දෙවිට ප්‍රිය දේවලට මනස යොමු කළොත් ජීවනයත් සමාදානයත් ලැබෙයි
“දෙවිගේ බලයේ උපකාරයෙන් ක්‍රියා කරන අය තම මනස් යොමු කරන්නේ දෙවි ප්‍රිය කරන දේවලටය.”—රෝම 8:5.
1, 2. රෝම 8වෙනි පරිච්ඡේදයේ තියෙන තොරතුරු ගැන අභිෂේක ලත් අය උනන්දු වෙන්නේ ඇයි?
ස්වර්ගයේ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් අභිෂේක ලත් අයට ඇති වෙන්නේ කොහොමද කියලා රෝම 8:15-17 දක්වා පැහැදිලි කරනවා. ඒ ගැන විස්තර යේසුස්ගේ මරණය සිහි කරන කාලෙදී අපි සාකච්ඡා කරනවා. රෝම 8:1 අභිෂේක ලත් අයව හඳුන්වන්නේ “ක්‍රිස්තුස් යේසුස් සමඟ එකට බැඳී සිටින අය” විදිහට. ඒ කියන්නේ රෝම 8වෙනි පරිච්ඡේදයේ තියෙන තොරතුරු ප්‍රයෝජනවත් වෙන්නේ අභිෂේක ලත් අයට විතරද? පොළොවේ සදහටම ජීවත් වෙන්න ආසාවෙන් ඉන්න අයට ඒ තොරතුරුවලින් ප්‍රයෝජනයක් තියෙනවද?
2 ඇත්ත, රෝම 8වෙනි පරිච්ඡේදයේ තියෙන තොරතුරු මූලිකව අදාළ වෙන්නේ අභිෂේක ලත් අයට කියලා කියන්න පුළුවන්. තමන්ට තියෙන බලාපොරොත්තුව ගැන “දෙවිගේ බලය” මාර්ගයෙන් දැනගත්ත එයාලා මිනිසුන් හැටියට තමන් ගත කරන ජීවිතෙන් නිදහස් වෙන කල් ආසාවෙන් බලාගෙන ඉන්නවා. (රෝම 8:23) ළඟදීම එයාලා දෙවිගේ පුත්‍රයන් විදිහට ස්වර්ගයේ ජීවත් වෙන්න යනවා. ඒත් යේසුස්ගේ ජීවිත පූජාව නිසා දැනටමත් යෙහෝවා දෙවි එයාලගේ පව්වලට සමාව දීලයි තියෙන්නේ. ඒ නිසා එයාලව ධර්මිෂ්ඨ අය හැටියට ප්‍රකාශ කරන දෙවි, තමන්ගේ පුත්‍රයන් හැටියට එයාලව පිළි අරගෙනයි ඉන්නේ.—රෝම 3:23-26; 4:25; 8:30.
3. පොළොවේ සදහටම ජීවත් වෙන්න ආසාවෙන් ඉන්න අයටත් රෝම 8වෙනි පරිච්ඡේදයේ තියෙන තොරතුරු ප්‍රයෝජනවත් කියන්නේ ඇයි?
3 රෝම 8වෙනි පරිච්ඡේදයේ තියෙන තොරතුරු අභිෂේක ලත් අයට වගේම පොළොවේ සදහටම ජීවත් වෙන්න ආසාවෙන් ඉන්න අයටත් ප්‍රයෝජනවත්. අපි එහෙම කියන්නේ ඇයි? අභිෂේක ලත් කෙනෙක් නොවුණත් ආබ්‍රහම්ව යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ කෙනෙක් විදිහට සැලකුවේ කොහොමද කියලා රෝම 4වෙනි පරිච්ඡේදයේ කතා කරලා තියෙනවා. ආබ්‍රහම් ජීවත් වුණේ යේසුස් තමන්ගේ ජීවිතය පූජා කරන්න ගොඩක් කාලෙකට කලිනුයි. (රෝම 4:20-22 කියවන්න.) අදත් පොළොවේ සදහටම ජීවත් වෙන බලාපොරොත්තුව තියෙන විශ්වාසවන්ත අයව ධර්මිෂ්ඨයන් හැටියට සලකන්න යෙහෝවා දෙවිට පදනමක් තියෙනවා. ඒ නිසා රෝම 8වෙනි පරිච්ඡේදයේ තියෙන මඟ පෙන්වීම්වලින් ප්‍රයෝජන ගන්න එයාලටත් පුළුවන්.
