ඔයාගේ සීමාව අමතක කරන්න එපා
“ඔබේ දෙවි ඉදිරියේ නිහතමානීව හැසිරෙන්න.”—මීකා 6:8.
1-3. යූදා දේශයෙන් ආව අනාගතවක්තෘවරයා නොකළේ මොකක්ද? ඒ නිසා මොකද වුණේ? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
යෙරොබොවම් රජ බෙතෙල් නගරයේ බොරු දෙවිවරුන්ට පූජාසනයක් හැදුවා. ඒ නිසා එයාට විරුද්ධව විනිශ්චය පණිවිඩයක් කියන්න යෙහෝවා දෙවි යූදා දේශයේ හිටපු අනාගතවක්තෘවරයෙක්ව යැව්වා. එයා යෙහෝවා දෙවිට කීකරු වෙලා රජුට ඒ පණිවිඩය කිව්වා. ඒ වෙලාවේ රජට හොඳටම කේන්ති ගිහින් අනාගතවක්තෘවරයාට දඬුවම් කරන්න හැදුවත් දෙවි එයාව ආරක්ෂා කළා.—1 රාජා. 13:1-10.
2 ඊශ්‍රායෙලයේදී කිසිම දෙයක් කන්න බොන්න එපා කියලත් ආපහු එද්දී වෙන පාරකින් එන්න කියලත් දෙවි එයාට අණ කරලා තිබුණා. ඒත් එයා එන මඟදී මහලු මිනිසෙකුව හම්බ වුණා. ඒ මිනිසා තමන්ට දෙවිගෙන් පණිවිඩයක් ලැබුණා කියලා අනාගතවක්තෘවරයාට බොරුවක් කිව්වා. එයාගේ ගෙදරට ගිහින් කෑම ටිකක් කමු කියලත් කිව්වා. අනාගතවක්තෘවරයා දෙවිට අකීකරු වෙලා ඒ ආරාධනය පිළිගත්තා. ඒ ගැන දෙවි සතුටු වුණේ නැහැ. අනාගතවක්තෘවරයා ආපහු එද්දී සිංහයෙක් එයාව මරලා දැම්මා.—1 රාජා. 13:11-24.
3 කලින් දෙවිට කීකරු වුණ ඒ අනාගතවක්තෘවරයා මේ වෙලාවේ හිතුමතේට වැඩ කළේ ඇයි කියලා බයිබලේ සඳහන් වෙන්නේ නැහැ. ඒත් දෙවි එයාගෙන් බලාපොරොත්තු වුණ විදිහට දිගටම “දෙවි ඉදිරියේ නිහතමානීව හැසිරෙන්න” එයාට බැරි වුණා කියලා නම් අපි දන්නවා. (මීකා 6:8 කියවන්න.) කෙනෙක් “දෙවි ඉදිරියේ නිහතමානීව හැසිරෙනවා” කියන්නේ එයා දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරනවා කියන එකයි. දෙවිගේ මඟ පෙන්වීම් පතලා ඒවාට කීකරු වෙනවා කියන එකයි. තමන්ගේ සීමාවන් අවබෝධ කරගත්ත කෙනෙක් දන්නවා තමන් නිතරම යාච්ඤා කරලා දෙවිගෙන් මඟ පෙන්වීම් ඉල්ලන්න ඕනෙ කියලා. ඒ අනාගතවක්තෘවරයා කරන්න තිබුණෙත් ඒ දේමයි. දෙවි කලින් දුන්න ආඥාවේ යම් වෙනසක් කළාද කියලා එයාට දෙවිගෙන් අහන්න තිබුණා. අමාරු තීරණ ගන්න අපිටත් සිද්ධ වෙනවා. එහෙම වෙලාවලදී සමහරවිට දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා අපිට පැහැදිලි නැති වෙන්න පුළුවන්. ඒත් අපි අපේ සීමාවන් අවබෝධ කරගෙන ඉන්නවා නම් අපිට මඟ පෙන්නන්න කියලා දෙවිගෙන් ඉල්ලනවා. අඥාන තීරණ ගන්නේ නැතුව ඉන්න එතකොට අපිට පුළුවන්.
