ජීවිත කතාව

උදාර උපදේශකයාණන් ජීවිත කාලේ පුරාවටම මට ඉගැන්නුවා

උදාර උපදේශකයාණන් ජීවිත කාලේ පුරාවටම මට ඉගැන්නුවා

හමුදා මුරපොළවල්, ගිනි අවුළපු මාර්ග බාධක, සුළි කුණාටු, සිවිල් යුද්ධ, ගෙවල් දාලා තැනින් තැනට යන්න වුණ එක මායි, මගේ නෝනායි සේවේ කරද්දී අද්දැකපු සමහර දේවල් විතරයි. ඒ මොන අභියෝග ආවත් අපි ගත කරපු ඒ ජීවිතේ ගැන අපි පොඩ්ඩක්වත් දුක් වෙන්නේ නෑ. ඒවා මැද යෙහෝවාගේ උදව්, ආශීර්වාද අපි අද්දැක්කා. අපේ උදාර උපදේශකයාණන් විදිහට ඔහු අපිට ගොඩක් වටින පාඩම් ඉගැන්නුවා.—යෝබ් 36:22; යෙසා. 30:20.

දෙමාපියන්ගේ ආදර්ශය

1950 අන්තිම වෙද්දී අපේ අම්මලා ඉතාලි ඉඳන් කැනඩාවට ආවා. එහෙට ඇවිත් වැඩි කල් යන්න කලින් අම්මලට සත්‍යය හම්බ වුණා. ඊටපස්සේ සත්‍යය තමයි අපිට වැදගත්ම දේ වුණේ. මට මතකයි පොඩි කාලේ අපි පවුල පිටින් දවසම සේවේ කරනවා. ඒ නිසා මං විහිළුවටත් එක්ක කියනවා “මං අවුරුදු අටේදී සහායක කළා” කියලා.

1966දී විතර මගේ පවුලේ අය එක්ක

අපේ අම්මලා දුප්පත්. ඒත් යෙහෝවා වෙනුවෙන් දේවල් කැප කරලා එයාලා අපිට හොඳ ආදර්ශයක් තිබ්බා. 1963දී ඇමරිකාවේ කැලිෆෝර්නියාවේ පැසඩෙනාවල තිබුණ ජාත්‍යන්තර සමුළුවකට යන්න එයාලා එයාලට තිබ්බ ගොඩක් දේවල් විකුණුවා. ඊටපස්සේ 1972දී අපි හිටපු පැත්තේ ඉඳලා කි.මී. 1,000ක් විතර එහායින් තිබුණ කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියාවලට ගියා. ඒ, එහේ හිටපු ඉතාලි භාෂාව කතා කරන අයට දේශනා කරන්න. අපේ තාත්තා රස්සාවට කළේ ලොකු කඩේක පිරිසිදු කරන වැඩ, නඩත්තු වැඩ. එයාට සල්ලි හොයන්න ඕන තරම් අවස්ථා තිබුණත් එයා ඒවා යෙහෝවාට මුල් තැන දෙන්න ඕන නිසා කැප කළා.

අම්මලා අපිට තිබ්බ ඒ ආදර්ශෙට මං සදා ණයගැතියි. යෙහෝවාට සේවේ කරන්න ඒක තමයි මට ලැබුණ පළවෙනි පුහුණුව. කවදාවත් අමතක වෙන්නේ නැති පාඩමකුත් එයාලා මට ඉගැන්නුවා. ඒ, මං දෙවියන්ගේ රාජ්‍යයට මුල් තැන දුන්නොත් යෙහෝවා මාව බලාගන්නවා කියන දේ.—මතෙ. 6:33.

පූර්ණකාලීන සේවේ රස

ලස්සන, සේවෙට ලොකු උනන්දුවක් තිබුණ ඩෙබී එක්ක 1980දී මං විවාහ වුණා. අපිට ඕන වුණේ පූර්ණකාලීන සේවේ කරන්න. ඉතිං බැඳලා මාස තුනකට පස්සේ ඩෙබී පුරෝගාමි පටන්ගත්තා. බැඳලා අවුරුද්දක් වෙද්දී අපි ප්‍රචාරකයන් අඩු පැත්තක සේවේ කරන්න ගියා. පස්සේ මාත් පුරෝගාමි පටන්ගත්තා.

