අපි අයිති යෙහෝවා දෙවිටයි
“යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින ජාතියද දෙවි තම උරුමය ලෙස තෝරාගත් සෙනඟද සන්තෝෂවත්ය.”—ගීතා. 33:12.
1. හැම දෙයක්ම අයිති යෙහෝවා දෙවිට කියන්නේ ඇයි? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
හැම දෙයක්ම අයිති යෙහෝවා දෙවිටයි. ‘ඉමක් කොනක් නොපෙනෙන අහසත් එහි ඇති සියල්ලත් මේ මහ පොළොවත් එහි ඇති සියල්ලත් අයිති ඔහුටයි.’ (ද්වි. 10:14; එළි. 4:11) මිනිසුන්ව නිර්මාණය කළේ යෙහෝවා දෙවි නිසා අපි හැමෝගෙම අයිතිකරුත් ඔහුයි. (ගීතා. 100:3) ඒත් ඒ අය අතරින් පිරිසක්ව දෙවි සලකන්නේ ඔහුට අයිති විශේෂ වස්තුවක් විදිහට.
2. බයිබලේ කියන විදිහට දෙවි විශේෂ වස්තුවක් විදිහට සලකන්නේ කාවද?
2 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ හිටපු දෙවිගේ විශ්වාසවන්ත සේවකයන්ව බයිබලේ හඳුන්වලා තියෙන්නේ දෙවි “සතු අනර්ඝතම වස්තුව” විදිහටයි. (ගීතා. 135:4) ඊශ්‍රායෙල් ජාතියට අයිති නොවන පිරිසකුත් දෙවිට අයිති සෙනඟක් වෙනවා කියලා හොෂෙයා අනාවැකියක් කිව්වා. (හොෂෙ. 2:23) යේසුස් එක්ක ස්වර්ගයේ රජකම් කරන්න වෙනත් ජාතීන්ට අයිති අයවත් දෙවි තෝරගන්න පටන්ගද්දී ඒ අනාවැකිය ඉටු වුණා. (ක්‍රියා 10:45; රෝම 9:23-26) දෙවිගේ බලයෙන් අභිෂේක ලබපු ඒ අයව හඳුන්වන්නේ “ශුද්ධ ජාතියක්” විදිහට. එයාලා “දෙවිට විශේෂයෙන් අයිති වූ තෝරාගත් සෙනඟක්.” (1 පේතෘ. 2:9, 10) එතකොට මේ පොළොවේ සදාකාලෙටම ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයව දෙවි සලකන්නේ කොහොමද? එයාලවත් දෙවි හඳුන්වන්නේ “මාගේ සෙනඟ” නැත්නම් “මාගේ තෝරාගත් අය” විදිහට.—යෙසා. 65:22.
3. (අ) අද කාලේ දෙවි එක්ක විශේෂ බැඳීමක් තියෙන්නේ කාටද? (ආ) අපි මේ ලිපියේ බලන්නේ මොනවා ගැනද?
3 ස්වර්ගයේ හැමදාටම ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න “කුඩා රැළත්” පොළොවේ සදාකාලෙටම ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න “වෙනත් බැටළුවනුත්” එක්සත්ව “එක රැළක්” විදිහට අද දෙවිට නමස්කාර කරනවා. (ලූක් 12:32; යොහ. 10:16) දෙවි එක්ක විශේෂ බැඳීමක් ඇති කරගන්න අපිට අවස්ථාව දුන්න එක අපි කොයි තරම් අගය කරනවාද! අපේ හිතේ තියෙන ඒ අගය දෙවිට පෙන්නන්නයි අපිට ඕනේ. ඒක කරන්න පුළුවන් කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු.
අපේ ජීවිත අපි යෙහෝවා දෙවිට කැප කරනවා
4. දෙවි එක්ක විශේෂ බැඳීමක් ඇති කරගන්න අපිට අවස්ථාව දුන්න එක අපි අගය කරනවා කියලා පෙන්නන්න පුළුවන් එක විදිහක් මොකක්ද? ඒ දේ යේසුස් කළේ කොහොමද?