4. රෝම 8:21 කියවද්දී අපි අපෙන්ම අහගන්න ඕනෙ ප්‍රශ්නේ මොකක්ද?
4 යෙහෝවා දෙවි හැම දුෂ්ටකමක්ම අයින් කරලා මිනිසුන්ව පාපයෙන් සහ මරණයෙන් බේරගන්නවා කියන සහතිකය රෝම 8:21 තියෙනවා. එතන කියන්නේ මිනිසුන්ට “දෙවිගේ දරුවන් ලෙස කියා නිම කළ නොහැකි නිදහසක් භුක්ති විඳීමට අවස්ථාව උදා වනු ඇත” කියලයි. ඒත් ඒ ආශීර්වාද අද්දකින්න එදාට ඔයා ඉඳියිද? ඒ ආශීර්වාද අද්දකින්න නම් අපි දැන් කරන්න ඕනෙ මොනවද කියලා තේරුම්ගන්න රෝම 8වෙනි පරිච්ඡේදය උදව් වෙනවා. ඒ ගැන දැන් බලමු.
තමන්ගේම ආශාවන්ට අනුව ක්‍රියා කරන අය
5. රෝම 8:4-13 පාවුල් කතා කරන්නේ මොන කණ්ඩායම් 2ක ගැනද?
5 රෝම 8:4-13 කියවන්න. රෝම 8වෙනි පරිච්ඡේදයේ පාවුල් කණ්ඩායම් 2ක් ගැන කතා කරනවා. එක කණ්ඩායමක් එයා විස්තර කරන්නේ “තමාගේම ආශාවන්ට අනුව ක්‍රියා කරන අය” හැටියටයි. අනිත් කණ්ඩායම “දෙවිගේ බලයේ උපකාරයෙන් ක්‍රියා කරන අය.” සමහරු හිතන්නේ පාවුල් එතන කතා කරන්නේ දෙවිට නමස්කාර කරන සහ දෙවිට නමස්කාර නොකරන අය ගැන කියලයි. ඒත් ඒක එහෙම නෙමෙයි. මොකද පාවුල් රෝම පොත ලිව්වේ “ශුද්ධ තැනැත්තන් ලෙස කැඳවනු ලැබූ” අයට. (රෝම 1:7) එහෙම බලද්දී ඒ කණ්ඩායම් දෙකම හිටියේ ක්‍රිස්තියානි සභාවේ.
6, 7. රෝම 8:4-13 පාවුල් කියපු දෙයින් අදහස් කළේ මොකක්ද?
6 අපි දැන් ටිකකට “වැරදි ආශාවන්” හැටියට පරිවර්තනය කරලා තියෙන ග්‍රීක වචනය ගැන යම් අදහසක් ගමු. ඒ වචනය රෝම 8වෙනි පරිච්ඡේදයේ “වැරදි ආශාවන්” විදිහට පරිවර්තනය කරලා තිබුණත් මුල් ලියවිලිවල ඒ ග්‍රීක වචනය යොදාගෙන තියෙන්නේ “වැරදි ආශාවන්” කියන අදහස විස්තර කරන්න විතරක් නෙමෙයි. ඒ වචනයට තවත් අදහස් ඇතුළත් වුණා. උදාහරණෙකට මිනිස් ශරීරය ගැන කතා කරද්දී ඒ වචනය පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම තමන්ගේම ජාතියේ කෙනෙක්ව විස්තර කරද්දී යොදාගෙන තියෙන්නෙත් ඒ වචනයයි.—රෝම 2:28; 1 කොරි. 15:39, 50; රෝම 1:3; 9:3.
7 රෝම 8:4-13 පාවුල් විස්තර කරන දේ තේරුම්ගන්න රෝම 7:5 එයා කියපු දෙයක් උදව් වෙනවා. එයා කිව්වේ “අප අපගේම ආශාවන්ට අනුව ජීවත් වූ කාලයේදී අප තුළ පව්කාර ආශාවන් ඇති බව අපගේ ක්‍රියා තුළින් දක්නට ලැබිණ. ඒ බව අප දැනගත්තේ නීතිය තුළින්ය” කියලා. මුල් සියවසේ හිටපු අභිෂේක ලත් අය දෙවිව දැන හඳුන ගන්න කලින් එයාලා ජීවත් වුණ විදිහෙන් එයාලා වැඩ කරන්නේ තමන්ගේ පව්කාර ආශාවන්ට අනුව කියලා පැහැදිලිව දකින්න තිබුණා. ඒ හා සමාන හැසිරීමක් රෝම සභාවේ හිටපු සමහරුන් තුළ දකින්න තියෙනවා කියලයි පාවුල් අදහස් කළේ.