1980 අපි බැඳපු දවසේ

කාලයක් යද්දී අපි ටිකක් අධෛර්යය වුණා. අපිට ඕන වුණේ එහෙන් එන්න. අපි චාරිකා සේවකට ඒ ගැන කිව්වාම එයා අපිට හරිම ආදරෙන්, හැබැයි කෙළින් මෙහෙම කිව්වා. “ඔයාලා ප්‍රශ්නේ ලොකු කරගෙන! ඔයාලා බලන්නේ තියෙන අභියෝග දිහා. හොඳ දේවල් දිහාත් ටිකක් බලන්න.” ඒක අපිට ඒ වෙලේ ඕනම කරලා තිබුණ උපදෙසක්. (ගීතා. 141:5) අපි ඒක ඉක්මනටම අදාළ කරගත්තා. එතකොට අපිට පෙනුණා හොඳ දේවල් ගොඩක් අපිට තිබිලා තියෙනවා කියලා. යෙහෝවාට සේවේ කරන්න සභාවේ සමහරු ලොකු ආසාවකින් හිටියා. එයාලා අතරේ යෞවන අය, මහත්තයා සත්‍යයේ නැති සහෝදරියන් හිටියා. මොන අභියෝග තිබුණත් හොඳ දේවල් දිහා බලන්නත් යෙහෝවා දේවල් හරිගස්සන කල් බලන් ඉන්නත් අපි ඉගෙනගත්තා. (මීකා 7:7) ඒ වටින පාඩම නිසා වැටිලා හිටපු අපි ආයෙත් නැඟිට්ටා.

වෙන රටවල සේවේ කරපු අය තමයි අපි ගිය මුල්ම පුරෝගාමි පාසැලේ උපදේශකයන් විදිහට වැඩ කළේ. එයාලා සේවේ කරද්දී ගත්ත පින්තූර අපිට පෙන්නුවා. තිබුණ අභියෝග ගැනත් අද්දැකපු ආශීර්වාද ගැනත් අපිට කිව්වා. ඒවා අහද්දී මිෂනාරි සේවේ කරන්න අපිටත් ආස හිතුණා. ඉතිං අපිත් ඒ ඉලක්කේ තියාගත්තා.

1983 බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ

ඒ ඉලක්කෙට තව ළං වෙන්න අපි 1984දී ප්‍රංශ භාෂාව කතා කරන ක්විබෙක්වලට ආවා. ඒ, බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ ඉඳලා කි.මී. 4,000ක් විතර ඈත. එහෙදී අලුත්ම භාෂාවකට, සංස්කෘතියට හුරු වෙන්නත් වුණා. අපේ අතේ හරිහැටි සල්ලියක් තිබුණෙත් නෑ. කාලයක් අපිට කන්න තිබුණේ අල විතරයි. ඒකත් ගොවිතැන් කරපු කෙනෙක් එයාගේ වත්තේ ඉතුරු වෙලා තිබුණ ඒවා ගලවගන්න කිව්ව නිසා. ඩෙබී, අල එක එක විදිහට රහට හැදුවා. අභියෝග තිබුණත් ඒවා සතුටින් දරාගන්න අපි පුළුවන් හැම දේම කළා. යෙහෝවාට අපිව කොච්චර හොඳට බලාගන්න පුළුවන්ද කියලා අපි අද්දැක්කා.—ගීතා. 64:10.

දවසක් අපිට කෝල් එකක් ආවා කැනඩාවේ බෙතෙල් එකේ සේවේ කරන්න එන්න කියලා. අපි ගිලියද් පාසැලට අයදුම් කරලයි තිබුණේ. ඉතිං බෙතෙල් එකට යන්නද ගිලියද් පාසැලෙන් කතා කරන කල් බලන් ඉන්නද කියලා අපිට හිතාගන්න බැරි වුණා. අන්තිමේදී අපි බෙතෙල් එකට ගියා. එහේ ශාඛා කමිටුවේ සේවේ කරන සහෝදර කෙනත් ලිට්ල්ගෙන් අපි ඇහුවා “ගිලියද් පාසැලට අපිට කතා කළොත් මොකද කරන්නේ” කියලා. එයා කිව්වා “ඒක අපි එදාට බලමුකෝ” කියලා.