4 අගය පෙන්නන්න පුළුවන් එක විදිහක් තමයි අපේ ජීවිත දෙවිට කැප කරන එක. ඒ කැපවීම බව්තීස්මයෙන් පෙන්නද්දී හැමෝම දැනගන්නවා අපි යෙහෝවා දෙවිට අයිතියි වගේම අපි දෙවිට කීකරු වෙන්න කැමතියි කියලා. (හෙබ්‍රෙ. 12:9) බව්තීස්ම වුණ වෙලාවේ යේසුත් ඒ හා සමාන දෙයක් කළා. ඔහු දෙවිට කැප වුණ ජාතියට අයිති කෙනෙක් වුණත් බව්තීස්ම වෙලා ඔහු පෙන්නුවේ දෙවිගේ කැමැත්ත වෙනුවෙන් ඔහු තමන්ගේ මුළු ජීවිතේම දෙවිට භාර දෙනවා කියලයි. ඒක හරියට “මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම බොහෝ සේ ආශා වෙමි” කියලා යේසුස් කිව්වා වගේ.—ගීතා. 40:7, 8.
5, 6. (අ) යේසුස් බව්තීස්ම වුණාම යෙහෝවා දෙවි කිව්වේ මොනවාද? (ආ) අපේ ජීවිතේ දෙවිට කැප කරද්දී දෙවිට හැඟෙන විදිහ උදාහරණෙකින් පැහැදිලි කරන්න.
5 යේසුස් බව්තීස්ම වෙද්දී ඒ ගැන දෙවිට හැඟුණේ කොහොමද? බයිබලේ මෙහෙම කියනවා. “යේසුස් බව්තීස්ම වී දියෙන් උඩට මතු වෙනවාත් සමඟම අහස විවර විය. දෙවිගේ බලය පරෙවියෙකුගේ ස්වරූපයෙන් ඔහු පිටට පැමිණි ආකාරය යොහන් දුටුවේය. ඒ අවස්ථාවේදී, ‘මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයාය, මම මොහුව අනුමත කළෙමි’ කියා පැවසූ හඬක් ස්වර්ගයෙන් නික්මුණේය.” (මතෙ. 3:16, 17) ඒ වෙද්දීත් යේසුස් දෙවිට අයිති කෙනෙක්. ඒත් දෙවිට විතරක් සේවය කරන්න යේසුස් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා දැක්කාම යෙහෝවා දෙවිට දැනුණේ ලොකු සතුටක්. අපිත් අපේ ජීවිත දෙවිට කැප කරද්දී ඒ ගැන දෙවි හුඟක් සතුටු වෙනවා. ඔහු අපිට ආශීර්වාදත් කරනවා.—ගීතා. 149:4.
6 දෙවිට හැඟෙන විදිහ තේරුම්ගන්න මේ උදාහරණේ බලන්න. තාත්තා කෙනෙක්ට ලස්සන මල් වත්තක් තියෙනවා. දවසක් එයාගේ පුංචි දුව ඒ වත්තෙන් මලක් කඩාගෙන ඇවිත් තාත්තාට දෙනවා. ඒ මල ගත්තේ තාත්තාට අයිති මල් වත්තෙන් තමයි. ඒත් දුව දුන්න ඒ තෑග්ග ගැන තාත්තාට දැනෙන්නේ ලොකු සතුටක්. ඒ මල දීලා දුව පෙන්නුවේ එයාගේ හිතේ තාත්තාට තියෙන ආදරේ. වත්තේ තියෙන අනිත් හැම මලකටම වඩා තාත්තාට දුව දුන්න ඒ මල වටිනවා. අපිත් අපේ ජීවිත කැමැත්තෙන්ම දෙවිට කැප කරද්දී දෙවිට හැඟෙන්නෙත් ඒ තාත්තාට හැඟුණා වගෙයි.—නික්. 34:14.
7. කැමැත්තෙන්ම දෙවිට සේවය කරන අය ගැන දෙවිට හැඟෙන විදිහ මලාකි කියපු දෙයින් තේරෙන්නේ කොහොමද?