4. මේ ලිපියෙන් ඉගෙනගන්නේ මොනවද?
4 තමන්ගේ සීමාවන් අවබෝධ කරගෙන වැඩ කරන කෙනෙක් කොයි වගේද කියලත් එහෙම කරන එක වැදගත් ඇයි කියලත් අපි කලින් ලිපියෙන් බැලුවා. අපි දැන් සීමාව අවබෝධ කරගෙන වැඩ කළත් ඒ සීමාවෙන් පිට පනින්න පෙලඹෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද? ඒ වගේ අවස්ථාවලදීත් දෙවි බලාපොරොත්තු වෙන විදිහට වැඩ කරන්න පුළුවන් කොහොමද? දැන් අපි අවස්ථා 3ක් බලමු.—හිතෝ. 11:2.
මුහුණ දෙන තත්වයන් වෙනස් වෙද්දී
5, 6. බාසිල්ලයි තමන්ගේ සීමාව අවබෝධ කරගත්ත කෙනෙක් කියන්නේ ඇයි?
5 මුහුණ දෙන තත්වයන්, වගකීම් වෙනස් වෙද්දී අපේ සීමාවෙන් පිට පැනලා වැඩ කරන්න අපි පෙලඹෙන්න පුළුවන්. දාවිත් රජුගේ යාළුවෙක් වුණ බාසිල්ලයි ඒ වගේ අවස්ථාවකට මුහුණ දුන්නා. වයස 80 ගණන්වල හිටපු එයාට රජමාලිගාවේ ජීවත් වෙන්න එන්න කියලා දාවිත් ආරාධනා කළා. රජමාලිගාවේ ඉන්න ලැබෙන එක ලොකු ගෞරවයක් වුණත් එයා ඒක ප්‍රතික්ෂේප කළා. එයා වෙනුවට කිම්හාම්ව එක්කගෙන යන්න කියලා එයා දාවිත්ට කිව්වා. සමහරවිට කිම්හාම් බාසිල්ලයිගේ පුතෙක් වෙන්න ඇති.—2 සාමු. 19:31-37.
6 බාසිල්ලයි ඒ ආරාධනය ප්‍රතික්ෂේප කළේ වගකීම් භාරගන්න තිබුණ අකමැත්ත නිසාද? නැත්නම් සැඳෑ සමය සැහැල්ලුවෙන් ගත කරන්න ඕන වුණ නිසාද? නැහැ. එයා හිටියේ මහලු වයසේ නිසා ඒ වයසත් එක්ක එන සීමාවන් එයා අවබෝධ කරගෙන හිටියා. (ගලාති 6:4, 5 කියවන්න.) අපිත් බාසිල්ලයිව ආදර්ශයට ගමු. තනතුරු, ප්‍රසිද්ධිය, ගෞරවය ලබාගන්න එකට අවධානය දුන්නොත් අපිට අපේ සීමාවන් අමතක වෙන්න පුළුවන්. (ගලා. 5:26) ඒ නිසා අනිත් අයත් එක්ක අපිව සසඳනවා වෙනුවට අපේ උපරිමයෙන් යෙහෝවා දෙවිට සේවය කරමු. තමන්ගේ සීමාව අවබෝධ කරගත්ත කෙනෙක් තමන්ට අවධානය ගන්න හදන්නේ නැහැ. ඒ වෙනුවට සහෝදරයන් එක්ක එකමුතුව යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන්න පුළුවන් හැම දේම කරනවා. ඒ දේම කරන්න අනිත් අයටත් උදව් කරනවා.—1 කොරි. 10:31.
7, 8. දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරන්න නම් තමන්ගේ සීමාව හඳුනගෙන ඉන්න ඕනෙ ඇයි?