8. “තමාගේම ආශාවන්ට අනුව ක්‍රියා කරන” එක ගැන පාවුල් අභිෂේක ලත් අයට අනතුරු ඇඟෙව්වේ ඇයි?
8 කෙනෙක්ට හිතෙන්න පුළුවන් “තමාගේම ආශාවන්ට අනුව ක්‍රියා කරන” එක ගැන දෙවිව දැන හඳුන ගෙන, අභිෂේක ලබලා හිටපු අයට පාවුල් අනතුරු ඇඟෙව්වේ ඇයි කියලා. ඒ අනතුරු ඇඟවීම අද ඉන්න දෙවිගේ හැම සේවකයෙකුටමත් වැදගත්ද? එහෙමනම් ඒ ඇයි? ඒකට හේතුව දෙවිට සේවය කරන ඕනම කෙනෙක් තමන්ගේම ආශාවන්ට ජීවිතේ මුල් තැන දෙන උගුලට අහු වෙන්න පුළුවන් නිසයි. උදාහරණෙකට රෝමයේ හිටපු සමහර සහෝදරයෝ තමන්ගේම ආශාවන්ට “වහල් වී සිටිනවා” කියලා පාවුල් කිව්වා. තමන්ගේම ආශාවන් කියද්දී පාවුල් අදහස් කළේ ලිංගික කාරණා, කෑම බීම සහ විනෝදයට කරන දේවල් වෙන්න ඇති. (රෝම 16:17, 18; ෆිලි. 3:18, 19; යූද් 4, 8, 12) යම් කාලයක් තිස්සේ කොරින්ති සභාවේ සහෝදරයෙක් “තම පියාගේ භාර්යාව” එක්ක වේශ්‍යාකමේ යෙදුණා. (1 කොරි. 5:1) ඒ දේවලින් පැහැදිලි වෙන්නේ “තමාගේම ආශාවන්ට අනුව ක්‍රියා කරන” එක ගැන පාවුල් අනතුරු ඇඟෙව්වේ හොඳ හේතු ඇතුව කියලයි.—රෝම 8:5, 6.
9. රෝම 8:6 සඳහන් දෙයින් අදහස් වෙන්නේ නැත්තේ මොකක්ද?
9 ඒ අනතුරු ඇඟවීම අදටත් ප්‍රයෝජනවත්. මොකද අවුරුදු ගාණක් තිස්සේ දෙවිට උද්‍යෝගයෙන් සේවය කරන කෙනෙක් වුණත් “තමාගේම ආශාවන්ට අනුව ක්‍රියා කරන්න” පටන්ගන්න පුළුවන්. ඒ කියන්නේ රෝම 8:6 පාවුල් අනතුරු අඟවන්නේ කෑම බීම, රැකියාව, විනෝදය, විවාහය වගේ දේවල් ගැන කොහොමටවත් හිතන්න එපා කියලද? නැහැ. ඒවා ජීවිතේ සාමාන්‍ය දේවල්. යේසුත් කෑම බීමවලින් තෘප්තියක් ලැබුවා. අනිත් අයටත් කෑම දුන්නා. ලිංගික ඇසුර, එකිනෙකාට ආදරේ පෙන්නන එක විවාහ ජීවිතේ අත්‍යවශ්‍ය දෙයක් කියලා පාවුලුත් කිව්වා.
10. යම් දේකට ‘මනස යොමු කරනවා’ කියද්දී අදහස් වෙන්නේ මොකක්ද?