සතියකට පස්සේ ඒ දවස ආවා. අපිට ගිලියද් පාසැලට ආරාධනා කළා. සහෝදර ලිට්ල් අපිට මෙහෙම කිව්වා. “ඔයාලා මොන පැවරුම තෝරගත්තත් ‘අපරාදේ අපිට අනිත් පැවරුමට යන්න තිබ්බේ’ කියලා ඔයාලට හිතෙන දවස් එයි. හැබැයි එක පැවරුමක් අනිකට වඩා හොඳයි කියලා කියන්න බෑ. මොකද ඔයාලා මොකක් තෝරගත්තත් යෙහෝවා ආශීර්වාද කරනවා.” අපි තීරණේ කළා ගිලියද් පාසැලට යන්න. අවුරුදු ගෙවෙද්දී සහෝදර ලිට්ල් කියපු දේ හරියි කියලා අපිට තේරුණා. ඉතිං මොන පැවරුම තෝරගන්නද කියලා හිතහිත ඉන්න අයට සහෝදර ලිට්ල් අපිට දීපු උපදෙසම අපිත් කිව්වා.

මිෂනාරි ජීවිතේ

(වම) යූලිසීස් ග්ලාස්

(දකුණ) ජැක් රෙඩ්ෆඩ්

ගිලියද් පාසැලේ 83වෙනි පන්තියට අපි සතුටින් සහභාගි වුණා. අපේ පන්තියේ ශිෂ්‍යයෝ 24යි. ඒක පටන්ගත්තේ 1987 අප්‍රියෙල් මාසේ බෘක්ලින්වල. අපේ ප්‍රධාන උපදේශකයෝ වුණේ සහෝදර යූලිසීස් ග්ලාස් සහ ජැක් රෙඩ්ෆඩ්. ඒ මාස පහ එහේ බලලා මෙහේ බලද්දී ගෙවිලා ගියා. 1987 සැප්තැම්බර් 6වෙනිදා අපිට හයිටිවලට පැවරුම ලැබුණා.

1988දී හයිටිවල

1962දී මිෂනාරිවරුන්ව රටෙන් පිටමං කළාට පස්සේ මිෂනාරි සේවෙට කාවවත් එහෙට යවලා නෑ. අපිට පැවරුම ලැබිලා සති තුනකට පස්සේ අපි හයිටිවලට ගියා. අපිට සේවේ කරන්න තිබුණේ කඳුකර පැත්තක තිබුණ ප්‍රචාරකයෝ 35ක් හිටිය පුංචි සභාවක. ඒ කාලේ අපිට එච්චර අද්දැකීම් තිබ්බේ නෑ. මිෂනාරි නිවසේ හිටියෙත් අපි දෙන්නා විතරයි. එහේ මිනිස්සු ගොඩක් දුප්පත්. ගොඩක් අයට ලියන්න කියවන්නත් බෑ. මිෂනාරි සේවේ පටන්ගත්ත මුල් කාලේම අපි සිවිල් යුද්ධ, උද්ඝෝෂණ, ඇවිළෙන මාර්ග බාධක, සුළි කුණාටුවලට මූණ දුන්නා.

ඒ අමාරුකමුත් දරාගෙන සතුට රැකගත්ත හයිටිවල සහෝදරයන්ගෙන් අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා. මොන අමාරුකම තිබුණත් ගොඩක් අයට යෙහෝවා ගැන, සේවේ ගැන ලොකු ආදරයක් තිබුණා. වයසක සහෝදරියක් හිටියා, එයාට කියවන්න බෑ. ඒත් එයා බයිබල් පද 150ක් විතර මතකෙන් කියනවා. එහේ අයට ගොඩක් ප්‍රශ්න තිබුණ නිසා ඒවාට එකම විසඳුම දේවරාජ්‍යය කියලා තව වැඩියෙන් කියන්න අපිට ඕන වුණා. අපිත් එක්ක පාඩම් කරපු සමහරු ස්ථාවර පුරෝගාමීන්, විශේෂ පුරෝගාමීන්, වැඩිමහල්ලන් විදිහට වැඩ කරනවා දකින එක ලොකු සතුටක්.

මෝමන් ආගමේ මිෂනාරිවරයෙක් වුණ ට්‍රෙවර් කියලා තරුණයෙක්ව මට හයිටිවලදී හම්බ වුණා. එයාත් එක්ක මං කීප සැරයක්ම බයිබලේ ගැන කතා කළා. අවුරුදු කීපයකට පස්සේ මට එයාගෙන් ලියුමක් ආවා. ඒකේ තිබ්බා “මං ඊළඟ සමුළුවේ බව්තීස්ම වෙනවා. මට ඕනෙ මං මෝමන් මිෂනාරිවරයෙක් විදිහට වැඩ කරපු පැත්තෙම විශේෂ පුරෝගාමි කරන්න” කියලා. කිව්වා වගේම එයා නෝනාත් එක්ක අවුරුදු ගාණක්ම හයිටිවල සේවේ කළා.