7 මලාකි 3:16 කියවන්න. ඔයාගේ ජීවිතේ දෙවිට කැප කරලා බව්තීස්ම වෙන එක ඇයි එච්චරම වැදගත් වෙන්නේ? අම්මාගේ කුසේ ඔයා පිළිසිඳගත්ත දා ඉඳන්ම ඔයා අයිති ඔයාගේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිට. ඒත් ඔයාගේ පාලකයා විදිහට ඔයා දෙවිව පිළි අරන් ඔයාගේ මුළු ජීවිතේම දෙවිට කැප කරද්දී ඔහුට කොච්චර නම් සතුටක් දැනෙයිද! (හිතෝ. 23:15) කැමැත්තෙන්ම දෙවිට සේවය කරන්නේ කවුද කියලා දෙවි දන්නවා. ඔහු ‘තම මතකයේ සිටින ඒ අයගේ නම් ලියවිල්ලක සටහන් කරනවා.’
8, 9. දෙවි තමන්ගේ ලියවිල්ලේ නම් සටහන් කරගන්න අයගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?
8 දෙවිගේ ලියවිල්ලේ අපේ නම දිගටම සටහන් වෙලා තියෙනවාට අපි කැමති නම් අපි කරන්න ඕනෙ දෙයක් තියෙනවා. මලාකි කියන්නේ අපි දෙවිගේ නාමය සිහි කරමින් ඔහුට ගරුබිය පෙන්නන්න ඕනෙ කියලයි. අපි අපේ නමස්කාරය දෙවිට හැර වෙන කෙනෙකුට හරි වෙන දේකට හරි දුන්නොත් දෙවි අපේ නම ඒ ලියවිල්ලෙන් මකලා දායි.—නික්. 32:33; ගීතා. 69:28.
9 දෙවිට කැප වෙනවා කියන්නේ දෙවිගේ කැමැත්ත කරනවා කියලා පොරොන්දු වෙලා බව්තීස්ම වෙන එකට විතරක් සීමා වෙන දෙයක් නෙමෙයි කියලා ඒකෙන් තේරෙනවා. ඒවා අපි කරන්නේ එක වතාවයි. ඒත් අපි දෙවිට කැප වුණ අය කියන දේ අපේ මුළු ජීවිතෙන්ම දකින්න තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ ජීවිතේ තියෙන තාක් කල් අපි ජීවත් වෙන හැම දවසක් ගාණේ අපි කීකරු වෙන්නේ යෙහෝවා දෙවිටයි කියලා අපි පෙන්නන්න ඕනේ.—1 පේතෘ. 4:1, 2.
පව්කාර ආශාවන් අපි ප්‍රතික්ෂේප කරනවා
10. යෙහෝවා දෙවිට සේවය කරන සහ නොකරන අය අතරේ තියෙන්න ඕනෙ පැහැදිලි වෙනස මොකක්ද?
10 කායින්, සලමොන් සහ ඊශ්‍රායෙල්වරුන් දෙවිට නමස්කාර කරනවා කියලා කිව්වත් එයාලා දෙවිට ළැදිව හිටියේ නැහැ කියලා අපි කලින් ලිපියේ බැලුවා. එයාලගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම තමයි අපි දෙවිට නමස්කාර කරනවා කියලා කිව්වාට විතරක් මදි කියන දේ. අපි නරක දේට පිළිකුල් කරන්න ඕනෙ වගේම හරි දේට ඇලුම් කරන්නත් ඕනේ. (රෝම 12:9) “ධර්මිෂ්ඨයා කවුද කියාත් දුෂ්ටයා කවුද කියාත් දෙවිට සේවය කරන්නේ කවුද කියාත් නොකරන්නේ කවුද කියාත් පැහැදිලිව දැකගැනීමට හැකි වනු ඇත” කියලා යෙහෝවා දෙවි කිව්වා.—මලා. 3:18.
11. අපි නමස්කාර කරන්නේ යෙහෝවා දෙවිට විතරයි කියන දේ අනිත් අයට පැහැදිලිව පේන්න ඕනෙ ඇයි?