7 අපිට ලැබෙන වගකීම් වැඩි වෙද්දී අපිට තියෙන අධිකාරියත් වැඩි වෙනවා. ඒ නිසා සීමාවෙන් පිට පනින්න අපි පෙලඹෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවලදී නෙහෙමියා ගැන හිතන්න. යෙරුසලමේ හිටපු අය දුක් විඳිනවා කියලා ආරංචි වුණාම උදව් ඉල්ලලා නෙහෙමියා කරපු යාච්ඤාවට දෙවි උත්තර දුන්නා. (නෙහෙ. 1:4, 11) අර්තක්ෂස්තා රජ එයාව යූදා දේශයේ ආණ්ඩුකාරයා විදිහට පත් කළා. නෙහෙමියාට උසස් තනතුරක්, බලතල, ධනය තිබුණත් එයා තමන්ගේ හැකියාවන්, අද්දැකීම් ගැන විශ්වාසය තියලා වැඩ කළේ නැහැ. එයා නිතිපතා දෙවිගේ නීතිය කියවලා, දෙවිගේ මඟ පෙන්වීම් පැතුවා. (නෙහෙ. 8:1, 8, 9) තමන්ට තිබුණ අධිකාරිය වාසි ලබාගන්නවත් අනිත් අයට බරක් වෙන විදිහටවත් එයා පාවිච්චි කළේ නැහැ.—නෙහෙ. 5:14-19.
8 නෙහෙමියාට අධිකාරියක් ලැබුණත් එයා දෙවිව විශ්වාස කරලා වැඩ කළේ තමන්ගේ සීමාව අවබෝධ කරගෙන හිටපු නිසයි. අපිටත් අපේ සීමාවන් ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් දැන් කරන පැවරුම වෙනස් වුණත් වගකීම් වැඩි වුණත් අපි දිගටම දෙවි ගැන විශ්වාසය තියලා වැඩ කරයි. හිතන්න, වැඩිමහල්ලෙක් දෙවිට යාච්ඤා කරලා මඟ පෙන්වීම් ඉල්ලනවා වෙනුවට තමන්ගේ හැකියාවන්, අද්දැකීම් ගැන විශ්වාසය තියලා සභාවේ දේවල් කරනවා කියලා. නැත්නම් කෙනෙක් හිතුමතේට තීරණයක් අරගෙන ඊටපස්සේ ඒකට ආශීර්වාද කරන්න කියලා දෙවිගෙන් ඉල්ලනවා කියලා. එයාලට තමන්ගේ සීමාව ගැන අවබෝධයක් තියෙනවා කියන්න පුළුවන්ද? බැහැ. සීමාව අවබෝධ කරගත්ත කෙනෙක් තමන්ට කොච්චර පළපුරුද්දක්, හැකියාවක් තිබුණත් යෙහෝවා දෙවිගේ හැකියාවන්වලට තමන්ට ළං වෙන්නවත් බැහැ කියලා අමතක කරන්නේ නැහැ. (හිතෝපදේශ 3:5, 6 කියවන්න.) අද ඉන්න හුඟක් අයට ඕනෙ උසස් තනතුරු ලබාගෙන අනිත් අයට වඩා කැපිලා පේන්න. ඒත් දෙවිගේ සේවකයන්ට ඕනෙ පවුලේ, සභාවේ තමන්ට තියෙන වගකීම් හොඳින් ඉටු කරන්න මිසක් අනිත් අයට වඩා කැපිලා පේන්න නෙමෙයි.—1 තිමෝ. 3:15.
විවේචනය කරද්දී නැත්නම් ප්‍රශංසා කරද්දී
9, 10. අනිත් අය අපිව විවේචනය කළත් ඒක දරාගන්න අපිට පුළුවන් කොහොමද?