යුරෝපයෙන් අප්‍රිකාවට

1994 ස්ලෝවේනියාවේ වැඩ කරද්දී

යුරෝපයේ එක පැත්තක දාලා තිබුණ තහංචි ලිහිල් වුණාම අපේ පැවරුම එහෙට මාරු වුණා. 1992දී අපි ස්ලෝවේනියාවේ ලුබ්ජානාවලට ආවා. කලින් යුගෝස්ලාවියාව කියලා හඳුන්වපු පැතිවල ඒ වෙද්දීත් යුද ගිනි ඇවිළෙමින් තිබුණේ. එහේ අපේ සේවේ වැඩ බැලුවේ ඔස්ට්‍රියාවේ වියානා ශාඛා කාර්යාලයෙන්, ක්‍රොඒෂියාවේ සාග්‍රෙබ් කාර්යාලයෙන් සහ සර්බියාවේ බෙල්ග්‍රේඩ් කාර්යාලයෙන්. ඒත් දැන් ඒ රටවල්වලට වෙනම පාලනයක් තියෙන නිසා ඒ හැම රටකටම එයාලාගෙම කියලා බෙතෙල් එකක් ඕනේ.

අපිට ආයෙත් අලුත් භාෂාවකට, සංස්කෘතියකට හුරු වෙන්න වුණා. එහේ අයගේ භාෂාවෙන් කියනවා “යෙෂෙක් යේ ටෙෂෙක්” කියලා. ඒ කියන්නේ “අපේ භාෂාව සෑහෙන අමාරුයි” කියන එක. ඒක නං සහතික ඇත්ත! සංවිධානයේ වෙනස්කම්වලට ඉක්මනින්ම හැඩගැහෙන සහෝදරයන්ව අපි ගොඩක් අගය කළා. එයාලට යෙහෝවා ආශීර්වාද කරන විදිහත් අපි දැක්කා. යෙහෝවා හරි කාලේදී දේවල් හරිගස්සන විදිහ අපි එහෙදීත් දැක්කා. ස්ලෝවේනියාවේදී අපි ගොඩක් පාඩම් ඉගෙනගත්තා. එහේ යන්න කලින් ඉගෙනගත්ත පාඩම් අපිට උදව් වුණා ආපු අලුත් අභියෝග ජය ගන්න.

අපේ ජීවිතේ වුණ වෙනස්වීම් ඔතනින් නතර වුණේ නෑ. 2000දී අපිව බටහිර අප්‍රිකාවේ අයිවරි කෝස්ට්වලට යැව්වා. 2002 නොවැම්බර්වල එහේ සිවිල් යුද්දේ පටන්ගත්ත නිසා අපිට සියරා ලියොන්වලට පලා යන්න වුණා. ඒ වෙද්දී එහේ අවුරුදු 11ක් තිස්සේ තිබ්බ සිවිල් යුද්දේ යාන්තම් නතර වුණා විතරයි. එකපාරටම අයිවරි කෝස්ට් දාලා එන්න වුණ එක අපිට ලේසි වුණේ නෑ. ඒත් අපි කලින් ඉගෙනගත්ත පාඩම් අපිට උදව් වුණා සතුට රැකගන්න.

අභියෝගවලට නෙවෙයි, සත්‍යය දැනගන්න ආසාවෙන් හිටපු එහේ මිනිස්සුන්ටයි, යුද්ධ නිසා අවුරුදු ගාණක් බැට කාපු අපේ සහෝදරයන්ටයි අපි වැඩි අවධානයක් දුන්නා. එයාලා දුප්පත් වුණත් එයාලට තිබ්බ දේ අනිත් අයත් එක්ක බෙදාගත්තා. දවසක් එක සහෝදරියක් ඩෙබීට ඇඳුම් වගයක් අරන් ආවා. ඩෙබී ඒක ගන්න ටිකක් අදිමදි කළාම එයා කිව්වා “යුද්ධ කාලේ වෙන රටවල සහෝදරයෝ අපිට ගොඩක් උදව් කළා. දැන් අපේ වාරේ” කියලා. අපිත් හිතාගත්තා එයාලව ආදර්ශයට ගන්න.