11 දෙවිගේ සෙනඟ විදිහට අපිව තෝරගත්ත එක ගැන අපේ හිතේ ලොකු අගයක් තියෙනවා නම් අපි ඉන්නේ දෙවිගේ පැත්තේ කියන දේ අනිත් හැමෝටම අපි පැහැදිලිව පෙන්නනවා. (මතෙ. 5:16; 1 තිමෝ. 4:15) මෙහෙම හිතන්න. ‘දෙවිට තියෙන මගේ ළැදිකම මං කොහොමටවත් අත්හරින්නේ නැහැ කියලා අනිත් අය පැහැදිලිව දකිනවාද? මට අවස්ථාව ලැබෙන හැම වෙලාවකම මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් කියලා අනිත් අයට කියනවාද?’ අපි දෙවිට අයිති අය කියලා කියන්න අපි ලැජ්ජා වෙනවා නම් දෙවිට ඒ ගැන කොයි තරම් දුකක් දැනෙයිද කියලා හිතන්න.—ගීතා. 119:46; මාක් 8:38 කියවන්න.
12, 13. සමහරුන්ව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට පැහැදිලිව හඳුනගන්න අනිත් අයට අමාරු වෙලා තියෙන්නේ ඇයි?
12 සමහර සාක්ෂිකරුවන් “මේ ලෝකයේ සිටින අයගේ බලපෑමට හසු” වෙලා තියෙන නිසා එයාලයි, දෙවිට සේවය නොකරන අයයි අතරේ පැහැදිලි වෙනසක් දකින්න බැහැ. ඒක ඇත්තටම කනගාටුවට හේතුවක්. (1 කොරි. 2:12) මේ ලෝකේ බලපෑමට හසු වෙලා ඉන්න අය උත්සාහ කරන්නේ තමන් ආස කරන දේවලට මුල් තැන දෙන්නයි. (එෆී. 2:3) උදාහරණෙකට ඇඳුම් පැළඳුම් ගැන අපිට මොන තරම් මඟ පෙන්වීම් ලැබුණත් සමහරු තාම කැමතියි ඇඟට හිර, ඇඟ පේන ඇඳුම් අඳින්න. සමහරු රැස්වීම්වලට එන්නෙත් ඒ විදිහට ඇඳගෙන. තවත් අය තමන්ට වැඩියෙන් අවධානය ලැබෙන විදිහේ නැත්නම් සමාජයේ යම් පිරිසක්ව අනුගමනය කරනවා කියලා පැහැදිලිව පේන විදිහේ කොණ්ඩ විලාසිතාවලින් සැරසෙනවා. (1 තිමෝ. 2:9, 10) ඒකෙන් වෙන්නේ එයාලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද නැද්ද කියලා අනිත් අයට පැහැදිලිව හඳුනගන්න බැරි වෙන එකයි.—යාකො. 4:4.
13 සමහර සාක්ෂිකරුවන් කරන තවත් දේවලින් පැහැදිලි වෙනවා එයාලා මේ ලෝකේ බලපෑම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා නැහැ කියලා. උදාහරණෙකට උත්සවවලදී සමහරු නටලා තියෙන්නේ, හැසිරිලා තියෙන්නේ ක්‍රිස්තියානීන්ට කොහොමටවත් සුදුසු නැති විදිහට. තවත් අය මිතුරු සමාජ වෙබ් අඩවිවලට දාලා තියෙන එයාලගේ ෆොටෝ සහ අදහස්වලින් පේනවා එයාලා වැඩ කරන්නේ තමන්ගේ ආශාවන්ට වහල් වෙලා කියලා. බරපතළ වරදක් කරපු අය විදිහට එයාලට සභාවෙන් හික්මවීමක් ලැබිලා නැතුව ඇති. ඒත් මේ ලෝකේ අයට වඩා වෙනස්ව ජීවත් වෙන්න වෑයම් කරන සහෝදර සහෝදරියන්ට එයාලගේ නරක හැසිරීම බලපාන්න පුළුවන්.—1 පේතෘස් 2:11, 12 කියවන්න.
14. යෙහෝවා දෙවි එක්ක අපිට තියෙන විශේෂ බැඳීම රැකගන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?