10 කෙනෙක් යම් දේකට තමන්ගේ ‘මනස යොමු කරනවා’ කියද්දී පාවුල් අදහස් කළේ මොකක්ද? එතන පාවිච්චි කරලා තියෙන ග්‍රීක වචනයෙන් අදහස් වෙන්නේ කෙනෙක් තමන්ගේ සම්පූර්ණ අවධානය එක දේකට දෙනවා කියන එකයි. එයා නිතරම හිතන්නේ ඒ දේ ගැනයි. දේවල් සැලසුම් කරන්නේ ඒ දේ වෙනුවෙන්. විශාරදයෙක් කියන විදිහට ‘තමන්ගේ ආශාවන්ට මනස යොමු කරන’ කෙනෙක්ගේ ප්‍රධාන අරමුණ ඒ ආශාවන් ඉටු කරගන්න එකයි. ඒ වගේම එයා නිතරම කතා කරන්නේ ඒ ගැන. එයාව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නෙත් ඒ ආශාවයි.
11. අපේ ජීවිතේ මුල් තැන හිමි වෙන්න පුළුවන් මොනවටද?
11 රෝමයේ හිටපු ක්‍රිස්තියානීන් තමන්ගේ මනස යොමු වෙලා තියෙන්නේ මොන දේවලටද කියලා හිතලා බලන එක වැදගත් දෙයක් වුණා. එයාලගේ මනස් යොමු වෙලා තිබුණේ “වැරදි දේවලට” වෙන්න බැරිද? අපේ මනස් යොමු වෙලා තියෙන්නේ මොන දේවලටද කියලා අපිත් හිතලා බලන්න ඕනේ. මේ ප්‍රශ්න ගැන හිතන්න. ‘මං නිතරම කතා කරන්නේ මොනවා ගැනද? මං වැඩියෙන්ම කරන්න කැමති මොනවද?’ එහෙම හිතද්දී සමහරුන්ට තේරෙයි තමන් නිතරම හිතන්නේ විවිධ මත්පැන් වර්ගවල රස බලන එක ගැන කියලා. නැත්නම් තමන්ගේ නිවස තව ලස්සන කරන විදි ගැන, විනෝද ගමන් සැලසුම් කරන එක ගැන, අලුත් ඇඳුම් ගන්න එක ගැන කියලා. තවත් අයට තේරෙයි තමන් නිතරම හිතන්නේ මුදල් ආයෝජනය කරන එක ගැන කියලා. ඒ කිසිම දෙයක් වැරදි නැහැ. ඒවා අපේ ජීවිතවල සාමාන්‍ය දේවල් වෙන්න පුළුවන්. උදාහරණෙකට යේසුත් විවාහ උත්සවයකදී ආශ්චර්යයක් කරලා වයින් ලබා දුන්නා. පාවුල් තිමෝතිට කිව්වා “ඔබ නිතරම අසනීප වන නිසා වයින් ටිකක් බොන්න” කියලා. (1 තිමෝ. 5:23; යොහ. 2:3-11) ඒත් යේසුස්ගෙවත් පාවුල්ගෙවත් ජීවිතවල මුල් තැන හිමි වුණේ වයින්වලට නෙමෙයි. අපේ ජීවිතවල මුල් තැන හිමි වෙලා තියෙන්නේ මොනවටද?
12, 13. අපේ මනස යොමු වෙන දේ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනෙ ඇයි?
12 පාවුල් කියනවා “කෙනෙක් තම මනස වැරදි ආශාවන්ට යොමු කළොත් එය ඔහුගේ මරණයට මඟ පාදයි” කියලා. (රෝම 8:6) ඒකෙන් අදහස් වුණේ කෙනෙක් තමන්ගේ ආශාවන්ට අනුව ජීවත් වුණොත් යෙහෝවා දෙවි එක්ක එයාට තියෙන බැඳීම නැති වෙලා යන්න පුළුවන් කියලයි. ඒකේ ප්‍රතිඵලය මරණය. ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ වැරදි ආශාවන්ට අනුව ජීවත් වෙන කෙනෙක්ට තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න බැහැ කියලා. කොරින්ති සභාවේ හිටපු වේශ්‍යාකමේ යෙදුණ කෙනා තමන්ට ලැබුණ හික්මවීම් පිළි අරන් ජීවිතේ වෙනස් කරගත්තා. වැරදි ආශාවන්ට එයාව පාලනය කරන්න එයා තවදුරටත් ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා ආයෙමත් පවිත්‍ර සිතකින් දෙවිට සේවය කරන්න එයාට පුළුවන් වුණා.—2 කොරි. 2:6-8.
