernard Hoffman/Time Life Pictures/Getty Images; Niepce’s photograph: Photo by Joseph Niepce/Getty Images; camera obscura: Culver Pictures

[22වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Page 23: Talbot’s studio: Photo by William Henry Fox Talbot & Nicholaas Henneman/Getty Images; Talbot’s camera: Photo by Spencer Arnold/Getty Images; Kodak photo, Kodak camera, and Daguerre camera: Courtesy George Eastman House; Yellowstone: Library of Congress, Prints & Photographs Division, LC-USZ62-52482