14 මේ දුෂ්ට සමාජයේ තියෙන හැම දේම සකස් කරලා තියෙන්නේ ‘තම ඉඳුරන් පිනවීමේ ආශාවට, තමන් දකින දකින දේ ලබාගැනීමේ ආශාවට, තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ නැඹුරුවාවට’ මුල් තැන දෙන්න පෙලඹෙන විදිහටයි. (1 යොහ. 2:16) ඒත් අපි අයිති යෙහෝවා දෙවිට නිසා දෙවි අපිට උනන්දු කරන්නේ ‘දෙවිට අගෞරවයක් ගෙන දෙන ක්‍රියා හා පව්කාර ආශාවන් ප්‍රතික්ෂේප කරන්න’ කියලයි. ඒ වගේම ‘පවතින මේ සමාජය තුළ හොඳ සිහිකල්පනාවෙන්, ධර්මිෂ්ඨකමින් හා දේවභක්තියෙන් ජීවත් වෙන්න’ කියලයි. (තීත. 2:12) අපි කතා කරන විදිහෙන්, කන බොන විදිහෙන්, අඳින පළඳින විදිහෙන්, රැකියාව කරන විදිහෙන් වගේ අපේ ජීවිතේ හැම කාරණයකදීම අනිත් අයට පැහැදිලිව පේන්න ඕනෙ අපි අයිති යෙහෝවා දෙවිට කියලා.—1 කොරින්ති 10:31, 32 කියවන්න.
එකිනෙකා සඳහා අපිට බලවත් ප්‍රේමයක් තියෙනවා
15. එකිනෙකාට අපි ආදරෙන්, කරුණාවෙන් සලකන්න ඕනෙ ඇයි?
15 දෙවි එක්ක අපිට තියෙන විශේෂ බැඳීම අපිට ගොඩක් වටිනවා කියලා සහෝදර සහෝදරියන්ට අපි සලකන විදිහෙනුත් පෙන්නන්න පුළුවන්. අපි වගේම එයාලත් අයිති යෙහෝවා දෙවිට. ඒ දේ මතක තියාගන්නවා නම් හැම වෙලේම එයාලට ආදරෙන්, කරුණාවෙන් සලකන්න අපි පෙලඹෙයි. (1 තෙස. 5:15) එහෙම කරන එක එච්චරම වැදගත් ඇයි? යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට මෙහෙම කිව්වා. “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි.”—යොහ. 13:35.
16. යෙහෝවා දෙවිට තමන්ගේ සෙනඟ ගැන හැඟෙන විදිහ තේරුම්ගන්න නීතියේ සඳහන් දෙයක් අපිට උදව් වෙන්නේ කොහොමද?
16 සභාවේ ඉන්න අයට අපි සලකන්න ඕනෙ කොහොමද කියලා තේරුම්ගන්න මෝසෙස්ගේ නීතියේ සඳහන් දෙයක් අපිට උදව් වෙනවා. දේවමාලිගාවේ තිබුණ භාණ්ඩ විශේෂයෙන්ම වෙන් කරලා තිබුණේ දෙවිගේ නමස්කාරය වෙනුවෙන්. ලෙවීවරු ඒ භාණ්ඩ පාවිච්චි කරන්න ඕනෙ කොහොමද කියලා නීතියේ පැහැදිලිවම සඳහන් වුණා. කවුරු හරි ඒ මඟ පෙන්වීම් පිළිපැද්දේ නැත්නම් එයාට ලැබෙන්නේ මරණ දඬුවම. (ගණන්. 1:50, 51) දෙවිට කරන නමස්කාරයේදී යොදාගන්න ඒ භාණ්ඩ පාවිච්චි කරන විදිහ ගැන දෙවි එච්චරම සැලකිලිමත් වුණා නම් ඔහුට කැප වුණ, ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට අපි සලකන විදිහ ගැන දෙවි කොච්චර සැලකිලිමත් වෙනවා ඇද්ද! අපිව දෙවිට කොච්චර වටිනවාද කියලා ඔහු කියපු මේ වචනවලින් පැහැදිලියි. “යමෙක් ඔබට හිරිහැර කළොත් මා එය සලකන්නේ මාගේ ඇසේ කලු ඉංගිරියාවට අත ගසන්නාක් මෙනි.”—සෙක. 2:8.
17. දෙවි “හොඳින් අවධානය” දෙන්නේ මොනවාටද?