13 තමන්ගේ ආශාවන්ට අනුව ක්‍රියා කරපු නිසා ඒ කෙනා කලින් ගත කළේ හරිම පහත් ජීවිතයක්. ඒත් එයාට පුළුවන් වුණා ජීවිතේ වෙනස් කරගන්න. අද ඉන්න දෙවිගේ සේවකයෙක් දෙවිගේ ප්‍රතිපත්තිවලින් ඈත් වෙලා වැරදි ආශාවන්ට අනුව වැඩ කරන්න පටන් අරන් තිබුණත් එයාටත් පුළුවන් වෙනස් වෙන්න. පාවුල් දුන්න අනතුරු ඇඟවීම නිතරම අපේ හිතේ තියාගන්නවා නම් දෙවි අපෙන් බලාපොරොත්තු වෙන ඕනෑම වෙනස්කමක් කරගන්න අපි පෙලඹෙයි.
දෙවි ප්‍රිය කරන දේවලට මනස යොමු කරන්න
14, 15. (අ) පාවුල් උනන්දු කළේ අපේ මනස මොන දේවලට යොමු කරන්න කියලද? (ආ) දෙවි ප්‍රිය කරන දේවලට මනස යොමු කරන්න කියද්දී අදහස් වෙන්නේ නැත්තේ මොකක්ද?
14 තමන්ගේම ආශාවන්ට අනුව වැඩ කරන එකේ තියෙන අනතුර ගැන කතා කළාට පස්සේ පාවුල් මෙහෙම කිව්වා. “කෙනෙක් තම මනස දෙවි ප්‍රිය කරන දේවලට යොමු කළොත් එයින් ඔහුට ජීවනය හා සමාදානය හිමි වෙයි.” ජීවනය සහ සමාදානය කියන්නේ මොන තරම් වටින ආශීර්වාදද!
15 ‘දෙවි ප්‍රිය කරන දේවලට මනස යොමු කරන්න’ කියලා පාවුල් කියද්දී එයා අදහස් කළේ කෙනෙක් හැම වෙලේම හිතන්න ඕනෙ, කතා කරන්න ඕනෙ දෙවි ගැන නැත්නම් බයිබලේ ගැන කියන එක නෙමෙයි. පාවුල් සහ මුල් සියවසේ ජීවත් වුණ දෙවිගේ අනිත් විශ්වාසවන්ත සේවකයන් තාපසයන් වගේ ජීවත් වුණේ නැහැ. එයාලා කෑම බීමවලින් තෘප්තියක් ලැබුවා. විවාහ වුණා. දරුවෝ ඇතිදැඩි කළා. ඒ වගේම රැකියාවනුත් කළා.—මාක් 6:3; 1 තෙස. 2:9.
16. පාවුල්ට වැදගත්ම දේ වුණේ මොකක්ද?
16 එදිනෙදා ජීවිතේ දේවල් කරන්න පාවුල්ට, ඒ කාලේ හිටපු අනිත් විශ්වාසවන්ත අයට සිද්ධ වුණත් ඒවා එයාලගේ ජීවිතවල වැදගත්ම දේ කරගත්තේ නැහැ. පාවුල් එයාගේ වියදම් පියවගත්තේ කූඩාරම් මහලා. ඒත් ඒක එයාගේ ජීවිතේ වැදගත්ම දේ වුණේ නැහැ. එයාගේ ජීවිතේ වැදගත්ම දේ වුණේ යෙහෝවා දෙවිට සේවය කරන එක. එයා මනස යොමු කළේ දෙවි ගැන අනිත් අයට දේශනා කරන්න. දෙවි ගැන උගන්වන්න. (ක්‍රියා 18:2-4; 20:20, 21, 34, 35 කියවන්න.) රෝමයේ හිටපු සහෝදරයන්ටත් එයා දිරිගැන්නුවේ ඒ දේවලට මනස යොමු කරන්න කියලයි. අපිත් කරන්න ඕනෙ ඒ දේම නෙමෙයිද?—රෝම 15:15, 16.
17. ‘දෙවි ප්‍රිය කරන දේවලට මනස යොමු කරන’ අයට ලැබෙන ආශීර්වාද මොනවද?