9 කෙනෙක් අපිව විවේචනය කළොත් අපේ හිත රිදෙයි. හන්නාටත් ඒ දේ වුණා. එයාට දරුවෝ හිටියේ නැති නිසා පෙනින්නා නිතරම එයාට නින්දා කළා. එයා හුඟක් දුකෙන් හිටපු දවසක ඒ ගැන දෙවිට කියන්න ශුද්ධ කූඩාරමට ගියා. එයා අඬඅඬා යාච්ඤා කරනවා උත්තම පූජකයා වුණ ඒලී දැක්කා. හන්නා බීමත්ව ඉන්නවා කියලා හිතලා එයා හන්නාට අවවාද කළා. ඒලී කළේ වැරදි චෝදනාවක් වුණත් හන්නා තමන්ගේ සීමාවෙන් පිට පැන්නේ නැහැ. ඒ වෙලාවේ එයා කේන්ති ගත්තෙවත් ඒලීට අගෞරවනීය විදිහට කතා කළේවත් නැත්තේ ඒ නිසයි. එයාට දෙවි ගැන තිබුණ විශ්වාසය, ආදරේ පස්සේ වෙලාවක එයා කරපු යාච්ඤාවකින් පැහැදිලි වෙනවා.—1 සාමු. 1:5-7, 12-16; 2:1-10.
10 අපි අපේ සීමාවන් අවබෝධ කරගෙන ඉන්නවා නම් “දිගටම යහපතින් නපුරු දේවල් පරාජය කරන්න” අපිට පුළුවන්. (රෝම 12:21) අපි ජීවත් වෙන්නේ දුෂ්ට සමාජයක නිසා අපි ඕනම කෙනෙක්ට අසාධාරණකම්වලට මුහුණ දෙන්න වෙයි. ඒ වගේ වෙලාවලදී කේන්තිය පාලනය කරගන්න අපි ලොකු සටනක් කරන්න ඕනේ. (ගීතා. 37:1) ඒත් අපිට අසාධාරණ විදිහට සලකන්නේ සභාවේ කෙනෙක් නම් ඒක දරාගන්න අමාරුයි. එහෙම වෙලාවලදී යේසුස්ව මතක් කරගමු. යේසුස්ට ‘නින්දා කළ විට ඔහු නින්දා කළේ නැහැ. ඒ වෙනුවට ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන තැනැත්තාණන්ට ඔහු තම ජීවිතය භාර දුන්නා.’ (1 පේතෘ. 2:23) මොකද යුක්තිය ඉටු කරන්න අයිතිය තියෙන්නේ යෙහෝවා දෙවිට කියලා යේසුස් නිහතමානීව පිළිගත්තා. (රෝම 12:19) අපිටත් ඕනෙ “නපුරට නපුර නොකරන්නයි.”—1 පේතෘ. 3:8, 9.
11, 12. (අ) ප්‍රශංසා කරද්දී, වර්ණනා කරද්දී ඕනෑවට වඩා අපි ගැන හිතන්නේ නැතුව ඉන්න පුළුවන් කොහොමද? (ආ) අපි අපේ සීමාව අවබෝධ කරගෙන ඉන්නවා නම් අපි හැසිරෙන්නේ, අඳින්නේ කොයි විදිහටද?
11 අනිත් අය අපිට ප්‍රශංසා කරද්දී, අපිව වර්ණනා කරද්දී අපිට අපේ සීමාව අමතක වෙන්න පුළුවන්. එස්තර්ටත් හුඟක් අය ප්‍රශංසා කළා. එයාව වර්ණනා කළා. එයා පර්සියාවේ හිටපු ලස්සනම තරුණියක්. අවුරුද්දක් පුරා එයාට විශේෂ සැලකිලි ලැබුණා. රූපලාවණ්‍ය සත්කාර, සම්බාහන ඒවාට ඇතුළත් වුණා. ඒ කාලේ පුරාම එයාට ආශ්‍රය කරන්න වුණේ අනිත් අයව පරද්දලා රජුගේ හිත දිනාගන්න තරඟ කරපු තරුණියන්ව වුණත් එයා වෙනස් වුණේ නැහැ. රජු තමන්ගේ බිසව විදිහට එස්තර්ව තෝරගත්තට පස්සෙත් එයා තමන් ගැන මහ ඉහළින් හිතුවේ නැහැ. එයා අනිත් අයට කාරුණිකව, ගෞරවනීයව සැලකුවා. එස්තර් දිගටම වැඩ කළේ තමන්ගේ සීමාව අවබෝධ කරගෙනයි.—එස්ත. 2:9, 12, 15, 17.