ටික කාලෙකින් අපි ආයේ අයිවරි කෝස්ට්වලට ගියා. හැබැයි එහේ ආයේ දේශපාලන ප්‍රශ්න වැඩි වෙලා, කලකෝලහල පටන්ගත්තා. 2004 නොවැම්බර්වල අපිව හෙලිකොප්ටරයකින් එහෙන් අරන් ගියා. අපි එක් කෙනෙක්ට ගෙනියන්න පුළුවන් වුණේ කිලෝ 10ක බෑග් එකක් විතරයි. එදා රෑ අපි නිදාගත්තේ ප්‍රංශ හමුදා කඳවුරක. පහුවෙනිදා අපිව ස්විට්සර්ලන්තයට ගෙනිච්චා. එහේ බෙතෙල් එකට යද්දී රෑ 12ට විතර ඇති. ශාඛා කමිටුවේ අයයි, දේවසේවා පුහුණු පාසැලේ උපදේශකයනුයි, එයාලාගේ භාර්යාවනුයි අපිව ආදරෙන් පිළිගත්තා. එයාලා අපිට උණු උණු කෑමයි, ස්විස් චොක්ලටුයි දුන්නා. එයාලාගේ ආදරේ අපිට තදින්ම දැනුණා.

2005 අයිවරි කෝස්ට්වල සරණාගතයන්ට දේශනයක් දෙන ගමන්

පස්සේ අපිව තාවකාලික පැවරුමකට ඝානාවලට යැව්වා. අයිවරි කෝස්ට්වල යුද්දේ අඩු වුණාම ආයේ අපිව එහෙට යැව්වා. මේ වෙනස්කම් නිසා සමහර වෙලාවට පීඩනයක් දැනුණත් ඒවා දරාගන්න සහෝදරයෝ පෙන්නපු ආදරේ අපිට උදව් වුණා. යෙහෝවාගේ සෙනඟ අතරේ කොහොමත් ආදරේ තියෙනවා. ඒත් ඩෙබීයි, මායි හිතාගත්තා ඒ ආදරේ වටිනාකම කවදාවත් බාල කරන්නේ නෑ කියලා. ඇත්තටම විඳපු ඒ අමාරු දේවල් අපේ පුහුණුවේ කොටසක්.

මැද පෙරදිගට

2007 මැද පෙරදිග

2006දී ලෝක මූලස්ථානෙන් අපේ පැවරුම මැද පෙරදිගට මාරු කළා. ඉතිං ඔන්න ආයේ අපිට අලුත්ම අද්දැකීම්වලට, අභියෝගවලට, භාෂාවලට, සංස්කෘතීන්වලට හුරු වෙන්න වුණා. එහේ හිටපු හුඟදෙනෙක්ට දේශපාලනේ ගැන, ආගම ගැන තිබුණේ තද මත. ඒ නිසා අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න වුණා. එහේ සභාවල එක එක භාෂා කතා කරපු අය හිටියා. ඒත් සංවිධානෙන් ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙද්දී එකමුතුව ඉන්න පුළුවන් කියලා අපි දැක්කා. එහේ හිටපු සහෝදරයන්ව අපි ගොඩක් අගය කළා. එයාලා පවුලේ අයගෙන්, ඉස්කෝලේ ළමයින්ගෙන්, වැඩපොළේ අයගෙන්, අසල්වාසීන්ගෙන් විරුද්ධවාදිකම් එද්දී ඒවාට ධෛර්යවන්තව මූණ දුන්නා.

2012 ඊශ්‍රායෙලයේ ටෙල් අවිව්වල තිබුණ විශේෂ සමුළුවකට අපි ගියා. ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසෙන් පස්සේ යෙහෝවාගේ සෙනඟ එච්චර ගාණක් ඒ පැත්තේ එකතු වුණ මුල්ම අවස්ථාව තමයි ඒ සමුළුව. ඒ සමුළුව නං කවදාවත් අමතක වෙන්නේ නෑ.

ඔය කාලේම අපේ වැඩවලට තහංචි දාලා තිබ්බ තව රටකට අපිව යැව්වා. අපි එහෙට අපේ පොත් අරන් ගියා. සේවේ කළා. පොඩි පොඩි සමුළුත් තිබ්බා. එහේ හැම තැනම ආයුධ ගත්ත සොල්දාදුවන්. සෑහෙන්න මුරපොළවලුත් තිබුණා. අපි එහෙට මෙහෙට ගියේ ප්‍රචාරකයන් කීපදෙනෙක් එක්ක විතරයි. ඒකත් පරෙස්සමින්. ඒ නිසා අපිට බයක් දැනුණේ නෑ.