17 යෙහෝවා දෙවිට කරන සේවයට ජීවිතේ වැදගත්ම තැන දෙනවා නම් අපිට ලැබෙන්නේ මොනවද? රෝම 8:6 කියන්නේ “මනස දෙවි ප්‍රිය කරන දේවලට යොමු කළොත් එයින් ජීවනය හා සමාදානය හිමි වෙයි” කියලා. දෙවි ප්‍රිය කරන දේවලට මනස යොමු කරන කෙනෙක් තමන්ගේ සිතුවිලි, හැඟීම් සකස් කරන්න දෙවිගේ බලයට ඉඩ දෙනවා. දෙවි හිතන විදිහට හිතන්න, දෙවි කැමති විදිහට වැඩ කරන්න එතකොට එයා ඉගෙනගන්නවා. එහෙම අයට මේ කාලෙදී සැබෑ සතුට අද්දකින්න පුළුවන් වගේම අනාගතයේදී සදහටම දෙවිගේ ආශීර්වාද අද්දකින්න පුළුවන්.
18. ‘මනස දෙවි ප්‍රිය කරන දේවලට යොමු කරද්දී’ සමාදානය අද්දකින්නේ කොහොමද?
18 ‘මනස දෙවි ප්‍රිය කරන දේවලට යොමු කරන’ අය සමාදානය අද්දකිනවා කියද්දී පාවුල් අදහස් කළේ මොකක්ද? හිතේ සාමය අද්දකින්න අපි කවුරුත් කැමතියි. ඒත් අද ඉන්න හුඟදෙනෙක් ඒ සාමය අද්දකින්නේ නැහැ. ඒක ලබා දෙන්න පුළුවන් යෙහෝවා දෙවිට විතරක් නිසා ඔහුගේ සේවකයන් විදිහට අපි හිතේ සාමය අද්දකිනවා. පාපය උරුම කරගත්ත අය නිසා පවුලේ අය එක්ක, සභාවේ අය එක්ක සමහර වෙලාවලදී අපිටත් ප්‍රශ්න ඇති වෙනවා. ඒත් “මුලින්ම ගොස් ඔබේ සහෝදරයා සමඟ සමාදාන වන්න” කියලා යේසුස් දුන්න උපදෙස අදාළ කරගන්න අපි ලොකු වෑයමක් දරන නිසා ඒ අය එක්ක දිගටම සාමයෙන් ඉන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. (මතෙ. 5:24) අපි හැමෝම සේවය කරන්නේ “සමාදානය ලබා දෙන දෙවි” යෙහෝවාට කියන දේ මතක තියාගද්දී ප්‍රශ්න විසඳගන්න ලේසියි.—රෝම 15:33; 16:20.
19. අපි සමාදානය අද්දකින විශේෂ විදිහ මොකක්ද?
19 ‘දෙවි ප්‍රිය කරන දේවලට මනස යොමු කරන’ අය තව විශේෂ විදිහකින් සමාදානය අද්දකිනවා. ඒ අපිට දෙවිත් එක්ක තියෙන බැඳීමයි. මොකද දෙවි අපිත් එක්ක සමාදානය ඇති කරගෙන තියෙනවා. යෙසායා ඒ ගැන කිව්වේ මෙහෙමයි. “දෙවියනි, කිසිදා සැක නොකර මුළු හදින්ම ඔබව විශ්වාස කරන තැනැත්තාට ඔබ සමාදානය දෙන්නෙහිය. ඔබ කෙරෙහි විශ්වාසය තබන නිසා ඔහු හැමදාමත් සමාදානයෙන් සිටියේය.”—යෙසා. 26:3; රෝම 5:1 කියවන්න.
20. රෝම 8වෙනි පරිච්ඡේදයේ සඳහන් අනතුරු ඇඟවීම ඔයා අගය කරන්නේ ඇයි?
20 අපේ බලාපොරොත්තුව ස්වර්ගයේ ජීවත් වෙන්න වුණත් පොළොවේ ජීවත් වෙන්න වුණත් රෝම 8වෙනි පරිච්ඡේදයේ තියෙන වටිනා තොරතුරුවලින් ප්‍රයෝජන ගන්න අපි හැමෝටම පුළුවන්. අපේම ආශාවන්ට වහල් වෙනවා වෙනුවට දෙවිට කරන සේවයට මුල් තැන දෙන්න කියලයි බයිබලේ අපිට දිරිගන්වන්නේ. ‘මනස දෙවි ප්‍රිය කරන දේවලට යොමු කරන’ අයට ‘ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි සදාකාල ජීවනය කියන තෑග්ග’ ලබා දෙනවා. ඒක මොන තරම් පුදුමාකාර ආශීර්වාදයක්ද!—රෝම 6:23.