12 අපිට අපේ සීමාවන් ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් අනිත් අයගේ අවධානය ඇදගන්න විදිහට, කැපීපේන විදිහට අපි අඳින්නෙවත් හැසිරෙන්නෙවත් නැහැ. ඒ වෙනුවට අපි වැඩ කරන්නේ “තැන්පත් මෘදු ස්වභාවයකින්.” (1 පේතෘස් 3:3, 4 කියවන්න; යෙරෙ. 9:23, 24) කෙනෙක් තමන් ගැන මහ ඉහළින් හිතාගෙන ඉන්නවා නම් එයා කරන කියන දේවලින් ඒක පැහැදිලි වෙනවා. උදාහරණෙකට කෙනෙක් තමන්ට තියෙන වගකීම් නිසා, දන්න යම් තොරතුරු නිසා, දන්න අඳුනන අය නිසා අනිත් අයට වඩා තමන් උසස් කියලා අඟවන විදිහට වැඩ කරන්න ඉඩ තියෙනවා. නැත්නම් කෙනෙක් අනිත් අයගේ උදව් ඇතුව කරපු දෙයක් තමන් තනියම කරපු දෙයක් විදිහට කතා කරලා ගෞරවය ලබාගන්න ඉඩ තියෙනවා. යේසුස් ගැන හිතන්න. ඕනෙ නම් තමන් කොච්චර ප්‍රඥාවන්ත කෙනෙක්ද කියලා මිනිසුන්ට පෙන්නන්න ඔහුට පුළුවන්කම තිබුණා. ඒත් යේසුස් නිතරම කතා කළේ ශුද්ධ ලියවිලිවල තිබුණ දේවල් පාවිච්චි කරලයි. ඒ නිසා ඔහු කතා කළේ යෙහෝවා දෙවි උගන්වපු දේවල් කියලා මිනිසුන් තේරුම්ගත්තා. ඒකෙන් ගෞරවය තමන්ට ගන්නවා වෙනුවට ඔහු හැම ගෞරවයක්ම යෙහෝවා දෙවිට දුන්නා.—යොහ. 8:28.
තීරණ ගන්න වෙද්දී
13, 14. සීමාව හඳුනගෙන ඉන්න එක හරි තීරණ ගන්න උදව් වෙන්නේ කොහොමද?
13 තීරණ ගන්න වෙද්දී, අනිත් අයගේ තීරණ අපිට බලපාද්දී අපේ සීමාවෙන් පිට පනින්න අපි පෙලඹෙන්න පුළුවන්. මේ සිද්ධිය බලන්න. පාවුල් හිටියේ සිසේරියේ. යෙහෝවා දෙවි දුන්න පැවරුමක් ඉටු කරන්න එයාට යෙරුසලමට යන්න ඕනෙ වුණා. ඒත් එහේ ගියොත් එයාව අත්අඩංගුවට අරන් මරන්න වුණත් ඉඩ තියෙනවා කියලා අනාගතවක්තෘ අගබස් එයාට කිව්වා. ඒ නිසා සහෝදරයනුත් පාවුල්ගෙන් ඉල්ලා හිටියේ යෙරුසලමට යන්න එපා කියලයි. ඒත් එහෙට යන්න පාවුල් තීරණය කළා. පාවුල් ඒ තීරණය ගත්තේ තමන් ගැන ඕනෑවට වඩා විශ්වාස කරපු නිසා නෙමෙයි. තමන්ගේ ජීවිතේ ආරක්ෂා කරගන්නවට වඩා දෙවි දීපු පැවරුම ඉටු කරන්න එයාට තිබුණ වුවමනාව නිසයි. දෙවි එයාට උදව් කරනවා කියන විශ්වාසය එයාට තිබුණා. පාවුල්ගේ තීරණයට හරස් වෙන්න තමන්ට අයිතියක් නැහැ කියලා සහෝදරයනුත් තේරුම්ගත්තා.—ක්‍රියා 21:10-14.