ආයෙත් අප්‍රිකාවට

2014 කොංගෝවල දේශනයක් ලෑස්ති වෙද්දී

2013දී අපිට වෙනස්ම පැවරුමක් ලැබුණා. ඒ කොංගෝවල කින්ෂාසා ශාඛා කාර්යාලයේ සේවේ කරන්න. ඒ රට ලොකුයි වගේම හරිම ලස්සනයි. හැබැයි ගොඩක් දුප්පත් රටක්. යුද්ධත් සෑහෙන්න තිබුණා. පැවරුම ලැබුණාම අපිට හිතුණා “අප්‍රිකාව ගැන අපි නොදන්නවායෑ! අපි ලෑස්තියි” කියලා. ඒත් හරියට පාරවල්වත් නැති දුෂ්කර පැතිවලට යන්න වෙද්දී අපිට ගොඩක් අමාරු වුණා. අපි එහේ හොඳ දේවලුත් දැක්කා. එහේ සහෝදරයන්ට ආර්ථික අමාරුකම් තිබුණත් එයාලා ඒවා සතුටින් දරාගත්තා. එයාලා සේවෙට හරිම ළැදියි. රැස්වීම්, සමුළු යන්න පුදුම කැප කිරීම් කරන්නේ. යෙහෝවාගේ උදව්, ආශීර්වාද නිසා දවසින් දවස මිනිස්සු සත්‍යයට ඇදිලා එන විදිහ අපි ඇස් දෙකෙන්ම දැක්කා. එහෙදීත් අපි ගොඩක් වටින පාඩම් ඉගෙනගත්තා. අපේම පවුලේ අය වගේ ඉන්න යාළුවොත් අපිට හම්බ වුණා.

2023 දකුණු අප්‍රිකාවේ සේවේ යන ගමන්

2017දී අපිට තව පැවරුමක් ලැබුණා. ඒ, දකුණු අප්‍රිකාවට. මේක තමයි අපි සේවේ කරපු ලොකුම ශාඛා කාර්යාලේ. අපිට මෙහේ හම්බ වුණේ කලින් කරලා නැති විදිහේ පැවරුමක්. ආයේ අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න වුණා. කලින් ඉගෙනගත්ත පාඩමුත් අපිට උදව් වුණා. අවුරුදු ගාණක් විශ්වාසවන්තව සේවේ කරන හුඟදෙනෙක් මෙහේ ඉන්නවා. අපි එයාලට හරිම ආදරෙයි. එක එක ජාතීන්වල, සංස්කෘතිවල අය මෙහේ එකමුතුව සේවේ කරනවා දකින එක ලොකු සතුටක්. දෙවියන්ගේ සෙනඟ අලුත් පෞද්ගලිකත්වය පැලඳගද්දී, බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගද්දී යෙහෝවා සමාදානය දීලා ආශීර්වාද කරන විදිහ අපි දැක්කා.

ගෙවුණ අවුරුදු ගාණ පුරාම ඩෙබීටයි, මටයි ගොඩක් පැවරුම් ලැබුණා. අලුත් සංස්කෘතීන්වලට හුරු වෙන්න වුණා. භාෂා ඉගෙනගන්න වුණා. ඒත් සංවිධානෙන්, සහෝදරයන් මාර්ගයෙන් යෙහෝවාගේ නොසැලෙන ආදරේ අපි අද්දැක්කා. (ගීතා. 144:2) පූර්ණකාලීන සේවේදී ඉගෙනගත්ත දේවල් නිසා අපිට පුළුවන් වුණා යෙහෝවා ඉස්සරහා තව වටින අය වෙන්න.

මගේ දෙමාපියන්ගෙන් ලැබුණ පුහුණුව, නෝනාගෙන් ලැබුණ සහය, ලෝකේ වටේ ඉන්න සහෝදරයන්ගේ ආදර්ශ අදටත් මං ගොඩක් අගය කරනවා. ඉස්සරහටත් අපේ උදාර උපදේශකයාණන්ගෙන් ඉගෙනගන්න එක තමයි අපි දෙන්නාගෙම අධිෂ්ඨානය!