17 දෙවිගේ සෙනඟ එකිනෙකා එක්ක කතාබහ කරද්දී ‘ඔවුන් කතා කළ දේවලට දෙවි හොඳින් අවධානය දෙනවා.’ (මලා. 3:16) “තම අනුමැතිය තිබෙන්නේ කාටද කියා යෙහෝවා දෙවි දන්නවා.” (2 තිමෝ. 2:19) අපි කරන කියන දේවල් ගැනත් ඔහු හොඳින් දන්නවා. (හෙබ්‍රෙ. 4:13) අපි අපේ සහෝදර සහෝදරියන්ට වැරදි විදිහට සලකනවා නම් දෙවිට ඒක පේනවා. අනිත් අතට අපි එයාලට ආගන්තුක සත්කාර පෙන්නද්දී, ත්‍යාගශීලී වෙද්දී, සමාව දෙද්දී, කරුණාවෙන් සලකද්දී ඒකත් දෙවිට පේනවා.—හෙබ්‍රෙ. 13:16; 1 පේතෘ. 4:8, 9.
‘යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව අත්හරින්නේ නැහැ’
18. ඔහුගේ සෙනඟ හැටියට අපිව තෝරගත්ත එක අපි අගය කරනවා කියලා පෙන්නන්නේ කොහොමද?
18 දෙවිට අයිති අය වෙන්න ලැබුණ එක අපි කොච්චර අගය කරනවාද කියලා දෙවිට පෙන්නන්නයි අපිට ඕනේ. අපි අපේ ජීවිත දෙවිට කැප කරන්න ගත්ත තීරණය තමයි අපි ගත්ත ඥානවන්තම තීරණය. අපි ජීවත් වෙන්නේ “වංක, නොමඟ ගිය මිනිස් පරම්පරාවක් අතරේ” වුණත් “නිර්දෝෂ මෙන්ම අවංක අය” විදිහට ජීවත් වෙන්න අපිට පුළුවන්. ඒ වගේම ‘මෙලොවෙහි බැබළෙන දැල්වූ පහන් හා සමානව’ ජීවත් වෙන්නත් අපිට පුළුවන්. (ෆිලි. 2:15) ඒ නිසා දෙවි පිළිකුල් කරන හැම දේකින්ම වැළකිලා ඉන්න අපි අදිටන් කරගමු. (යාකො. 4:7) අපේ සහෝදර සහෝදරියන් අයිති යෙහෝවා දෙවිට නිසා එයාලට ආදරෙන්, කරුණාවෙන් සලකන්නත් උත්සාහ කරමු.—රෝම 12:10.
19. දෙවිට අයිති අයට ඔහු ආශීර්වාද කරන්නේ කොහොමද?
19 “යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව අත් නොහරින්නේය” කියලා බයිබලේ පොරොන්දු වෙනවා. (ගීතා. 94:14) ඒක දෙවි දෙන සහතිකයක්. මොන දේ වුණත් දෙවි අපිව අත්හරින්නේ නැහැ. අපි එක්කම ඉන්නවා. අපි මැරුණත් දෙවිට අපිව අමතක වෙන්නේ නැහැ. (රෝම 8:38, 39) “අප ජීවත් වන්නේ යෙහෝවා දෙවිගේ ගෞරවය උදෙසාය. අපට මිය යන්න සිදු වුණත් එසේ මිය යන්නේ යෙහෝවා දෙවිගේ ගෞරවය උදෙසාය. ඒ අනුව අප ජීවත් වුණත් මිය ගියත් අප අයිති වන්නේ යෙහෝවා දෙවිටයි.” (රෝම 14:8) දෙවිට ළැදිව හිටපු ඔහුගේ විශ්වාසවන්ත යාළුවන් හැම කෙනෙක්ටම දෙවි ආයෙත් ජීවිතේ දෙන දවස එන කල් අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා. (මතෙ. 22:32) මේ කාලේදීත් අපේ ආදරණීය තාත්තා අපිට දෙන පුදුමාකාර තෑගිවලින් අපි කොච්චර නම් සතුටක් ලබනවාද! “යෙහෝවා දෙවිව තමන්ගේ දෙවි ලෙස පිළිගෙන සිටින ජාතියද දෙවි තම උරුමය ලෙස තෝරාගත් සෙනඟද සන්තෝෂවත්ය” කියලා බයිබලේ කියන දේ කොයි තරම් ඇත්තද!—ගීතා. 33:12.