14 ඉස්සරහට මොන වගේ අභියෝග එයිද කියලා දන්නේ නැති අවස්ථාවලදී වුණත් හරි තීරණ ගන්න අපේ සීමාවන් හඳුනගෙන ඉන්න එක අපිට උදව්වක්. දෙවිට පූර්ණකාලීනව සේවය කරන්න සැලසුම් කරන කෙනෙක් ගැන හිතන්න. සේවය කරකර ඉද්දී එයාට බරපතළ ලෙඩක් හැදුණොත් නැත්නම් දෙමාපියන්ට එයාගේ උදව් ඕනෙ වුණොත් මොකද කරන්නේ කියලා එයා හිතයි. වයසට ගියාම එයාව බලාගන්නේ කවුද කියලා එයා හිතයි. ඒ ප්‍රශ්න ගැන කොච්චර හිතුවත් යාච්ඤා කළත් ඒවාට හරියටම උත්තර හොයාගන්න බැහැ. (දේශ. 8:16, 17) තමන්ගේ සීමාව ගැන දන්න කෙනෙක් ඒ වගේ වෙලාවලදී තීරණ ගන්නේ දෙවි ගැන විශ්වාසය තියලා. මොකද සමහර දේවල් පාලනය කරන්න, වෙනස් කරන්න තමන්ට බැහැ කියලා එයා තේරුම්ගන්නවා. එයා කාරණා හොඳින් හොයලා බලලා, අද්දැකීම් තියෙන අයගෙන් අදහස් ගන්නවා. දෙවිගේ මඟ පෙන්වීම් ඉල්ලලා යාච්ඤා කළාට පස්සේ ඒ අනුව තීරණයක් ගන්නවා. (දේශනාකාරයා 11:4-6 කියවන්න.) දෙවිව විශ්වාස කරලා තීරණයක් ගත්තොත් තමයි දෙවිට පුළුවන් ඒ තීරණයට ආශීර්වාද කරන්න. ඒ වගේම දෙවි එයාව පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද කියලා එතකොට දෙවි එයාට පෙන්නයි.—හිතෝ. 16:3, 9.
සීමාව තව හොඳින් අවබෝධ කරගන්න
15. නිහතමානීව වැඩ කරන්න යෙහෝවා දෙවි ගැන හිතන එක අපිට උදව් වෙන්නේ කොහොමද?
15 අපේ සීමාවන් තවත් හොඳින් අවබෝධ කරගන්න අපිට පුළුවන් කොහොමද? ඒක කරන්න උදව් වෙන කාරණා 4ක් බලමු. (1) යෙහෝවා දෙවි ගැන හොඳින් හිතන්න. දෙවිගේ හැකියාවන්, ගතිලක්ෂණ, ඔහුට හිමි තැන එක්ක බලද්දී අපි දන්නේ කොච්චර ටිකයිද අපිට කොච්චර සීමා තියෙනවද කියලා තේරෙයි. (යෙසා. 8:13) අපි සේවය කරන්නේ මිනිසෙකුටවත් දේවදූතයෙකුටවත් නෙමෙයි සියලු බලැති දෙවිටයි කියලා අමතක කරන්න එපා. ඒක මනසේ තියාගන්නවා නම් “මහත් බලයක් ඇති දෙවිට යටත් වී නිහතමානී වෙන්න” අපිට පුළුවන්.—1 පේතෘ. 5:6.
16. දෙවිගේ ආදරේ ගැන හිතන එක වැදගත් ඇයි?
16 (2) යෙහෝවා දෙවි අපිට කොච්චර ආදරේද කියලා හොඳින් හිතන්න. පාවුල් ක්‍රිස්තියානි සභාව ශරීරයකට සමාන කළා. මිනිස් ශරීරයේ හැම අවයවයක්ම දෙවි නිර්මාණය කළේ වැදගත් අරමුණකට. (1 කොරි. 12:23, 24) ඒ වගේ අපි හැම කෙනෙක්වම දෙවිට හුඟක් වටිනවා. ඔහු අපිව අනිත් අයත් එක්ක සසඳන්නෙවත් අපි අතින් අඩුපාඩු වෙද්දී ඔහුගේ ආදරේ අඩු කරන්නෙවත් නැහැ. අපේ පැවරුම මොකක් වුණත් දෙවි අපිට ආදරෙයි කියලා දැනගෙන ඉද්දී දැන් තියෙන දේ ගැන අපි සෑහීමට පත් වෙනවා.
17. අනිත් අයගේ හොඳ දකින්න උත්සාහ කරන එක අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද?
17 (3) අනිත් අයගේ හොඳ දකින්න වෑයම් කරන්න. අනිත් අයගේ හැකියාවන්, දක්ෂතා හඳුනගද්දී අපි එයාලට වඩා උසස් නැහැ කියලා තේරෙනවා. එතකොට අපි කැපීපේන්න හදන්නෙවත්, හැම දේම අපේ අතට ගන්න හදන්නෙවත් නැහැ. ඒ වෙනුවට එයාලගෙනුත් උපදෙස් ලබාගන්නවා. එයාලගේ යෝජනා අදාළ කරගන්නවා. (හිතෝ. 13:10) අනිත් අයට අලුත් වගකීම් ලැබෙද්දී අපි සතුටු වෙනවා වගේම අපි හැමෝටම යෙහෝවා දෙවිට සේවය කරන්න අවස්ථාව දුන්න එක ගැන අපි ඔහුට ස්තුති කරනවා.—1 පේතෘ. 5:9.
18. හෘදය සාක්ෂිය හොඳින් පුහුණු කරන එක අපිට උදව් වෙන්නේ කොහොමද?
18 (4) බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව හෘදය සාක්ෂිය පුහුණු කරන්න. කාරණා ගැන දෙවිට හැඟෙන විදිහ, ඔහු හිතන විදිහ තේරුම්ගන්න බයිබල් ප්‍රතිපත්ති අපිට උදව් වෙනවා. දෙවිට හැඟෙන විදිහ තේරුම්ගද්දී ඔහු සතුටු වෙන තීරණ ගන්න අපිට පුළුවන්. නිතිපතා අධ්‍යයනය කරද්දී, යාච්ඤා කරද්දී, ඉගෙනගන්න දේවල් අදාළ කරගද්දී අපේ හෘදය සාක්ෂිය තව හොඳින් පුහුණු වෙනවා. (1 තිමෝ. 1:5) අනිත් අයගේ අදහස්වලට ගරු කරන්නත් අපි පෙලඹෙනවා. දෙවි බලාපොරොත්තු වෙන විදිහට අපි අපේ කොටස කරද්දී දෙවි අපිට දෙන පුහුණුව සාර්ථකව අවසන් කරන්න ඔහුට පුළුවන්. ඒ පුහුණුවට අපේ සීමාව තව හොඳින් අවබෝධ කරගන්න එකත් ඇතුළත්.—1 පේතෘ. 5:10.
19. අපේ සීමාවෙන් පිට පනින්නේ නැතුව ඉන්න අපිට උදව් වෙන්නේ මොනවද?
19 මේ ලිපියේ මුලදී බලපු අනාගතවක්තෘවරයාට දෙවිගේ අනුමැතිය නැති වුණේ එයාගේ සීමාවෙන් එයා පිට පැන්න නිසයි. අභියෝගයක් වුණත් අපිට අපේ සීමාව අවබෝධ කරගෙන වැඩ කරන්න පුළුවන්. අතීතයේ හිටපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන් හුඟදෙනෙක් ඒ දේ කළා. දෙවිට සේවය කරලා තියෙන කාලේ වැඩි වෙන්න වැඩි වෙන්න අපේ සීමාවන් ගැන අපිට තියෙන අවබෝධයත් වැඩි වෙන්න ඕනේ. (හිතෝ. 8:13) දැන් අපේ පැවරුම මොකක් වුණත් දෙවිට සේවය කරන්න ලැබිලා තියෙන එකම ලොකු වරප්‍රසාදයක්. අපේ සීමාවෙන් පිට පනින්නේ නැතුව දිගටම දෙවිට විශ්වාසවන්තව ඉන්න අපි වෑයම් කරමු.